පාරේ යද්දී පුංචි දරුවෝ දණගහලා වඳිනවා Naduni karunathilake

0
220

දියණි ටෙලි නාට්‍ය කියන්නේ ඔබගේ රංගන දිවියට වෙනස්ම අත්දැකීමක් එක් කළ නිර්මාණයක් නේද?

ඔව්. හර්ෂ උඩකන්ද මහතා අධ්‍යක්ෂණය කරන දියණි ටෙලිනාට්‍යයේ මගේ චරිතය පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ මම කරපු චරිතයට තරමක් සමානයි. දියණි ටෙලි නාට්‍යයේ මුල් කොටස් කිහිපය නරඹන ඇතැමකුට එසේ සිතුණද, නිර්මාණය ගලාගෙන යන විට එම අදහස වෙනස් වෙනවා. මොකද මම දියණි ටෙලි නාට්‍යයේ චරිත ද්විත්වයක් එකවර රඟ දක්වනවා. (ඩබල් ඇක්ටින්). ඇත්තටම එය මට වෙනස්ම අත්දැකීමක්. අක්කා නංගි දෙදෙනකුගේ චරිත ද්විත්වය වටා ගලා යන කතාව හරිම සුන්දරයි.

චරිත ද්විත්වයකට එකවර සම්බන්ධ වීම අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම අභියෝගයක්. මේ නිර්මාණයට මට මුලින්ම හර්ෂ උඩකන්ද අයියා ආරාධනා කරන විට මේ චරිත ද්විත්වය පිළිබඳව මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් තිර පිටපත අතට ලැබුණු පසු මා එය හොඳින් කියෙව්වා. අක්කාගේ මියයෑමෙන් පසු නංගි විධියට කොටස් කිහිපයකින් පසුව මා නැවතත් කතාවට අවතීර්ණ වනවා. අක්කාගේ චරිතය සචිනි. නංගිගේ චරිතය වන රිතූ ගැන කිව්වොත් ඇය විදේශයක සිට පැමිණෙන ටිකක් සෙල්ලක්කාර සංතුශ්ගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කරන අහිංසක නැති චරිතයක්. ඉතින් සචිනි සහ රිතූ කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් චරිත දෙකක්.

Mini Serises සංකල්පය යටතේ කොටස් 20ක් වැනි කෙටි කාලයකින් අවසන් වන නිර්මාණ බිහිවීම ඔබ දකින්නේ කොයි විධියටද?

ඒ වෙනසට මම නම් ඇත්තටම කැමැතියි. නමුත් අපට ලැබෙන ඕනෑම චරිතයකට ලබාදිය හැකි උපරිම සාධාරණත්වය ලබාදීමයි කළ යුත්තේ. එහිදී එම නිර්මාණය දීර්ඝ එකක්ද, Mini Serises එකක්ද යන්න අදාළ නැහැ. කෙටි කාලයක් තුළ විවිධ චරිත ඔස්සේ නිර්මාණ රැසකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා නම් අපගේ රංගන ජීවිතයේද යම් වර්ධනයක් සිදුවනවා කියන දේ මා විශ්වාස කරනවා.

ඉස්කෝලේ කතාවේ “ආලෝකා ටීචර්”ට පොඩි දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවලු නේද?

ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට වගේ විහාරා ටීචර් (දමිත්‍රි සුබසිංහ)ටත් ප්‍රේක්ෂකයෝ හරිම ආදරෙයි. මඟතොටේදී පවා අපිව දුටු විට කුඩා දරුවන් දණ ගසා වඳින තරමටම කුඩා දරුවන් ඇතුළු ලොකු කුඩා හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි සැබෑ ජීවිතයේදීත් ගුරුවරුන්ගේ තත්ත්වයටම පත් වෙලා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

එන්කවුන්ටර් – 02 චේතනාගේ චරිතයත් ඔබට ලැබුණු හොඳ අවස්ථාවක් නේද?

ඔව්. සියත නාළිකාවේ විකාශය වන එන්කවුන්ටර් 02 ටෙලි නාට්‍යයේ චේතනා කියන්නේත් වෙනස්ම චරිතයක්. ඇය රටේ සිදුවන අසාධාරණයන්ට, වැරදි කරන දේශපාලනඥයන්ට එරෙහිව නැඟී සිටින, සාධාරණය වෙනුවෙන් කතා කරන, මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඒ සියල්ල මැද පොලිස් නිලධාරියකුට පෙම් බඳින අහිංසක ආදරණීය ගැහැනු ළමයකුගේ චරිතයකුත් සැඟවිලා තිබෙනවා. ඉතින් විවිධ පැති ඔස්සේ ගලාගෙන යන එම නිර්මාණයත් හරිම ලස්සනයි.

පාවෙලා වලාකුළේ ඒවිද අම්මා කියන්නේ ඔබගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කීවොත් නිවැරැදියි නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. මට ලැබුණු අනිකුත් සියලුම වැඩ ලැබුණේත් ඒ නිර්මාණයට සම්බන්ධ වීමත් සමඟ තමයි. ප්‍රසිද්ධිය සහ රසික ආදරය හිමි වුණෙත් එම නිර්මාණය නිසා තමයි.

රංගන වැඩකටයුතුවලට හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

ඇත්තටම අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමකින් යුතුව තමයි මේ ගමන යන්නේ. රංගන කටයුතු සමඟ දෙදෙනාම කාර්යබහුලයි. නමුත් ඉතින් විවේකය ලැබෙන ආකාරයට කටයුතු සියල්ල සමබර කරගෙන, බොහොම සරලව සාමාන්‍ය ආකාරයට ජීවත් වෙනවා.

ඔබ ගීත ගායනයටත් දක්ෂයි. සංගීතය පැත්තෙන් ඉදිරියට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ගීතයක් කරන්න කියලත් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලීම් කරනවා. ඇත්තටම හස්බන්ඩ් (දිනූෂ දිසානායක) සහ මම එකතු වෙලා සම්පූර්ණයෙන්ම වැඩ අවසන් නොකළ යුග ගායනා කිහිපයකුත් තිබෙනවා. ඉතින් ඉතා ඉක්මනින් ඒ දේවල්වලත් වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වනවා.

ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්ද?

දැන් නම් රංගනය මගේ වෘත්තිය වෙලා. දැන් තිබෙන රංගන වැඩකටයුතු සමඟ වෙනත් වැඩකට කාලය වෙන් කරන්නට නොහැකි වී තිබෙනවා. දීර්ඝ කාලීනව රඟපානවා කියලා එහෙම අදහසක් නම් නැහැ. නිර්මාණ ඉල්ලගෙන යන, නිර්මාණ බලාගෙනම ඉන්න කෙනෙක් නෙවෙයි මම. ඒ වගේම හොඳ වැඩක් ලැබුණොත් ලැබෙන දේ කරගෙන බොහොම පාඩුවේ ජීවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදීත් රංගන තුළ වෘත්තිය මට්ටමින් නියැළෙනවා කියලම කියන්න අමාරුයි.

රංගන කේෂේත්‍රය තුළදී ප්‍රවීණයන්ගෙන් ලබා ගත් දැනුම ගැනත් යමක් කියමු?

කේෂේත්‍රය තුළ නවකයන් සමඟ ප්‍රවීණයන්ට වැඩ කරන්නට බැහැ කියලා කටකතා පැතිරෙනවානේ. වාසනාවකට මට රංගනයෙන් සම්බන්ධ වෙන්න ලැබුණු ප්‍රවීණයන් සියලුම දෙනාගෙන් පුදුම සහයෝගයක් ලැබුණා. ඒ අය රංගනයේ යෙදෙන ආකාරය බලා හිඳ යම් යම් දේ ඉගෙන ගන්නවා. මොකද මම විෂයක් විධියට රංගනය කියන දේ හදාරපු කෙනෙක් නෙවෙයි. ඔවුනුත් අපේ තිබෙන යම් යම් අඩුපාඩු පවා කියා දෙනවා.

තරගකාරිත්වය සහිත රංගන ක්ෂේත්‍රය තුළ ඔබටම ආවේණික ලක්ෂණ ඉස්මතු කරමින් ඔබගේ ගමන ඉදිරියට යන්නේ කොයි ආකාරයටද?

දිනෙන් දින නවකයන් විශාල ප්‍රමාණයක් රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙනවානේ. රංගන කේෂේත්‍රය කියන්නේ  හැකියාව තිබුණු පමණින් අවස්ථාව ලැබෙන ක්ෂේත්‍රයක් නොවෙයි. දක්ෂතා බහුල රංගන ශිල්පීන් අති විශාල ප්‍රමාණයක් සිටියත් ඒ අතුරින් අපි වාසනාවන්ත වෙලා තිබෙනවා. රංගනයට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ලැබුණු අවස්ථාවන්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් හිමින් ගමනක් යන එක තමයි මගේ විධිය. රංගන කේෂේත්‍රය තුළ රැඳී සිටීමට වාසනා ගුණය කියන දේත් විශේෂයෙන් බලපානවා.

වැඩිපුර ආරාධනා අහිංසක පෙම්වතියගේ චරිතයටද ලැබෙන්නේ?

මෙතෙක් කල් මම කරලා තිබෙන්නේ එවැනි චරිත තමයි. නමුත් දියණි කියන අලුත් ටෙලි නාට්‍යයේ ඩබල් ඇක්ටින් කරන නිසා එම තත්ත්වය වෙනස් වුණා.

නඳුනි කියන්නේ ජනප්‍රියත්වයට හඹා යන කෙනෙක් නෙවෙයිලු නේද?

ඇත්තටම ඔව්. ජනප්‍රියත්වය උදෙසා එහෙම ලොකුවට මම කිසිම දෙයක් කරන්නේ නැහැ. රංගනය සම්බන්ධයෙන් මා සතුව පවතින දක්ෂතාව සහ හැකියාව මත රංගනයෙන් ඉදිරියට යා හැකි නම් එය තමයි මට වැදගත් වන්නේ.

ඉදිරියේදී රංගනයෙන් දායක වීමට ආසාවෙන් ඉන්න චරිතයක් තිබෙනවාද?

ගැමි චරිතයක්, රජ කාලයට සම්බන්ධ කතාවක චරිතයක්, adnormal character එකක් කරන්නත් කැමැතියි.

පවුලේ විස්තරත් මතක් කරමු?

මගේ පාසල නුවර මහාමායා බාලිකා විද්‍යාලය. මගේ විශ්වවිද්‍යාලය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි. එයාලා පදිංචි වෙලා ඉන්නේ නුවර. මම සහ හස්බන්ඩ් දැන් පදිංචි වෙලා ඉන්නේ බොලරැස්ගමුවේ.

දිනූෂා

මනෝරි

නිශ්ශංක

ඡායාරූප –

භාතිය

ඩිල්ෂාන්