දෙස් විදෙස් කාගෙත්  හිත හදන-හිත හැදෙන තැන කුඹල්වෙල මහමෙව්නා  අසපුව

0
93

මෙරට පිරිසුදුම වාතාශ්‍රයක් ඇති ප්‍රදේශයක් ලෙස ඇල්ල, හපුතලේ, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ හඳුන්වන්නට පුළුවන. අධික උෂ්ණත්වයෙන් පිරි කටුක නාගරික පරිසර පහුකරගෙන මෙම ප්‍රදේශයට ඇතුළුවන ඔබට එම පිරිසුදු වාතාශ්‍රයේ තිබෙන සුවඳ බොහොම සතුටින් විඳදරා ගැනීමට හැකියාව ලැබෙනවා. ගන වලාපටල, ගිරිහිස්, තුරුහිස් පසුකරගෙන ඔබ වෙතට හඹාගෙන එන ජල අංශු පිරි සීතල සුළඟ සැබැවින්ම ඔබට ගෙනදෙන්නේ දිව්‍යමය පහසකි.

අද අප ගෙවන සෑම තත්පරයක්ම ගෙවා දමන්නේ ජීවිතයේ කුමක් හෝ අරමුණක් දිනා ගැනීමේ අරගලකාරී මනසකිනි. පෘථග්ජන ජීවිතය තුළ අපට කුමක් හිමි වුවත් අප සිතන්නේ සහ අප ළතැවෙන්නේ හිමි වූ දෙයට වඩා අහිමි වූ දෙයටය. ඇත්තෙන්ම එය මිනිසුන්ගේ මනෝමූලික ස්වාභාවික තත්ත්වයකි. ඒ නිසා අපගේ මනස නිරන්තරයෙන් සිටින්නේ මහන්සියෙනි. ඉතින් විඩාපත් වූ මනස සුවපත් කර ගැනීමට සහ මනසට විවේකයක් දීමට අප කවුරුත් කැමැතියි. ඒ අයුරින් අපට යන්න හොඳම සහ සුදුසුම තැනක් පිළිබඳවයි මේ අයුරින් අද ඔබට පවසන්නට සැරසෙන්නේ.

මෙම මහමෙව්නා භාවනා අසපුව පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල, කුඹල්වෙල ප්‍රදේශයේය. “ගෞතම බදු සසුන බබළවන පිරිසක් බිහිවේවා.” යන උතුම් අරමුණ පෙරදැරි කරගත් මහමෙව්නා භාවනා අසපුව නිර්මාණය කරන්නේ 1999 අගෝස්තු 14 වැනිදාය. පොල්ගහවෙල, වඩුවාවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය වීමෙන් අනතුරුව මෙම මහමෙව්නා භාවනා අසපුව සකළ ජනී ජනයාට දායාද විය. ආරම්භයේ සිට දොළොස් වසරකට අධික කාලයක් පුරා මෙම භාවනා අසපුව පවත්වාගෙන යනු ලබයි. අද වනවිට ලක්දිව පමණක් නොව දේශ දේශාන්තරයන්හි පවා කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්ව තිබීම සතුටට කරුණකි. මෙම මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹී ධර්ම ප්‍රචාර කටයුතු ඉතා කෙටි කලක් ඇතුළත ලොකු කුඩා බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත වූහ. එයට හේතුව වූයේ සරල සිංහල බසින් බුද්ධ දේශනාවන් විස්තර කරදීමයි. එම නිසා සෑම වයස් කාණ්ඩයකටම අයත් පිරිස් උන්වහන්සේගේ භාවනා වැඩසටහන්වලට පැමිණෙන්නට විය.

මනස දියුණු කරගැනීම පිණිස සිත නැවෙන ආකාරයට භාවනා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ දැක්වූ දක්‍ෂතාව, භාවනා පන්ති සොය සොයා  ගිය පිරිසට මහත් අස්වැසිල්ලක් බවට පත් වූ බව නොරහසකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවන සේ ඉතා නිර්මාණශීලීව උන්වහන්සේ ධර්මය ඉදිරිපත් කිරීමත් ඉතා මිහිරි ලෙස එය සිදුකිරීමත් නිසා මිනිසුන්ගේ ආකර්ෂණය මේ වනවිට වැඩි වැඩියෙන් යොමු වීමට එක් හේතුවක් තිබෙනවා. මෙහිදී ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් බුද්ධ වචනය එයාකාරයෙන්ම උගන්වනු ලබයි.

එම නිසා රට පුරා සහ ලෝකය පුරා ධර්මය ශ්‍රවණය කරන, භාවනා කරන සහ සිල් රකින දරු පරපුරක් බිහිවීමට එය හේතු වී තිබෙනවා. මහමෙව්නා භාවනා අසපුවෙහි “සිරි ඉන්දක සමන් සත්බුදු මහ සෑය” පිහිටා තිබීම ඉතා  රමණීය දර්ශනයක් මතුවීමට හේතු වී ඇත. මෙහි නම ගත් කල එය අනෙකුත් බෞද්ධ සිද්ධස්ථානයන්ගේ නම්වලට වඩා තරමක් වෙනස්ය. මෙම කුඹල්වෙල මහමෙව්නා භාවනා අසපුව අයත් වන්නේ ඌව පළාතටය.  ඉන්දික දෙවියන් සහ සුමන සමන් දෙවියන් උෟව පළාතේ මිනිසුන් මහත් හදසරින් නමදිනු ලබයි. බදුල්ල, මුතියංගණ රජමහා විහාරය ඉන්දික දෙවියන්ගේ මූලිකත්වයෙන්ද, මහියංගණය රජමහ විහාරය සුමන සමන් දෙවියන්ගේ මූලිකත්වයෙන්ද නිර්මාණය වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

ඒ අනුව මහමෙව්නා භාවනා අසපුවේ පිහිටි චෛත්‍ය රාජයාණන්ට එම දෙවිවරුන්ගේ නම් යොදාගනිමින් “සිරි ඉන්දක” ලෙසත් සත්බුදුවරුන් වහන්සේලා නිරූපණය කිරීමට “සත්බුදු මහා සෑය” ලෙසත් නම් කොට තිබෙනවා. කුඹල්වෙල භාවනා අසපුවෙහි බෝධි මණ්ඩපයක්ද පිහිටා තිබීම නිසා දැඩි හිරු රශ්මියෙන් සහ වර්ෂාවෙන් ආරක්‍ෂා වී බොහොම නිදහසේ බෝධීන් වහන්සේ නමස්කාර කිරීමේ හැකියාවද උදාකොටදී ඇත. මෙම අසපුව ගොඩනැංවීමේදී භාවිත කොට ඇති සියලුම ගෘහ නිර්මාණ ශිල්පයන් සහ හැඩතලයන් අතිපූජ්‍ය පොල්ගහවෙල ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් අනුව ගොඩනංවා ඇත. අසපුවෙහි වනගත කුටීන් 25ක් පමණ ඇති අතර ඒවා කළු ගලෙන් නිර්මාණය කොට තිබේ. කුඹල්වෙල යනු අධික සීතල ප්‍රදේශයකි.

විශේෂයෙන් රාත්‍රි කාලයේදී වනවාසී භික්ෂුන් වහන්සේලාට අධික සීතල දරා ගත නොහැකි වන්නට පුළුවන්. නමුත් මෙම කුටි කළු ගලෙන් නිමවා තිබෙන නිසා දහවල් අව්රශ්මියෙන් ගල් කුට්ටි උණුසුම් වේ. එම උණුසුම රාත්‍රි කාලයේදී පිටවන නිසා කුටිය ඇතුළත යම් උණුසුම් ස්වභාවයක් ඇත. මෙම කුටිවලට ඇතුළුවන මාර්ගය දෙපස ඉතා අලංකාර මල් වර්ගද රැසක් රෝපණය කොට ඇත. එම කටයුතු සිදු කරන්නේද අසපුවල වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේ විසින්මය. මෙවැනි කුටි ස්වාමීන් වහන්සේට මෙන්ම ගිහියන්ටද වෙන්වී තිබෙනවා. එම නිසා භාවනා මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙමින් ඕනෑම අයකුට මෙහිදී සිත දියුණු කිරීමේ කටයුතු සිදුකළ හැකියි. දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය බැතිමතුන්ද මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට නිරන්තරයෙන් සහභාගි වේ.

ලංකාවේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයෝ ප්‍රථමයෙන් පැමිණෙන්නේ ඇල්ල නගරයටය. එලෙස ඇල්ල නගරයට පැමිණෙන සංචාරකයෝ කුඹල්වෙල මහමෙව්නා අසපුව පිළිබඳව තොරතුරු දැනගෙන, පසුව මෙම ස්ථානයට පැමිණීම අනිවාර්යයෙන් සිදු කරති. තවද මෙම භාවනා අසපුවේ වැදගත්කම දැන හඳුනාගන්න වුන් තම සියලුම අනෙකුත් වැඩ රාජකාරි අවලංගු කරමින් භාවනා කටයුතුවල නිරතවීම විශේෂත්වයකි. මෙම මහමෙව්නා භාවනා අසපුවේ මේ වනවිටත් විදේශීය භික්ෂුන් වහන්සේ රැසක් වැඩවාසය කරති. කාර්යබහුල ජීවිතයක් ගතකරන ඕනෑම අයකුට තම මනසට අස්වැසිල්ලක් ලබා ගැනීමට සුදුසුම ස්ථානයක් ලෙස මෙම මහමෙව්නා අසපුව හැඳින්විය හැකියි. මෙහි යන ඔබට නිවැරදිව භාවනා කිරීම ගැන ඉගෙන ගැනීමට හැකි වන අතර ත්‍රිපිටක ධර්මය සරලව, පැහැදිලිව හැදෑරීමටද අවස්ථාව ලැබේ.

දුමිදු ලංකා බණ්ඩාර

තොරතුරු දැනගැනීමට

0575671111

අමතන්න