දෘශ්‍ය මායාව පරාජය කළ  ඇරිස්ටාකස්

0
484

අපට දැනෙන්නේ, අපිට දෘශ්‍යමානය වන්නේ පෘථිවිය නිශ්චල ලෙසත් එය වටා හිරු, සඳු, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු (පියවි ඇසට පෙනෙන) ග්‍රහලෝක ගමන් කරන ලෙසත්ය.

එහෙත් ඇත්ත එය නොව, අපේ පෘථිවිය සහ සෙසු ග්‍රහලෝක සූර්යයා වටා (ආසන්න වෘත්තාකාර කක්ෂවල) ගමන් කරන්නේය යන සත්‍යය අද අපි සැක හැර දනිමු. එහෙත් කිසිදු නිරවුල් දැනුමක් නොතිබූ යුගයකදී, දෘශ්‍යමානය පවසන දෙයට වෙනස්ව ඒ දේවල් පිළිබඳව අලුතින් සිතන්නට පුරෝගාමී වූවන් ඉතිහාසය තුළ අපට මුණගැසේ. වෙනස් ආකාරයෙන් කල්පනා කරන්නට තරම් නිර්මාණශීලී චින්තනයක් තිබූ එවැනි අය පිළිබඳ හැදෑරීම අපගේ චින්තන පර්්‍යාය පුළුල් කරන අභ්‍යාසයකි.

ඇරිස්ටාකස් යනු එලෙස හැදෑරිය යුතු අයෙකි. දෘශ්‍ය මායාව පරාජය කළ අයෙකි.

වර්ෂ 1473 – 1543 වකවානුවේ විසූ නිකලස් කොපර්නිකස්, පැහැදිලි ලෙස සූර්යය කේන්ද්‍රවාදය ඉදිරිපත් කිරීමට වසර 1650කට පමණ එපිට වකවානුවකදී ග්‍රීසියේ සිටි ඇරිස්ටාකස් (ක්‍රි.පූ. 310 – 230) මේ අදහස මුලින්ම ඉදිරිපත් කළ චින්තකයා ලෙස සැලකිය හැකිය. (එතෙක් සියලු දෙනා, පියවි ඇසට පෙනුණු ‘විශ්වය’ ගැන සිතුවේ පෘථිවි කේන්ද්‍රීයවයි). ඔහු එවන් අදහසක් යෝජනා කරන විට, ඊට ආධාරක කිසිදු අනුභූතික දැනුමක් හෝ නිරීක්ෂණයක් එවකට ලෝකය සතුව නොවුණි. පෙනෙන දේ සහ නොපෙනුණු යථාර්ථය අතර සදාකාලික චින්තනමය පොරබැදීම අපේ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයේ පුරෝගාමී උපස්තම්භක මඟ සලකුණු වෙයි.

මීට අවුරුදු 2000කට එපිට යුරෝපයේ පැවැති වඩාත් දියුණු ශිෂ්ටාචාරය ලෙස පිළිගැනුණේ ග්‍රීක් ශිෂ්ටාචාරයයි. ඉහත කී පරිදි පෘථීවිය වටා සියල්ල භ්‍රමණය වන්නේය යන ‘විශ්වාසය’, සහස්‍ර ගණනාවක් පුරා අභියෝගයට ලක් නොවුණි. පැවැත ගෙන ආ  ආගමික විශ්වාසයද එයම විය. එහෙත් ඇරිස්ටාකස් තම විප්ලවීය අදහස ඉදිරිපත් කළා. කෙසේමුත් අතීතයේ මෙවැනි අදහස් පිළිබඳ සාකච්ජා, සංවාද ගොඩනැඟුනේ කුඩා බුද්ධි කවයන් අතර පමණයි. ඔහු යෝජනා කළේ, අප දකින අහසේ චලිතයන් වඩාත් විශ්වසනීය ලෙස පැහැදිලි කිරීමට, තේරුම් ගැනීමට සුදුසු ආකෘතිය වන්නේ අපේ පෘථිවිය සූර්යා වටා භ්‍රමණය වන්නේය යනුවෙන් උපකල්පනය කිරීමෙන් බවයි. පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය නොවේය යන අදහස පහළවීම යනු, අපේ ශිෂ්ටාචාරයේ චින්තන ලෝකයට අලුත් කවුළුවක් විවර කිරීමකි. අලුත් ආලෝක ධාරාවකි. එහෙත් අවාසනාවකට ඔහුගේ සටහන් හා ලේඛන තැන්පත්කොට තිබුණේ යැයි සැලකෙන සුප්‍රකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය සියලු ලේඛන සමඟ විනාශ වීම නිසා ඒ අදහස ඔස්සේ ඔහු ගිය දුරද මැකී ගියේය.

කෙසේමුත් එවකට ඔහුට මේ අදහස සාක්ෂාත් කරගැනීමට තරම් සාක්ෂි තිබුණේ නෑ. එමතුද නොවේ. පහත දැක්වෙන මූලික ප්‍රති-තර්ක දෙක අරබයා ඔහුට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමටද නොහැකි වුණා. අඩුම තරමින් ඒ අරබයා ඔහුගේ උත්සාහයන් පිළිබඳ සටහන් ලියවිලිවත් අපට ඉතිරි වුණේ නෑ. කෙසේමුත් මේ ප්‍රති-තර්ක මොනවා දැයි බලමු.

1. මෙරිගෝ රවුන්ඩ් එකක අපි භ්‍රමණය වටවිට, එහි කේන්ද්‍රයෙන් ඉවතට විසිකරන බලය (කේන්ද්‍රාපසාරී බලය) නිසා අප ඉවතට ඇදී යනවා සේ දැනෙනවා. පෘථිවිය එලෙස තම අක්ෂය වටා (බඹරයක් සේ) පරිභ්‍රමණයක යෙදෙන්නේ නම් එහි සිටින මිනිසුන් ඇතුළු සියලු දේ කේන්ද්‍රාපසාරී බලයට ලක්ව ඉවතට විසිවී යා යුතුය. නමුත් එසේ වන්නේ නෑ……?

ක්‍රි.පූ. යුගයේදී පෘථිවියේ දැවැන්ත ස්කන්ධය විසින් ඇතිකරනු ලබන ආකර්ෂණ බලය පිළිබඳ දැනුමක් ලෝකයට තිබුණේ නෑ. එනිසා ඇරිස්ටාකස් හට මීට පිළිතුරු සපයන්න හැකියාවක් තිබුණේ නෑ.

2. මෙය සාමාන්‍ය සරල නිරීක්ෂණයක්.

ඔබ මීටර් 50ක් පමණ ඈතින් සිට ගසක් දෙස බලන්න. ඒ සමඟම ඊට පසුබිම්ව ඇති වස්තුවල පිහිටුමද සලකන්න.

ඊළඟට එතැන් සිට තව මීටර් 10-20ක දුරක් වෙනත් දිශාවකට ගොස් දැන් ඒ ගස පසුබිම්ව ඇති (පෙර නිරීක්ෂණය කළ) වස්තුවල පිහිටුම සලකා බලන්න. අපේක්ෂිත පරිදිම ගසට සාපේක්ෂව බලනවිට පසුබිම්ව ඇති වස්තුවල පිහිටුම, දැන් වෙනස්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ඒ අනුව අද අපි අහසේ නිරීක්ෂණය කරන වස්තුවක් (තරුවක්) හා පසුබිම්ව ඇති තරුවල පිහිටුම, තවත් මාස 6කින් අනතුරුව නිරීක්ෂණය කරන විට (පසුබිමේ ඇති තරුවල පිහිටුම) වෙනස් වී තිබිය යුතුයි. මක්නිසාද, පෘථිවිය ඒ මාස 6 තුළ චලනය වී (පෘථිවිය සූර්යයා වටා භ්‍රමණයක නියැළී) ඇත්නම් පෘථිවියේ නිරීක්ෂකයා දැන් සිටින්නේ වෙනත් ස්ථානයක බැවිනි.

ඇත්තෙන්ම ඇරිස්ටාකස් පවා තම අදහස සාක්ෂාත් කරගන්නට, මේ ආකාරයේ සාක්ෂියක් සඳහා අහසේ තරු ඇසුරින් එවැනි නිරීක්ෂණයක් සිදුකළා. නමුත් ප්‍රතිඵලය වූයේ, පසුබිමේ ඇති තරුවල පිහිටුමේ එවැනි වෙනස්කමක් කාලයත් සමඟ නිරීක්ෂණය කළ නොහැකි වීමයි. මෙහිදීද ඇරිස්ටාකස් තම අදහස සනාථ කරගන්නට නොහැකි වුණත් ඔහු දැරූ අදහස නිවැරදි බව අද අපි දන්නවා.

එවකට මේ අදහස විග්‍රහ කරගන්නට සමත්, පොහොසත් තාරකා විද්‍යාත්මක වාග්කෝෂයක් තිබුණේ නෑ.

පැහැදිලි කිරීම:

1. පෘථිවියේ දැවැන්ත ස්කන්ධය විසින් ඇති කරනු ලබන ආකර්ෂණ බලය සමඟ සසඳන විට තම පරිභ්‍රමණය නිසා ඇති කරන කේන්ද්‍රාපසාරී බලය ඉතා කුඩායි. එනිසා අප සියලුදෙනා මෙන්ම සියලු දේවල් පෘථීවිය විසින් රඳවා තබා ගන්නවා.

2. ඉතා අෑත තිබෙන තරුවලට තිබෙන දුරවල් විශාලයි. මේ දැනුම අලුත් එකක්. තත්පරයට කිලෝමීටර් 300,000ක වේගයෙන් යන ආලෝක තරංගයකට, පෘථිවියේ සිට සූර්යා වෙත යෑමට විනාඩි 8 හමාරක් යනවා. එමෙන්ම පෘථිවියේ සිට ඊළඟට අපට ආසන්නම තරුව (ප්‍රොක්සිමා සෙන්ටෝරි) වෙත එතරම් වේගයකින් යන ආලෝක තරංගයකට අවුරුදු 4කුත් මාස 3ක පමණ කාලයක් ගතවෙනවා. දැන් ඔබට තේරුම් ගත හැකිවේවි මේ තරු පිහිටා තිබෙන්නේ අපෙන් කෙතරම් ඈතින්ද කියා. පෘථිවියේ සිට එතරම් ඈත තරු දෙස බලනවිට පසුබිමේ තිබෙන අනෙක් තරුවල පිහිටුමෙහි වන ඉතා සුළු වෙනස්කම් නිරීක්ෂණය කරන්නට තරම් අප සංවේදී නැත.  එනිසයි ඇරිස්ටාකස් හට මෙය පැහැදිලි කරගත නොහැකි වූයේ.

එහෙත් වසර 2,250ක් පැරණි ඔහුගේ නිර්මාණශීලී අදහස  අපේ චින්තනමය පුරාවෘත්තයේ වැදගත් මංසලකුණක්!

තාරක වරාපිටිය