ටෙස්ලා  උරුමය ටොයෝටා උදුරාගනීද?

0
577

ගෙවී ගිය පෙබරවාරි 18දා ලෝක විදුලි කෝෂ දිනය (ලෝක බැටරි දිනය) ලෙස නම් කර තිබුණා. ඒ ලොව පළමු විද්‍යුත් බැටරිය සොයා ගත් අල්හන්ද්රෝ වෝල්ටාගේ සංවත්සරය නිමිති කරගෙන. අපි දන්නවනේ ලිතියම් අයන් බැටරිය. ලෝකයේ විද්‍යුත් අනාගතය තීරණය වන්නේ ඒ මත කියලා බොහෝ දෙනා කතාබහ වෙනවා. අපි ඒ පිළිබඳව විමසා බලමු.

ලිතියම් බැටරි මුලින්ම වැඩිදියුණු කළේ 1990 දශකයේදී සෝනි සමාගම. ලිතියම් බැටරි කලින් තිබුණ ඊයම් බැටරිවලට වඩා කාර්යක්ෂමයි. ඒ වගේම බරින් අඩුයි. ඒ වගේම මේ බැටරියේ චාජින් සයිකල් ගණනත් වැඩියි. ඒත් ලිතියම් බැටරිවලට අවශ්‍ය ලිතියම් සපයා ගැනීම තමයි ප්‍රබලම ගැටලුව. ලිතියම් කියන්නේ නැවත ප්‍රතිචක්‍රියකරණය කරන්න අමාරු ලෝහයක්. අපි භාවිතාවට ගන්න ලිතියම් බැටරිවලින් 1%ක වගේ ප්‍රමාණයක් තමයි නැවත ප්‍රතිචක්‍රිකරණය කරන්න පුළුවන් වෙන්නේ. අනෙකුත් ලෝහයන්ට සාපේක්ෂව ලිතියම් කියන්නේ ඉතා අවම ප්‍රමාණයක් තියෙන ලෝහයක්. ලිතියම් නිස්සාරණය කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා ලිතියම් බැටරිවල අනාගතය පිළිබඳ ගැටලු ගොඩයි.

ලිතියම් අයන් බැටරියේ බලය වැඩියි. සාමාන්‍ය බැටරියක ලැබෙන අගය අභිභවා ලිතියම් අයන බැටරිවල 100-265 Wh/kg පමණ අගයක් ගන්නවා. ලිතියම් අයන් බැටරි ඒකකයකින් වෝල්ට් 3.6ක් ජනනය වෙනවා. එය අනෙක් බැටරි හා සංසන්දනය කළාම තුන් ගුණයක් තරම් අගයක්. මේ නිසා මේ ලිතියම් අයන් බැටරිවලට විශාල පරිමාණයේ ධාරාවන් සැපයීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලිතියම් අයන බැටරිවල බැටරියේ ධාරිතාව අපිට පෙන්වනවා. හැබැයි මේ බැටරිවල ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ලිතියම් බැටරි අනෙක් ඒවාට වඩා ඉක්මනින් ඕවර් හීට් වෙනවා. ඒ ඕවර් හීට් වීම හරහා බැටරි පුපුරා යෑමේ අවදානමක් තිබෙනවා. මේ අවදානම දැනට හොඳින්ම හඳුනාගෙන තිබෙන එකක් නිසා එය අවම කරගන්න දැන් නිකුත් වන බැටරිවල විවිධ ක්‍රමවේද යොදලා තියෙනවා. ඒ වගේම කාලයත් එක්ක බැටරියේ කාර්යක්ෂමතාව අඩුවීමේ ගැටලුවකුත් උත්පාදනය වෙලා තියෙනවා. මේ ලිතියම් අයන් බැටරි ප්‍රතිචක්‍රිකරණය කිරීමත් ඉතා අමාරුයි. මේ හේතුවෙන් ලිතියම් නිධිවලින් නැවත නැවතත් ලිතියම් නිස්සාරණය කරන්න සිදු වෙනවා. මේ වෙද්දීත් ලිතියම් බැටරි ප්‍රතිචක්‍රිකරණය කරන්න ක්‍රමවේදයක් සොයමින් විද්‍යාඥයන් පර්යේෂණ කරනවා.

මුලින්ම ලිතියම් බැටරි යොදාගත්තේ නෝට් බුක්, පරිගණක වැනි විද්‍යුත් උපකරණ සඳහා. ටෙස්ලා සහ රෙනෝල්ට් වගේ ආයතන මෝටර් රථ සඳහා මේවා යොදාගත් සමාගම් වෙනවා. මේ බැටරි විද්‍යුත් මෝටර් රථ ප්‍රවාහන සේවයට වැදගත් වන්නේ ඇයි? මෙහි කල්පැවැත්ම ඉතා වැඩියි. එය වසර 10ත් 20ත් අතර කාලයක් වෙනවා. ඒ වගේම ලිතියම් අයන බැටරිය කාබන් මෙන් පරිසරය දූෂණය කරන්නෙ නෑ. විද්‍යුත් වාහන බහුලව භාවිත කිරීමෙන් මෙන්ම ලිතියම් – අයන බැටරි භාවිතයෙන්ද පොසිල ඉන්ධන ආදේශකවලට වඩා පරිසරය සුරැකීමට විශාල බලපෑමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම වායුගෝලයේ සහ පරිසරයේ කාබන් විමෝචනය අඩු කිරීම සිදු කරන්න පුළුවන්. ලිතියම් අයන් බැටරිවල ආරෝපණය ඉතා වේගවත්. මේ නිසා විදුලි මෝටර් රථ හිමිකරුවන්ට තම මෝටර් රථය ආරෝපණය වන තෙක් පැය ගණන් බලාසිටීමේ වුවමනාව නැති වෙලා තිබෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමකින් තොරව වුවත් ධාවනය කිරීමේ හැකියාවත් මේ බැටරි තුළ තිබෙනවා.

විද්‍යුත් ප්‍රවාහනය කිව්වම මුලින්ම මතකෙට එන්නේ මොකක්ද? ටෙස්ලා සමාගම නේද? ඉලෝන් මස්ක්ව එහෙනම් දන්නවා ඇති. මේ ළඟදී බිලියන 44ක් වියදම් කරලා ට්විටර් සමාගම මිලට ගත්ත පුද්ගලයා. විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ අධිරාජ්‍යයෙක් තමයි මස්ක් කියන්නේ. ටෙස්ලා සමාගම ගෙවී ගිය විද්‍යුත් බැටරි දිනයේදී හඳුන්වා දුන් නවතම බැටරිය වන්නේ Telsa 4680 කියන බැටරිය. එය ඔවුන් මීට පෙර හඳුන්වා දුන් බැටරිය වන Telsa 2170 කියන බැටරියේ ධාරිතාව මෙන් පස් ගුණයකින් වැඩියි. ඔවුන් මේ බැටරිය නිර්මාණය කරන්නේ පැනසොනික් සමාගම හා අතිනත් බැඳගෙනයි. ඒ වගේම ටෙස්ලා සමාගමට බලවත් ප්‍රතිවාදියකුත් බිහිවූ බවට ආරංචියක් ලොව පුරා පැතිර ගියා. ඒ කවුද?

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Toyota Motors සමාගම වාණිජමය වශයෙන් ඉදිරි පියවරක් තැබුවේය. ඔවුන් Solid state battery නිෂ්පාදනය කිරීමට බොහෝ කලක සිට මානබැලූ සමාගමකි. ඔවුන් 2020දී පවසා සිටියේ මෝටර් රථ නිෂ්පාදකයන් අද භාවිත කරන ලිතියම් – අයන බැටරිවලට වඩා ඔවුන්ගේ බැටරිය ආරෝපණය කිරීමෙන්ද ස්ථායී බවින්ද වේගවත් වන බවය. එමෙන්ම ටොයොටා සමාගම 2030දී විද්‍යුත් මෝටර් රථ මිලියන 8ක් විකිණීමට බලා පොරොත්තු වන බවද කියා සිටියා.

මෙම වසරේදී ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයෙක් වන වොක්ස්වැගන් සමාගමද Solid State Battery නිපදවීමට අරමුණු කරයි. ඒ සඳහා ඔවුන් එක්සත් ජනපදයේ සමාගමක් වන QuantumScape හි ආයෝජනයද වැඩි කළේය. QuantumScape යනු බිල් ගේට්ස් ආධාර ලබාදෙන බිලියන 11ක් වටිනාකමකින් යුතු ආයතනයකි.  වොක්ස්වැගන් ආයතනය මැයි 14 වැනිදා කියා සිටියේ බැටරි නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ හවුල් ව්‍යාපාරයට උපකාර කරන බවය. 2024 වනවිට එම නිෂ්පාදන අවසන් කරන බවද ඒවා යොදා මෝටර්රථ නිෂ්පාදනය කරන බවද වොක්ස්වැගන් ආයතනය කියා සිටියේය.

කාබන්වලින් තොර ලෝකයක් කරා යන හරිත විප්ලවයේ කොටස්කරුවෙක් වීමට ලෝකයේ මෝටර් රථ සමාගම් බොහෝමයක් ඔට්ටු අල්ලමින් සිටී. මේ වනවිට ඇමෙරිකානු සමාගමක් වන Ford Motor සමාගමද Solid Power අයතනයට තම ආයෝජනය එකතු කළේය. තවද දකුණු කොරියාවේ Hyundai Motor සමාගම පසුගිය මාසයේ සම්මන්ත්‍රණයක් අමතා කියා සිටියේ 2030 වනවිට ඝන තත්ත්වයේ බැටරි (Solid state battery) මඟින් බල ගැන්වෙන විද්‍යුත් මෝටර් රථ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන බවයි.

Solid State බැටරිය නිර්මාණය කිරීමත් සමඟම Toyota සමාගම සම්පූර්ණයෙන්ම විද්‍යුත් මෝටර් රථ නිර්මාණය සඳහාම තම බලය යොදවන බවට මෝටර් රථ වෙළෙඳපොළ අපේක්ෂා කෙරෙනවා. ජපානය යනු විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩිම ඉල්ලුම ඇති රටය. ඒ හයිබි්‍රඩ් වාහන සඳාහාය. ඉදින් මේ සීතල බැටරි යුද්ධයේ අවසාන ජයග්‍රාහකයා කවුරුද? ටෙස්ලා සමාගමද? ටොයොටා සමාගමද?

ගිහාන් සචින්ත