ගුදයෙන්  ලේ පිටවන රෝගයට  ඖෂධීය කැඳක් සහ කසායක්

0
334

මලපහ කරන විට මල සමඟ රුධිරය ස්වල්පයක් පිටවීම වසර ගණනාවක් තිස්සේ පවතිනවා. සමහර විට වසර හත අටක් තිස්සේ. පසුව මලපහ නොකරන විටදී පවා රුධිරය පිටවෙනවා. මෙය රක්තාර්ශස් රෝගයේ ලක්ෂණයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව අවුරුදු 50ට වැඩි ජනතාවගෙන් 40%ක පමණ ප්‍රමාණයකට අර්ශස් රෝගය පවතින බව සඳහන් වෙනවා. අර්ශස් කියන්නේ බොහෝ අෑත අතීතයේ පටන්ම මිනිසා පීඩාවිඳි රෝගයක්. අපගේ ආදි   මුතුන් මිත්තන්ගේ ඇවැතුම් පැවැතුම් රටාවන් අනුව ඒ බව නිගමනය කළ හැකියි. එමෙන්ම මීට අවුරුදු 3000කට පමණ පෙර කාලයේදී සුශ්‍රැත නම් ආයුර්වේද වෛද්‍යවරයා විසින් ලියන ලද ග්‍රන්ථයක අර්ශස් රෝගය පිළිබඳව සඳහන්ව තිබීම ආයුර්වේදයේ බලගතු බව මෙන්ම සමත් බව කියාපාන ප්‍රධාන සාධකයක්.

මූලග්ගාය, මූලගින්න හෙවත් අර්ශස් රෝගය අද සමාජයේ බොහෝ දෙනකුට යම් තරමින් හෝ තිබෙනා රෝගයක්. නමුත් අද අපි කතා කරන රක්තාර්ශස් ඒ අතරින් විශේෂයි. ගුද ද්වාරයේ මස් වැදලි පිටතට නෙරා ඒම අර්ශස් යනුවෙන් හඳුන්වනවා. එම මස් වැදලි හෙවත් ශ්ලේෂ්මලධාරා තුළ පවතින ශිරාවන් විස්තර්ණ වී රුධිරයෙන් පිරී තිබෙන අතර මලපහ පිටතට යොමු කිරීමේදී එම අංකුර තුවාල වීමෙන් රුධිරය පිටවෙනවා. මෙය වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු රෝග තත්ත්වයක්. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඔබට ඉතා පහසුවෙන් රෝග සමනය කරගත හැකිය.

කටට ඇඹුල් රසක් දැනෙනවා නම් උදරයේ පිපුණු ස්වභාවය සමඟ ආහාර අරුචියක් පවතිනවා නම්, ආහාර දිරවීමේ යම් අපහසුතාවක් ඇත්නම් උදරය දෙසින් කිසියම් ශබ්දයක් ඇතිවේ නම්,  ඔක්කාරය සමඟ නිදිමත ස්වභාවය පවතී නම් මලපහ කිරීමේ අපහසුව සමඟ අධික වේදනාවක් දැනෙයි නම් ගුද මාර්ගයේ යමක් සිරවී ඇතිවාක්  මෙන් දැනෙයි නම් ඔබ තුළින් අර්ශස් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. රක්තාර්ශස් රෝග තත්ත්වයේදී මලපහ සමඟ රුධිරය පිටවීම හේතුවෙන් රෝගියා නීරක්තයට පත්වීමටත් ඉඩ තිබෙනවා. මෙහිදී රෝගියාගේ දෑත්, දෙපා, මුඛය, ගුදය යන ඉන්ද්‍රියයන් ඉදිමීම සමඟ තද පිපාසය සහ පපුව ප්‍රදේශයේ බලවත් වේදනාවක් ආදියද ඇතිවෙනවා.

රක්තාර්ශස් රෝග තත්ත්වය සඳහා ඔබට නිවෙසේදීම යම් ප්‍රතිකාරයක් කරගත හැකියි. එමඟින් යම් තරමක සුවයක් ලබාගත හැකි අතර ඉක්මනින්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා රෝගය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය.

සුදු හඳුන්, සැවැන්න, වං ඇපල, සුවඳ කොට්ටම්, කෙළද හාල්, රට මිදි, නෙළුම් රේණු, කලාදුරු අල, හාතාවාරිය අල, වැල්මී කළඳයි මංචාඩි හතර බැගින් වතුර පත 8-1ට සිඳුවා සීනි/ මී පැණි දමා දවල්ට සහ රාත්‍රියට සති 2ක් බොන්න. එමෙන්ම දිනපතා උදෑසන කොහිල කැඳ බොන්න.

විජිත කේ. පතිරණ