කළු කරලා  බොඳ කරලා Google Earth මොනවද මේ  හංගන්න හදන්නේ?

0
318

තාක්ෂණය 21 වැනි සියවසේ ජීවත් වෙන අපිට නම් නැතිවම බැරි දෙයක් වෙලා. මොකද ඒ තරමටම තාක්ෂණය සහ මිනිසා එකට බැඳිලා හමාරයි. තාක්ෂණය කියපුවම ඉතින් යන්ත්‍ර උපකරණ විතරක් නෙවෙයි මොනතරම් නවීන මෘදුකාංග, සේවා අලුත් සොයාගැනීම් තවත්  කොපමණක්ද? අද වෙද්දි මේ තාක්ෂණය නැතිව මොනවද කරන්න පුළුවන් කියලා හිතෙන තැනටම ලෝකය පැමිණ අවසන්. එක දවසකට මේ තාක්ෂණික සේවා බිඳ වැටුණහොත් අපේ වැඩ කීයක්නම් අතරමඟ නවතීද? ප්‍රමාද වෙයිද? අවලංගු වෙයිද?

නමුත් ලෝකය මේ තාක්ෂණික දියුණුව වෙත ළඟාවුණේ  පහසු, සුන්දර ගමන් මඟක නම් නොවේ. මෙය බොහෝ වැරදීම්, බාධක මැද පැමිණි තවත් සෑහෙන දුරක් ගෙවායෑමට ඉතිරිව ඇති නොනිමි ගමනක්. මේ නව තාක්ෂණික ප්‍රසාරණය ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි අපේ මිතුරා වුණු පරිගණකය ගැන කතා නොකර කොහොමද? කාමරයක් තරමට විශාල වුණ පරිගණකය අද වෙද්දි එතරම් ආයාසයක් නොදරම අපේ ගමන් සගයා වගේ යනෙන තැනක පහසුවෙන් රැගෙන යා හැකි තරමේ බොහොම පුංචි මෙවලමක් වෙලා. ඉස්සර සාලයෙන් විශාල ඉඩක් වෙන් කරගත්තු මහතට ලොකුවට තිබුණ රූපවාහිනිය පැතලි, හුරුබුහුටි, පැතලි තලයක් වෙලා. ගඩොල් කැටයක ප්‍රමාණයට තිබුණ ජංගම දුරකථනය අතේ ගුළි වෙලා. ඒ විතරක්ද පරිගණකය මේ පුංචි දුරකථන තිරයටම ඇවිත්. දුරකථනය අත් ඔරලෝසුවට ඇවිත්. දැන් මුළු ලෝකයක් සමඟ සම්බන්ධ වන්නට ඇත්තේ ඇඟිලි තුඩක දුරක්.

එපමණක් නොවේ තරගකාරී ලෙස මේ උපකරණවලට එකතු කරන නවීන පහසුකම් මෙතෙකැයි  කියන්න බැරි තරම්. ලෝකයේ කොතැන මොනදේ වුණත් බලාගන්න දැනගන්න දැන් ගතවන්නේ ඇසිල්ලක් පමණයි. කාලයක් කඩදාසි ලියුම් ලියලා දවස් ගණන් සති ගණන් බලන් හිටිය පණිවුඩ දැන් තත්පරේකටත් අඩු කාලෙකින් ඇවිත්. වෙනදා වෙනත් රටක, දුර බැහැරක ඉන්න කෙනෙක් බලාගන්න ආයෙමත්  එනකන්ම ඉන්න අවශ්‍ය වුණත් දැන් ලෝකයේ කොහෙ සිටියත් සුළු වෙලාවකින් ඔහු දුරකථන තිරයෙ සැබෑ ස්වරූපයෙන්ම දකින්න පුළුවන්. ස්කයිප්, වට්ස් ඇප්, වයිබර්, ස්නැප් චැට්, ෆේස්බුක් තවත් කොයිතරම් නම් ක්‍රම තිබෙනවාද? මුල් කාලීනව ඇමැතුම්වලට පමණක් සීමා වුණත් දැන් මොනවද ස්මාර්ට් ජංගම දුරකථනයෙන්  කරන්න බැරි කියන තැනටම ලෝකය ඇවිත්.

 ගමනාගමනය අතින් ගත්තත් මුලින්ම අපේ ගමන් බිමන් සිද්ධ වුණේ පයින් ගමන් කිරීම මඟින්. එහෙමත් නැත්නම් සතුන් මාර්ගයෙන්. එහෙම තිබුණ ගමන් බිමන් රටාව අද වෙද්දි රියැදුරන් රහිත යාන වාහන දක්වාම දියුණු වෙලා. ඉස්සර මේ තාක්ෂණය අපි දැක්කෙ රූපවාහිනියෙන් පමණයි. එදා රූප පෙට්ටියෙන් අපි නරඹපු “නයිට් රයිඩර්” (Night Rider) කාර් එකේ තාක්ෂණය අද වෙද්දි සැබෑවක් බවට පත්වෙලා. ඒ විතරක්ද රට ඇතුළෙ විතරක් නොවේ, වෙනත් රටවලට ගුවන් ගමන් පවා සිද්ධ වෙනවා. ඒවත් අති නවීන පහසුකම් එක්ක.

අතීතයේදී නම් යම් හදිසි අවස්ථාවකදී ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කරන්න හැකියාවක් ලෝකය සතුව තිබුණෙ නැහැ. ඒත් අද වනවිට අනතුරු කලින් හඳුනා ගන්නත්, ඒවා ඉක්මනින් දැනුම්දී මනාව කළමනාකරණය කරගන්නත් අවශ්‍ය දැනුම අප සතුයි. ඒවගේ අවස්ථාවක් පිළිබඳ කිසිදාක නොමැකෙන උදාහරණයක් ලාංකික අප සතුයි. ඒ තමයි 2004 දෙසැම්බර් 26 සිදුවුණ සුනාමි ව්‍යවසනය. අති විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින්, ඊටත් වැඩි පිරිසක් පීඩාවට පත් කරමින් ගලා ගිය රුදුරු රළ ගෙනදුන් හානිය නම් සුළුපටු නැහැ. ඒත් ඒ ව්‍යවසනය අපට එතරම්ම රුදුරු ලෙස බලපෑවේ අප ඒ පිළිබඳව දැනුවත් බවකින් මෙන්ම සූදානමකින් නොසිටි නිසායි. ඊට අදාළ තාක්ෂණික දැනුම ලෝකය සතුව තිබුණත් කුමන හේතුවකින් හෝ ඒ තාක්ෂණය අපේ මේ පුංචි රටට නම් ගලාගෙන ඇවිත් තිබුණෙ  නැහැ. එහි වන්දිය අප හොඳින්ම අත් වින්දා. හැබැයි අද වෙද්දි නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ වෙමින් ඒ දැනුම, පුහුණුව අප සතු කරගෙන තිබෙනවා.

ආරක්ෂක අංශයෙන් ගත්තත් තාක්ෂණිකව මිනිසාට ලැබෙන පහසුව නම් සුළුපටු නැහැ. අද වෙද්දි බොහොමයක් සැකකරුවන් කොටු කරගන්න, අපරාධ වළක්වන්න මේ තාක්ෂණය උපකාරයක් වෙලා තිබෙනවා. CCTV දර්ශන අද සෑම අපරාධයකදීම උපකාර වන ප්‍රධාන සාක්ෂිකරුවකු වෙලා. ඒ වගේම දුරකථන වාර්තා, රස පරීක්ෂණ කටයුතු, පශ්චාත් මරණ පරීක්ෂණ මේ දේවල් බොහොම දියුණු මට්ටමකයි අද තිබෙන්නේ. මේ නිසාම අපරාධයක් කරනවා වගේම සැඟවිලා ඉන්න එකත් දැන්නම් ලෙහෙසි පහසු නැහැ. හැබැයි මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තත් ඒ වගේම සංකීර්ණ වෙලා. මොකද මේ තාක්ෂණයේ දියුණුව රාජ්‍ය ආරක්ෂාවටත් ලොකු බලපෑමක් එල්ල කරන්න සමත් වෙලා තිබෙන නිසා.

ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මේ තාක්ෂණික ලෝකයට ලොකු රුකුලක් ලබා දෙන්න 1998 සැප්තැම්බර් 04 ලැරී පේජ් සහ සර්ජි බි්‍රන් ආරම්භ කරපු google මෘදුකාංගයට හැකි වුණා. ඔවුන් “ස්ටැන්ෆර්ඩ්” සරසවියේ සිසුන්ව සිටියදී තමන්ගේ උපාධිය වෙනුවෙන් සිදුකළ නව නිර්මාණයක් තමයි මේ මෘදුකාංගය.

මෙය මේ වන විටත් ලෝකයේ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය ලෙස ලොවපුරා ප්‍රචලිත වී අවසන්.  

ට්ධධඨතඥ සමාගම අද වෙද්දි අපිට නැතිව බැරි සේවාවක් වෙලා. ඒ වගේම තමයි මේක නොදන්න කෙනකුත් සොයාගන්න නැති තරම්. google map, google street view, google translate වගේ මෙකී නොකී සේවාවන් විශාල ප්‍රමාණයක් හරහා ඔවුන් අපේ දෑස් මානයට තවත් සමීප වෙලා තියෙනවා. google map එක ගැන අපේ රටේ ලොකු පැහැදීමක් නැති වුවත් අනෙක් සේවාවලදී නම් ගූගල් නැතිවම බැහැ. 

 “අන්න ඒ වගේම තවත් වැදගත් ඇප් එකක් තමයි ගූගල් අර්ත්. (google earth) කියන්නෙ. ගූගල් අර්ත් යනුවෙන් හඳුන්වන්නේ අපට යම් ස්ථානයක් අන්තර්ජාලය මඟින් නිරීක්ෂණය කරන්න ආධාර කරන ඇප් එකක්. ඉතාමත් ජනප්‍රිය ඇප් එකක් වෙන මෙය ලංකාව තුළ වුවත් ඉතාමත් ජනප්‍රියයි. මෙහෙම කිව්ව කියලා ඔබ දැන් සිතන්නට එපා ඔබට අවශ්‍ය සෑම ස්ථානයක්ම සෑම දෙයක්ම මේ ඔස්සේ නිරීක්ෂණය කරන්න  පුළුවන් කියලා. මොකද ඒ සඳහා එවැනි අවස්ථාවක්  නැහැ. මන්ද, එයද ක්‍රියාත්මක වන්නේ යම් සීමාවන්ට අවනතවයි.

කොහොම වුණත් මේ ඇප් එක හරහා ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විවිධ නිරීක්ෂණ කටයුතු සිදුකරනවා. නමුත් මේ හරහා සිදුකර තිබෙන සමහර නිරීක්ෂණයන් ලොවපුරා ඉතාමත් ආන්‍ෙදා්ලනාත්මක සිදුවීම් බවට පත්වුණා. ඒත් ගූගල් සමාගම මේ පිළිබඳව කිසිදු අදහසක් නොදක්වා ප්‍රකාශ නිකුත් කිරීමෙන් පවා වැළකී සිටීම නම් මවිතය දනවන්නක්. ඇත්තටම මොනවද මේ ගූගල් සමාගම ගූගල් අර්ත් සම්බන්ධව රහසක් විදිහට තියාගත්ත, නැත්නම් යට ගහන්න උත්සාහ කරන රහස්? ඇයි ඔවුන් එහෙම කරන්නෙ? මෙතෙක් ඉදිරිපත් වී ඇති වාර්තාවන්වලට අනුව ඔවුන් මේ විදිහට ලෝකයෙන් සඟවන සිදුවීම් කිහිපයක්ම තිබෙනවා.

“ Sandy Island “ සිදුවීම 

නව කැලිඩෝනියාවට බටහිර දෙසින් සාගරයේ තිබුණ දිවයිනක් තමයි “සැන්ඩි අයිලන්ඩ්” යනුවෙන් හඳුන්වන්නෙ. මේ දූපත 1876 වසරෙදි “Velocity” කියන ප්‍රකට ගවේෂක නෞකාව දුටු බවට වාර්තා පළ කරල තිබෙනවා. ඒ විතරක් නෙවෙයි 1908 වකවානුවක බි්‍රතාන්‍ය නාවික වාර්තාවලත් මේ දූපත පිළිබඳ වාර්තා වී තිබෙනවා. නමුත් 1970 වසර ආසන්න වන තෙක්ම මේ දූපත කිසිවකුට සොයා ගන්න නොහැකි වුණ නිසා නාවික වාර්තාවලින් ඉවත් කිරීමට පවා කටයුතු කර තිබුණා. බොහෝ නාවිකයන් විශ්වාස කළේ මේ දූපත ගිලී යන්නට ඇති බවයි.

 නමුත් හිටි හැටියේ දිනක ගූගල් අර්ත් මඟින් මේ දූපත නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබුණා. කාලයක් පුරාවටම සොයමින් හිටපු මේ දූපත ගූගල් අර්ත් හරහා දුටු ඕස්ට්‍රේලියානු ජාතික ගවේෂකයන් හා විද්‍යාඥයන් පිරිසක් ඒ තොරතුරු හරහා 2012 වසරෙදි මේ දූපත සොයා ගියා. නමුත් ඔවුන්ට ඒක හමු වුණේනම් නැහැ. මේ නිසා ඔවුන් ගූගල් අර්ත්වල පෙන්වන මෙම දර්ශනයන් පිළිබඳව ගූගල් සමාගමට චෝදනා කළා. ඒ පිළිබඳව සිය කනගාටුව පළ කළ ගූගල් සමාගම දූපත සහිත කොටස කළු පැහැයෙන් බොඳ කරන්න කටයුතු කළත් ඉන් පසුව මේ ගැන කිසිම වාර්තාවක් සපයන්න ඉදිරිපත් වුණේ නැහැ.

මේ සිතියම් ගත කිරීමට පෙර ඔවුන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප පිළිබඳව මාධ්‍යයට සඳහන් නොකිරීම විශාල ගැටලුවක්. වසර ගණනාවක සිට සිතියම්වලින් ඉවත් කළ මේ සැන්ඩි අයිලන්ඩ් දූපත ඔවුන් මේ ඇප් එකට එකතු කළේ ඇයි? ඇත්තටම මේ දූපත සැබැවින්ම දිස්වෙලා තිබුණද? නැත්නම් නිර්මාණකරුවන් කළ කුමන හෝ ආකාරයක ව්‍යාජ සිතියම් ගත කිරීමක්ද? නොඑසේ නම් මේ පිළිබඳව පවතින වාර්තා මොනවාද? එය අදටත් නොවිස¾දුණු පැනයක්.                                                

“Blood Lake “  සිදුවීම

ඉරාකයේ බැග්ඩෑඩ් ආසන්න ප්‍රදේශයක පිහිටා, තිබෙන ජලය පිරුණු බිමක් තමයි “ලාගෝ වර්මෙලෝ” (Lago Vermelho) කියන්නේ. හරියටම කිවුවොත් මෙය පිහිටා, තිබෙන්නෙ ඉරාකයෙ “සාද” කියන ප්‍රදේශය තුළයි. මේක ඒතරම් ජනාකීර්ණ ප්‍රදේශයකුත් නොවේ. නමුත් පසුගිය දිනක මේ ජලජ ප්‍රදේශය රතු පැහැයෙන් නැත්නම් ලේ රතු පැහැයෙන් දිස් වෙලා තිබුණා. පැහැදිලි වාර්තාවක් නොතිබුණත් දින කිහිපයක් යනතෙක්ම ගූගල් අර්ත් හරහා මෙම ප්‍රදේශය මෙලෙස තද රතු පැහැයෙන් දිස්වුණ බවයි වාර්තා වෙන්නෙ. මේ ගැන අදහස් දක්වන විද්වතුන් නම් පවසා තිබුණෙ මේ ආශ්‍රිත ප්‍රදේශයේ මස් සඳහා සතුන් මැරීම සිදුවන බවයි. තවත් පිරිසක් පවසා තිබුණෙ මෙය ඇල්ගී විශේෂයක යම් රසායනික ක්‍රියාවක් නිසා සිදුවෙන්න ඇති බවයි. නමුත් මෙතරම් විශාල ජලබිමක් ඉතාමත් පැහැදිලි රතු පැහැයකින් දිස්වීමට තරම් මෙවැනි ක්‍රියා හේතු නොවෙන බවයි. බහුතර විචාරකයන් පවසලා තිබුණෙ. මෙවැනි දෙයක් විශාල මිනිස් සංහාරයක් නිසා සිදු විය හැකි බවට තවත් මතයක් පළවෙලා තිබෙනවා. නමුත් ඇත්තටම මොකද වුණේ කියල නම් කවුරුත්ම දන්නෙ නැහැ. ගූගල් අර්ත් පවා මේ පිළිබඳව කිසිම අදහසක් හෝ වැඩිදුර විස්තරයක් සඳහන් කරන්නෙත් නැහැ.

ගෝබි කාන්තාරයේ

අබිරහස් රේඛා සම්බන්ධ සිදුවීම

උතුරු චීනය සහ දකුණු මොන්ගෝලියාවට මැදිවෙලා තමයි මේ ගෝබි කාන්තාරය පිහිටලා තිබෙන්නෙ. වර්ග කිලෝමීටර් මිලියන 1.2ක් පුරා විහිදිලා තිබෙන මේ කාන්තාර භූමියෙ අද්භූත රේඛා රටා ගූගල් අර්ත් හරහා 2018 වසරේදි දකින්නට ලැබුණා. මේ රටා බි්‍රතාන්‍යයේ ‘ස්ටෝන් හෙන්ජි’  (Stonehenge) වැනි ගල් අතුර නිමවූ යම් නිර්මාණයක් හෝ පිටසක්වළ යානා ගොඩබැස්වීමට සාදන ලද මංතීරු බවටයි කටකතා පැතිර ගියේ. එයට හේතු වුණේ කාන්තාරයක් මැද මෙවැනි නිර්මාණයක් කරන්න යම්කිසි කෙනකුට ඇති අවශ්‍යතාව කුමක්ද යන ගැටලුවයි. කෙසේ නමුත් මේ ගැන වාර්තා ගෙනහැර දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණෙ චීනය යම්කිසි ආකාරයකින් මේ ප්‍රදේශයේ එක්සත් ජනපදයේ ඇති ‘ඒරියා 51’ට සමාන කඳවුරක් පවත්වාගෙන යන බවයි. නමුත් පසුව මෙම ප්‍රදේශය ගූගල් අර්ත් තුළ දකින්න ලැබිල නම් නැහැ. එයට මොකද වුණේ කියන එකනම් අදටත් රහසක්.

සහරා කාන්තාරයෙන් මතු වුණ

අද්භූත පිරමීඩ සම්බන්ධ සිදුවීම

සැටලයිට් ආධාරයෙන් පෘථිවියේ ඡායාරූප ලබාගෙන අධ්‍යයන කටයුතු සිදුකරන ඇමෙරිකානු ජාතික ගවේෂිකාවක් වන ‘ඇන්ජෙලා මිකොල්’ වරක් ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයෙන් පිරමීඩ යැයි සැක කරන භූ විෂමතාවක් ගූගල් අර්ත් හරහා 2012 වසරේදී නිරීක්ෂණය කරනවා. නමුත් මේ ප්‍රදේශයේ පිරමීඩ ඇති බවට වාර්තා වෙන්නෙ නැහැ. මේ නිසාම ඇගේ මේ සොයා ගැනීම විදෙස් මාධ්‍ය තුළ පවා දැඩි කතාබහට ලක් වෙනවා. ඊජිප්තු ජනවහරේ සඳහන් තවමත් සොයා ගැනීමට නොහැකි වුණ ගීසා පිරමීඩවලටත් වඩා විශාල පිරමීඩ කිහිපයක් ගැන කියැවෙනවා. මේවා වැලි කතරේ සැඟවුණු අද්භූත පිරමීඩ විදිහටයි සැලකෙන්නේ. මිකොල් සොයා ගත්තේ එම පිරමීඩ යැයි මාධ්‍ය, තුළ වාර්තා වුණත් එම ස්ථානයේ එවැන්නක් නැති බව පසුව අනාවරණය වුණා. මිකොල්ගේ මේ සොයාගැනීම අනුව අදටත් විද්‍යාවේදීන් සැඟවුණු පිරමීඩ සොයා ගවේෂණ සිදු කරනවා. ඇතැම් පිරිස් පවසන්නේ ඇය මේ විදිහට දකින්න ඇත්තෙ ‘බට්ස්’ යනුවෙන් හඳුන්වන හුදකලා කඳුවැටි වැනි සහරාවේ ඇති භූ විෂමතාවන් කියලයි. නමුත් මිකොල් ඇතුළු කණ්ඩායම එය තදින් ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිබඳව ගූගල් අර්ත් බලධාරීන් පවසා තිබෙන්නෙ ඔවුන්ට මෙම රූපරාමු සැටලයිට් හරහා ලැබෙන බව පමණයි.

චීනයේ දර්ශන නිවැරදි නැහැ

 ගූගල් අර්ත් හරහා නිරීක්ෂණය කළ හැකි චීනයේ දර්ශන ඒවායේ පිහිටීම අනුව සියයට සියයක් නිවැරැදි නොවන බවයි වාර්තා වෙන්නෙ. චීන රජය ගූගල් සමාගම හා ජපානයේ ‘Fujitsu’ වැනි ලොව ප්‍රධානතම තොරතුරු තාක්ෂණ සමාගම් සමඟ ගිවිසුමකට එළැඹීමෙන් තම රට පිළිබද මෙවැනි සිතියම් ගත කිරීම් වළක්වා තිබෙනවා. චීනය තුළ වුවත් ආරක්ෂක අංශවල නිසි අවසරයකින් තොරව කිසිදු මාර්ග පද්ධතියක් හෝ යම් ප්‍රදේශයක් වුවත් සිතියම් ගත කිරීමක් කළ නොහැකියි. මේ නිසා ගූගල් අර්ත් හරහා චීනයේ යම් පිහිටීමක් නිරීක්ෂණය කරන්නේ නම් එය සියයට සියයක් නිවැරැදි නොවන බව මතකයේ තබා ගත යුතුයි.

උතුරු කොරියාව දකින්න නැහැ

උතුරු කොරියාව නම් මේ ඇප් එකෙන් දකින්න ලැබෙන්නෙම නැහැ. ඒකට විශේෂ හේතුවක් පවසා නැතත් උතුරු කොරියාවේ සිදුවන මානව හිමිකම් කඩවීම්වලට විරෝධය දැක්වීමක් ලෙස මෙය සිදුකළ බවයි ගූගල් සමාගම පවසා තිබුණෙ. නමුත් උතුරු කොරියාවේ දර්ශනත් චන්ද්‍රිකා හරහා ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. මේ කොහොම වුණත් උතුරු කොරියාව මෙහි දකින්න නොලැබෙන්නේ යම්කිසි ගිවිසුමකට අනුවද යන සැකය විදෙස් මාධ්‍ය මතු කර තිබුණා.

සීමා කරපු, බොඳ කරපු තැන් රාශියක්

මින් පෙර සඳහන් කළා වගේම ගූගල් අර්ත් හරහා හැම තැනක්ම බලන්න අපිට බැහැ. මොකද සමහර තැන් තිබෙනවා එම දර්ශන බලන්න බැරි වෙන්න සීමා කරල තිබෙන සහ බොඳ කරලා තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලෙක්සාවේ සිට මෙහෙයවන ‘හර්බ්’ පරීක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මූලස්ථානය, ඉරාකයේ පුරාණ බැබිලෝනියාවට අයත් ප්‍රදේශය,  නෙදර්ලන්තයේ ‘වෝල්කෙල්’ ගුවන් හමුදා කඳවුර වගේ තැන් වගේම හංගේරියාවේ තෙල් නිස්සාරණ මධ්‍යස්ථානයක්, ජර්මනියේ ගුවන් හමුදා කඳවුරක් වගේම රුසියාවේ ස්ථාන කිහිපයකුත් මේ අතර තිබෙනවා.

ප්‍රකට මිනීමැරුම් සිදුවුණ සමහර නිවාසවල ඉදිරිපස දර්ශනත් මේ විදිහට බොඳ කරපු ස්ථාන අතර වෙනවා. මේ විදිහට ගූගල් අර්ත් හරහා ඔබට යම් ස්ථානයක් දැක ගැනීමට නොහැකි නම් අනිවාර්යයෙන් එම ස්ථානය මේ විදිහට ඔවුන් සීමා කරපු තැනක් වෙන්න අවශ්‍යයි. විදෙස් මාධ්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව ගූගල් අර්ත් තුළින් අපිට කිසිදාක බලන්න බැරි මේ වගේ තවත් බොහොමයක් ස්ථාන තිබෙනවා.

අබිරහසක් කිව්වම අපට එක්වරම සිහියට නැඟෙන්නෙ හොල්මන්, ගුප්ත අඳුරු ස්ථාන අතීත ත්‍රාසජනක සිදුවීම් වගේ දේවල්නෙ. නමුත් ඒක එහෙමද කියල නැවත සිතා බලන්න සිදුවෙලා තිබෙනවා. මොකද මෙතරම් දියුණු ලෝකයේ මිනිසාටත් තාක්ෂණයටත් පැහැදිලි කළ නොහැකි සිදුවීම් තවමත් මේ අවකාශයේ සිදුවෙමින් පවතිනවා.

රාජ්‍ය ආරක්ෂාව වගේ තත්ත්වවලදී නම් ඒ ක්‍රියාමාර්ගය සාධාරණයි. නමුත් සැබැවින්ම මේවා මෙහෙම සීමා කරලා තිබෙන්නේ ආරක්ෂාව පිළිබඳව පැනනඟින ගැටලු නිසාමද? එතකොට පිරමීඩ  ජලජ ප්‍රදේශ  කාන්තාර වගේ දේවල් ගූගල් අර්ත් අපෙන් සඟවන්නෙ ඇයි? මේ වගේ සිදුවීම් ගැන ගූගල් සමාගම කිසිම ප්‍රකාශයක් නොකරන්නේ ඇයි? සැබෑවටම ගූගල් ලෝකයෙන් මොනවහරි සඟවනවද? මොනවද? ඔවුන් අපෙන් මේ සඟවන්නේ?

නදීරා හඳුගල