කවරේ ඇති මුදල් නෝට්ටුවේ අංකය පොඩ්ඩක් කියනවද?

0
493

අප මීට වසර 10කට පමණ පෙර කල්පනා කළේ විදුලි බලය විසින් රාත්‍රි අඳුර පරාජය කළ විට හොල්මන් අවතාර අතුරුදන් වූ අයුරින් සෙසු මිථ්‍යා විශ්වාසද කෙමෙන් ඌර්ධවපාතනය වී යනු ඇතැයි කියායි. තොවිල් පවිල් – යක්ෂ-ප්‍රේත-භූත-කුම්භාණ්ඩ යන මනස් විකාරයන් පහව යනු ඇතැයි කියායි. එහෙත් මෑත අවුරුදු 10-12 තුළ මේ දේවල් මධ්‍යම පාන්තිකයාගේ (සංස්කෘතික ජීවිතය සංකෝචනය වීමට සාපේක්ෂව) මනස් තුළ ‘ෆැන්ටසයිස්’ වීමක් අප දකිමු.

අංජනම යනු තවත් එවැනිම වූ මනස් අවතාරයකි.

මීට ප්‍රථම අපි මායාවල මෝහය හා මනෝභ්‍රාන්තිය (පිළිවෙළින් Illusion, delusion, Hallucination) යන මානසික වියවුල් පිළිබඳව සාකච්ජා කොට ඇත. ‘ප්‍රකාශ’ හෙවත් ආලෝක සංසිද්ධිවලින් අපේ ඇස රැවටෙන අවස්ථා (උදාහරණ ලෙස මිරිඟුව නම් සංසිද්ධිය ප්‍රකාශ මායාවකි) ඇත. එලෙසම බරපතළ ලෙස මිථ්‍යා විශ්වාසවලට ඇබ්බැහිවීම නිසා හා ඒවා තුළම ජීවිතය පවත්වාගෙන යන අයට ඇති වන සැකය, අවිශ්වාසය ආශ්‍රිත මානසික ගැටලු එහිදී මතු කළෙමි. පදනමකින් තොරව තම සමීපතමයන් පිළිබඳව පවා ඇතිකර ගන්නා බරපතළ සැකයන් හා අවිශ්වාසයන් වැනි තත්ත්වයන් මෝහය ලෙසින් හඳුනාගනියි.

ඊටත් වඩා බරපතළ මානසික ආබාධවලින් කෙළවර විය හැකි මානසික වියවුල් තත්ත්වයකි මනෝභ්‍රාන්තිය. ඇත්තෙන්ම නොපවතින දේවල් තමන්ට පෙනෙන බවට වන සංජානනය (දැනීම), ඇත්තෙන්ම භෞතිකව නොමැති ශබ්දයක් ඇසෙනවා ලෙසට සංජානනයක් ලැබීම, හැබෑවටම නොමැති ස්පර්ශයක් හෝ පහරදීමක් වැනි දෙයකට තමන් භාජන වූයේ යැයි දැනීමක් ඇති වීම මෙවැනි ‘හැලුසිනේෂන්’ තත්ත්වයට ගොදුරු වූවකුට හැඟේ.  

‘අංජනම’ යන ව්‍යවහාරයද මෙවැනි වූ විශ්වාසයන් දරාගත් අයගේ හා යම් මානසික ඇණවුමකට පහසුවෙන් ගොදුරු වන අයගේ (හෙවත් ස්වයං මෝහනයට භාජන වන අයගේ) හා අංජනම් කට්ටඩින්ගේ අවිඥානික හවුල් ව්‍යාපාරයකි. එනම් ඉහත කී ආකාරයේ මානසික අසමතුලිතතා හෝ මානසික වියවුල් ඇති අය, අනේ‍යාන්‍ය වශයෙන් එකතු වීම තුළින් ක්‍රියාත්මක වන පවත්වාගෙන යන අභිචාර ක්‍රමයකි.

මෙය ලංකාව වැනි රටවලට පමණක් ආවේණික අභිචාර විශ්වාසයක් නොවේ. වෙනත් ආකෘති සහිතව මෙවැනි දේවල් යුරෝපයේද පැවැතිණි. අදටත් එවැනි දේවල් එවැනි රටවල ශේෂව ඇත. අපේ රටේ නම් අඳුරු ද්‍රව්‍යයක් තැවරූ දීසියක්/ තැටියක් වැනි යමක් මීට යොදා ගන්නා අතර එකල යුරෝපයේ ජනප්‍රිය වූයේ අඳුරු කාමරයක් වැනි වටපිටාවක තබා ඇති ස්ඵටිකමය යමක් හෝ විනිවිද පෙනෙන ගෝලාකාර දෙයකි. ලංකාවේ අත්දැකීම නම් මල්-බුලත් තට්ටුවක් මත තබන ලද එවැනි අඳුරු ද්‍රව්‍යයක් ආලේප කළ පීරිසියක් ඉදිරියෙන් තැබූ ඉටිපන්දමක් යොදා ගැනීමයි. බොහෝවිට ළමයකු යොදාගෙන තමන්ට අවශ්‍ය අරමුණ හෝ ඉලක්කය කරා පීරිසියෙන් පෙනෙනවා යැයි කියන ‘හනුමන්තාට’ යොමු කරනු ලබයි.

මෙයින් බලාපොරොත්තු වන්නේ තමන්ට ළඟා විය නොහැකි හෝ සැඟවුණු යමක් සොයා ගැනීමයි. ඉහත ප්‍රස්තුත සිදුවීමේදී ආගිය අතක් නොමැතිවූ තම පවුලේ සාමාජිකයා සොයා ගැනීමට අංජනමක් බලා ඇතිමුත් ඉන් ප්‍රතිඵලයක් අත්ව නැත. අතීතයේ නම් තමන්ව විපතට හෙළනුවස් සතුරකු විසින් කරන ලද ‘කොඩිවිනයක්’, ‘හූනියමක්’ සොයා එය අහෝසි කර දැමීමේ වුවමනාවකි මෙවැනි අභිචාරයකින් අපේක්ෂා කළේ.

මෙවැනි විශ්වාස හෝ අභිචාර ක්‍රම ඉතා වේගයෙන් අහෝසි වී යන්නේ සමාජයේ විචාර බුද්ධිය අවුළුවාලීමේ විශාල ප්‍රයත්නයන් තුළින් නොවේ, නූතන තාක්ෂණයේ පිහිටෙනි. අද මෝස්තරයකට මෙන් ස්ථාපනය කොට ඇති රටපුරා අධෝරක්ත නෙත් යොමාගෙන සිටින CCTV කැමරා නිසා ‘අංජනම් දේවියගේ සහාය’ හෝ ‘හනුමන්තාගේ මඟපෙන්වීම’ දැන් බොහෝදෙනාට අවශ්‍ය නොවේ. එසේවුවත් හුදී ජනයාට විනෝදයක් වන මිථ්‍යා ලෝලිත්වය උදෙසා මේ ආකාරයේ අභිචාරී වතාවත් තුළින් මේ ඇබ්බැහිය සන්තර්පණය කර ගනිති.

එහෙත් යම් කිසිවකුට මේ ‘අංජනමේ’ හෝ ‘අංජනම් දේවියගේ බලපරාක්‍රමය’ සැක හැර දැනගැනීමට පරීක්ෂා කර බැලීමට අවශ්‍ය නම් ඉතා පහසු, සරල පරීක්ෂණයක් ඇත. අතීතයේ අපි එවැනි විශ්වාස දරන්නන්ට  ‘අභියෝග‘ ලෙසින් ඒවායේ ඇත්ත නැත්ත ඍජු ලෙස විනිශ්චය කළ හැකි (ලිට්මස් පරීක්ෂා වැනි) ආකාරයන් ඉදිරිපත් කළෙමු. එහෙත් දැන් අපි එවැනි අභියෝග ඉදිරිපත් නොකරන්නේ එවැනි අභියෝගවලින් ඔවුනට හා එවැනි විශ්වාසවලට නොදියයුතු පිළිගැනීමක් අත්කරදෙන නිසාය. අභියෝග විසින් මොහොතකට මිථ්‍යාව හා සත්‍යය උදෙසාම-සම මට්ටමේ වේදිකාවක් තනාදෙන බැවිනි. එහෙත් යම් කෙනකුට මේ අභිචාර විශ්වාසය නිරාකරණය කරගැනුමට අවශ්‍ය වේ නම් කවරයක බහා මුද්‍රා තැබූ මුදල් නෝට්ටුවක අංකය මෙලෙස අංජනම් දේවියගේ හා හනුමන්තාගේ සහාය ලබාගෙන එහි ඇති අංකය ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.

තාරක වරාපිටිය