කරපු පළමුවැනි චිත්‍රපටයටම සම්මානයක් ලැබීම සතුටක් Samadhi Laksiri

0
159

නර්තනය හැදෑරීමට විශ්වවිද්‍යාලයට පිවිසුණු ඇය වේදිකා රංගනයට පිවිසෙන්නේ අහඹු ලෙසයි. ඒ අනුව නාට්‍ය හා රංග කලාව සම්බන්ධව උපාධිය හා පශ්චාත් උපාධිය හැදෑරූ ඇය අද වන විට වේදිකාව සහ සිනමාව ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ‘දැකලා පුරුදු කෙනෙක්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් පසුගියදා පැවැති SIGNIS සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ ඇය නමින් සමාධි ලක්සිරියි. ලැබුණු සම්මානයේ සතුට බෙදා හදාගන්නට හදගැස්ම අපි ඇයව අපේ කතාබහට සම්බන්ධ කරගත්තා.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල අරගලයත් සමඟ තමයි කටයුතු කරන්නේ. කලා කටයුතු කියලා නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. මම රජයේ රැකියාවක නියුතු කෙනෙක්. රැකියාවේ කටයුතු කරගෙන යනවා. ප්‍රියංකර රත්නායක මහත්මයාගේ ‘රතු වෙස් මුහුණු’ කියලා වේදිකා නාට්‍යයක් කළා පසුගිය කාලයේ. ඒ වගේම කෙටි චිත්‍රපටයක් කළා නවක අධ්‍යක්ෂවරයෙක් සමඟ.

දැකලා පුරුදු කෙනෙක් වෙනුවෙන් ලැබුණු සම්මානය ගැන මොකද සිතන්නේ?

දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය රූපගත කළේ 2013දී. තිරගත කළේ 2019දී. ඒ අතර කාලය, ලොකු කාලයක්. මේ කාලය තුළ මම වෙන කිසිම නිර්මාණයකට සම්බන්ධ වූයේ නැහැ. වේදිකාව සමඟ පමණයි කටයුතු කළේ. ආරාධනා ලැබුණු චිත්‍රපටත් මම කැමැති විධියේ ඒවා නොවෙයි. ඒ නිසා ඒ කාලය තුළ වෙනත් නිර්මාණවලට සම්බන්ධ වූයේ නැහැ. ඒ ගැන පසුතැවීමක් මට නැහැ. නමුත් චිත්‍රපටය ඊට පෙර පෙන්වන්න තිබුණා නම් සමහර දේවල් වෙනස් වීමට ඉඩ තිබුණා. තව වැඩ කරන්න අවස්ථාව ලැබෙන්න තිබුණා. කොහොම නමුත් 2019 පෙන්නපු චිත්‍රපටයකට 2022දීවත් සම්මානයක් ලැබීම ගැන සතුටුයි. සම්මාන ප්‍රදානය ප්‍රමාද වූයේ මුළු ලෝකයටම බලපෑ කොවිඩ් වසංගතය හේතුවෙන් බව සියලු දෙනාම දන්නවා. මෙය මගේ පළමු සිනමා නිර්මාණය සහ පළමු සිනමා සම්මානය. මම මීට පෙර ප්‍රධාන චරිතයකින් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා නැහැ. පළමුවැනි සිනමා නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍ර වීමට ලැබීම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම සතුටුයි. විශේෂයෙන්ම මෙහි තිර පිටපත් රචක මලිත් හෑගොඩට සහ අධ්‍යක්ෂ භූපති නලින්ට මම ස්තූතිවන්ත වෙනවා.

සම්මානයක් කියන්නේ රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට හොඳ උත්තේජනයක් කිවහොත් නිවැරැදිද?

මම සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නොවෙයි. සම්මානයක් ලැබුණු විට ඒ සමඟ එම ශිල්පියාට හෝ ශිල්පිනියට ලැබෙන අවධානය, ගෞරවය ආදී සෑම දෙයක්ම උත්තේජනයක් වෙනවා. ඒ වගේම තවත් හොඳ නිර්මාණ ලැබෙන්න එය හේතු සාධකයක් වෙනවා. ඒ නිසා සම්මානයකින් ඇගයීමක් කියන්නේ අනිවාර්යයෙන්ම රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට උත්තේජනයක්. එය හරිම වැදගත්.

ඔබව නිර්මාණ තුළින් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

ඇත්තම කිව්වොත් මට ගොඩාක් නිර්මණවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. මට ආරාධනා ලැබුණොත් ඒ ලැබෙන්නේ මාව අත්‍යවශ්‍ය ඉතාම හොඳ වැඩකට පමණයි. මට අවුරුද්දකට මතක තිබෙන එක නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබුණා නම් ඒ ඇති. මම රංගනය තුළින් ජීවිකාව සපයා ගන්නා, වෘත්තීයමය රංගන ශිල්පිනියක් නොවෙයි. ඒ නිසා ලැබෙන හොඳ නිර්මාණයක් කරලා අතිශය සාමාන්‍ය විධියට මම ජීවත් වෙනවා.

වෘත්තීයමය වශයෙන් රංගනය තෝරා ගැනීම තුළ රංගනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න අපහසුයි නේද?

ඔව්. රංගනය වෘත්තියක් ලෙස තෝරා ගත් විට හොඳ නිර්මාණ වගේම අපි තේරුමක් නැහැ කියලා සිතන, අවර ගණයේ නිර්මාණවලටත් සම්බන්ධ වීමට සිදු වෙනවා. මොකද ජීවත් වීමට මුදල් අවශ්‍යයි. එය රංගන ශිල්පීන්ගේ වරදක් නොවෙයි. වාසනාවකට මම වෘත්තීය රංගන ශිල්පිනියක් නොවන නිසා මම කවදාවත් මට නොදැනෙන, නොගැළපෙන නිර්මාණයකට සම්බන්ධ වන්නේ නැහැ. මම සිතන්නේ නැහැ අවර ගණයේ නිර්මාණයකට සම්බන්ධ වීම තුළ ආත්ම තෘප්තියක් ලබාගැනීමට පුළුවන් කියලා. නිර්මාණයක් කරලා ඒ නිර්මාණය මිනිසුන්ට අවුරුදු ගණනකට කතා කරන්න යමක් ඉතුරු කරලා තිබෙනවා නම් මට ඒ ඇති. 2012දී මගේ පළමුවැනි ටෙලිනාට්‍ය තුළින්ම හොඳම නිළිය සම්මානයට පාත්‍රවීමට මට වාසනාව ලැබුණා. ඒ ටෙලිනාට්‍යයට පසුව මම තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම අදටත් රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. වේදිකාව තුළ මට සෑහෙන ආරාධනා ලැබෙනවා සහ මම රඟපානවා.

සමාධි කියන ඔබ, දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ දිනිතිව දකින්නේ කොහොමද?

මේ චිත්‍රපටය කළාට පසුව මට මේ සමාජය තුළ දිනිතිලා බොහෝමයක් මුණගැසිලා තිබෙනවා. ඔවුන්ට තිබෙන ප්‍රශ්න විවිධයි. විවාහ වීමෙන් පසුව සැමියා හැර වෙනත් පිරිමියකු සම්බන්ධයෙන් හැඟීමක් ඇතිවීම කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නොවෙයි. දිනිති කියන්නේ එවැනි යම් හැඟීමක් නිසා මුළු ජීවිතයම එක තැනක සිරවෙලා වන්දි ගෙවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එය එම පුද්ගලයාගේ සැකයක් පමණක් වෙන්නත් පුළුවන්. චිත්‍රපටය තුළ ඒ ගැන හරියටම කියන්නේ නැහැ. අපි කරන වැරදිවලට දඬුවමක් ලැබීම සාධාරණයි. නමුත් පැහැදිලි දඬුවමක් නොමැතිව වැට උඩ සිටිනවා වගේ ජීවත් වීමට සිදුවීම හරිම සංකීර්ණයි. ගැහැනියක් තුළ තිබිය හැකි සියලුම මනෝභාවයන් දිනිති තුළ තිබුණා කියලා මම සිතනවා.

මේ රටේ පවතින තත්ත්වය කලාවට බලපා තිබෙන්නේ කෙසේද?

කලාකරුවන් සියයට පනහක් පමණ සිටින්නේ අරගලය සමඟයි. මේ රටේ පවතින තත්ත්වය පුරවැසියන් විධියට අප සියලු දෙනාටම බලපා තිබෙනවා. කලාව වෘත්තිය කරගත් මිනිසුන්ට ජීවත් වීමට වෙන මඟක් නැහැ. නමුත් ඔවුන් තමන්ගේ ජීවන මාර්ගය ගැනවත් නොසිතා අවංක හැඟීමෙන් මේ අරගලය සමඟ රැඳී සිටිනවා. මමත් මට පුළුවන් සෑම වෙලාවකම මේ සාමකාමී අරගලය සමඟ රැඳී සිටිනවා. ඉදිරියේදී අපිට රඟපාන්න චිත්‍රපටයක් හැදෙන බවක් පෙනෙන සීමාවකවත් නැහැ. වේදිකා නාට්‍යයක් කරන්න එකතු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මේ රටට සිදු වූ දෙය ගැන කතා කරන්න වචන නැහැ. මට අවශ්‍ය නම් විදේශගත වෙන්න පුළුවන්. නමුත් මම මේ රට වෙනුවෙන් වචනයකින් හෝ දෙයක් කරන්න උත්සාහ ගනිමින් මේ රටේම ජීවත් වනවා. ඒ අපි මේ රටට ආදරය කරන නිසා.

මේ සාමකාමී අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

ඒ සිදුවීම ඉතාම පහත් ක්‍රියාවක් විධියට මම හෙළා දකිනවා. ඒ සිදුවීමත් සමඟ තව කාලයකට මේ සිදුවීම ඉදිරියට පවතියි කියලා මම සිතනවා. අඩුම තරමින් මම ෆේස්බුක් එකටවත් යන්නේ නැහැ. මේ දේවල් දකින විට ඉතාම විශාල දුකක් කනගාටුවක් දැනෙනවා.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?

චිත්‍රපටයක් සඳහා කතා කරමින් පවතිනවා. එහි අධ්‍යක්ෂවරයාට අවුරුදු 21යි. ඔහුත් සමඟ මම කෙටි චිත්‍රපටයක් කළා. ඒ ඇති වූ විශ්වාසය මතයි මම මේ වැඩේ භාර ගත්තේ. වේදිකා නාට්‍ය කිහිපයක් සඳහාත් සාකච්ඡා කරමින් පවතිනවා. ටෙලි නාට්‍ය නම් භාර ගෙන නැහැ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර