කබරගොයා තලගොයා වීම

0
187

ශ්‍රී  ලංකාව නැඟිටුවන ෆීනික්ස් කුරුල්ලා බවට අගමැති රනිල් වික්‍රමසිංහ පත්ව තිබේ. රනිල් අල්ලා පරසක්වළ ගසන්නට කතා කළ පොහොට්ටුවේ මහත්වරු මේ දිනවල කන් පිරෙන්නට රනිල් වික්‍රමසිංහ ගැන ප්‍රශස්ති ගායනා කරති. කන්න හිතුණම කබරගොයත් තලගොයා වෙනවා යැයි ගම්මු කියන්නේ මේවාටය.

රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර  අර්ජුන මහේන්ද්‍රන් නැවත ලංකාවට කැඳවා මහ බැංකුවේ මහ පුටුවේ වාඩි කරවන්නට වුවද සුදුසු වේලාව පැමිණ තිබේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මාළු කන්නට බලා සිටි රටක මේ අවස්ථාවේ ඔහුට විරුද්ධව මීක් කියන්නට කෙනෙක් සොයා ගත නොහැකි වනු ඇත.

ශ්‍රී  ලංකාවේ ඉතිහාසයට අපකීර්තිමත් කළු පැල්ලමක් එක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පමණි. ඔහු හෙලිකොප්ටර්වල නැඟී කරක් ගසන්නේ මහජන මුදලිනි. නාවික හමුදාපති උළුගෙතැන්න පැවැසූ අන්දමට ත්‍රිකුණාමලේ ආරක්ෂිතව සිටින මහින්ද ඔහුගේ බිරිය ඇතුළු පවුලේ උදවිය මේ දිනවල නඩත්තු වන්නේද මහජන මුදලිනි. බලයේ සිටියදී ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය මහජන මුදල් කාබාසිනියා කළ අන්දම කල්පනා කරන විට තවදුරටත් රාජපක්ෂ පවුලේ බර කර ගසන්නට රටේ ජනතාවට හැකියාවක් නැත.  මේ සෙල්ලම දැන්වත් නතර විය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ 9 වැනිදා ගාලුමුව‍ෙදාර අරගලකරුවන්ට පහරදීම අවාසනාවන්ත සිදුවීමක් බැවින් එය හෙළා දකින බවය.  දහස් සංඛ්‍යාත මැර හමුදාවක් අගමැති නිල නිවසට කැඳවා අයුතු ජන රාශියක් මෙහෙයවා රටේ අගමැති ධුරය දරන මිනිසා කළ අපරාධය ජනපතිට අනුව අවාසනාවන්ත ක්‍රියාවකි.

ඔහු එය හෙළාදකී.

සාමාන්‍යයෙන් හෙළා දකින්නේ මිදුලේ බුලත් කෙළ ගැසීම වැනි සුළු සිදුවීම්ය. රටම ගිනි තැබූ ඛේදවාචකයක් හෙළා දැකීමෙන් නතර විය හැකිද? එය මෙහෙයවූවන් අධිකරණය ඉදිරියට පමුණුවා උපරිම දඬුවම් ලබාදිය යුතුය. එම සිදුවීමෙන් පසු රට පුරා ගිනි තැබීම් පැතිර ගියේය. ඊට ගොදුරු වූයේද ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ නිවෙස් හා භෞතික සම්පත්ය. ඒ විනාශයට වගකිව යුත්තේද හිටපු අගමැති මහින්ද රාජපක්ෂය.

ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් පෙනී යන්නේ අරගලයට පහරදීමේ භයානක සිදුවීම ලෙස්සා හරින්නට ආණ්ඩුව අරඅඳින බවය. මිනිසුන් මරා දැමූ, ගෙවල් ගිනි තැබූ සංවිධානාත්මක පුද්ගලයන් වේ නම් ඔවුන් කවුරුන්දැයි විමර්ශනය කර අධිකරණය හමුවට පැමිණවීම ආණ්ඩුවේ වගකීමකි. හැමදාමත් අපරාධ සිදුකර පාපිස්ස යට සඟවන්නට ආණ්ඩුවට ඉඩ නොදෙන්නට ජනතාව තීරණය කළ යුතුය.

1983 අපකීර්තිමත් කළු ජූලිය අවස්ථාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පැවැසුවේ යුද්ධය හා සාමය දෙකින් එකක් තෝරා ගැනීමට ජනතාවට ඉඩදෙන බවය. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් නොකළද රටම ගිනි ගනිද්දී ඔහු දැක්වූ නිහඬතාවයෙන් පෙනී ගියේ එවැනිම ස්ථාවරයක ඔහු සිටි බවය. සියල්ල අවසන් වූ පසු ඇඳිරි නීතිය දමන්නටත්, බරපතළ ඉන්ධන හිඟයකට රට මුහුණදී සිටින අවස්ථාවේ යුද්ධ ටැංකි කොළඹට කැඳවා වීදිවල ගමන් කරවීමටත් ජනපති ගත් පියවර ආරක්ෂක අංශ පවා හාස්‍යයට ලක් කරවන්නකි.

පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 සංශෝධනය නැවත බලාත්මක වන පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපති පවසා තිබේ. දෙවසරකට ඉහත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේද ජනාධිපතිවරයා මෙවැනිම ප්‍රකාශයක් කළේය.  සඳුදා එක කතාවක් කියා සිකුරාදා තව කතාවක් කියන විට ඒ සියල්ලටම හූමිටි තියන ජනතාවක් දැන් ලංකාවේ නැත. දේශපාලකයන්ගේ අනීතික ක්‍රියා නොඉවසන අරගල බිමක් බවට  මුළු රටම පත්ව තිබේ.

පොහොට්ටු පක්ෂය අටවාගෙන රාජපක්ෂ පවුල අවුරුදු දෙකක් තුළ ශ්‍රී  ලංකාවට කරන ලද විනාශය නැවත සිදුකිරීමට ඉඩ දෙන්නට ජනතාව සූදානම් නැති බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.