උතුම් වෙසඟේ  අපි හෘදය සාක්ෂිය  අවදි කරමු

0
271

වර්තමානය තුළ වෙසක් උත්සවය සමරන්න පුළුවන්ද? වෙසක් උත්සවය අර්ථවත්ව සැමරිය යුත්තේ කෙසේද? අපි මේ ලිපිය තුළින් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මෙම කාරණා පිළිබඳවයි.

වර්තමානය වන විට අප සියලු දෙනාම තම තමන්ගේ ජීවිකාව රැක ගැනීම වෙනුවෙන්, තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. මීට අමතරව රටට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙළගැසුණු පිරිසක්ද සිටිනවා. ඒ වගේම මේ අසාධාරණ ක්‍රියාව දකිමින් මුනිවත රකින තවත් පිරිසකුත් සිටිනවා. මේ විවිධ කණ්ඩායම් තුළ ලාංකිකයන් වශයෙන් ඔබ කුමන හෝ ආගමක් අදහනවා වන්නට පුළුවන්. ඒ සියලු දෙනාට එක හා සමානව මේ ගැටලුවලට මුහුණ පාන්නට සිදුවී තිබෙනවා.

බෞද්ධයන් විදිහට අප මැයි මාසයේ එළැඹෙන පොහොය දිනය වෙසක් මංගල්‍ය නමින් හඳුන්වනවා. බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම කියන මංගල කාරණා සිදුවී තිබෙන්නේ මැයි මාසයේ පොහොය දිනයේදීයි. එම නිසා අපි බෞද්ධයන් විදිහට වෙසක් මංගල්‍ය ලෙස මැයි මාසයේ යෙදෙන පොහොය උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා. වාර්ෂිකව වෙසක් උත්සවය වෙනුවෙන් අපි විවිධාකාර දේවල් සිදු කරනු ලබනවා. ඒවා ආමිස පූජාවන් සහ ප්‍රතිපත්ති පූජා වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යනු මොනවාද, ඒවායේ ඇති වැදගත්කම සහ මේ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා වෙසක් උත්සවය සඳහා පමණක්ද යන කරුණු කාරණා පිළිබඳව අපි මුලින්ම සලකා බලමු.

බුදුරජාණන්වහන්සේට ශාරීරික වශයෙන්, උත්තේජක වශයෙන් හා පාරිභෝගික වශයෙන් පූජා පවත්වනවා නම් ඒවා ආමිස පූජාවන් වෙනවා. බුදුරජාණන්වහන්සේගේ පිළිම වන්දනා කිරීම, මල් පහන් පූජා කිරීම, බුද්ධ පූජාවන් පූජා කිරීම, බෝධිය පැන්වලින් නෑවීම ආදී ලෞකික ජීවිතයේ ඇසට පෙනෙන වන්දනාවන් සිදු කිරීම ආමිස පූජාවයි. ප්‍රතිපත්තිමය පූජාවන් යනු බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව මිනිසුන් ශ්‍රද්ධාවක් උපදවා ගන්නවාද ඒ ශ්‍රද්ධාව අනුව බුදුරජාණන්වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කිරීමයි.

ආමිස පූජාවන් සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ දිනක් බුදුරජාණන්වහන්සේගෙන් අසා සිටියහ. මේ බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වනවා. “භාග්‍යවතුන් වහන්ස ආමිස පූජාවත්, ප්‍රතිපත්ති පූජාවත් මිනිසුන්ට වැදගත් වන්නේ කෙසේද?” යනුවෙන් ආනන්ද ස්වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් ඇසුවා.

 එවිට බුදුරජාණන්වහන්සේ වදාළමින් පවසා සිටියේ “ආනන්ද, මා වෙනුවෙන් පුද පූජා පවත්වන එක හොඳයි. එහි කිසි වරදක් නැහැ. ඒ තුළින් මිනිසුන්ට ශ්‍රද්ධාව ඇති කරගත හැකියි. ඒ ශ්‍රද්ධාව ඇති කරගත් විට මිනිසුන්ට දුගතිය අතහැර සුගතියට යන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරීම මඟින් මිනිසුන්ට ඒ අයට ලෞකික ජීවිතයෙන් ඔබ්බට ගොස් ලෝකෝත්තර ඥානයක් අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. එවැනි වූ පුද්ගලයන්ට පුළුවන් වෙනවා නිවන කියන පරම සැපය වෙනුවෙන් ගමන් කරන්න” යනුවෙනි.

එසේ නම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් යන මාර්ග ඵල ලබන්න නම් අප විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුත්තේ ප්‍රතිපත්ති පූජාවයි. බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කළ දර්ශනය  අනුගමනය කරමින් ජීවත් වීම හා ජීවිතය සකස් කර ගැනීමයි අප විසින් කළ යුතු වන්නේ. වර්ෂයක තිබෙන පෝය ‍ෙදාළොස අතරින් උත්තරීතරම පොහොය වන්නේ වෙසක් පොහොය දිනය වන නමුත් වෙසක් පොහොය දිනයේ පමණක් මේ ප්‍රතිපත්ති පූජාවන්වල යෙදීමෙන් පමණක් අපිට මේ දුකෙන් මිදෙන්න බැහැ. අපි සෑම මොහොතකම ප්‍රතිපත්ති පූජාව තුළත් ආමිස පූජාව තුළත් රැකෙන්නට අවශ්‍යයි. එලෙස රැකුණොත් පමණයි අපි නියම බෞද්ධයන් වන්නේ.

තෙමඟුල සිහිකරන්න වෙසක් කූඩුවක් හදන්න, පහනක් දල්වන්න. මේ දේවල් සිදු කරන විට අපට බුදුරජාණන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. එලෙස ශ්‍රද්ධාව ඇතිවීම තුළ කුසලයක් ඇති වෙනවා. නමුත් ඒ කුසලයෙන් පමණක් අපට නිවන් දකින්නට ලැබෙන්නේ නැහැ. ආමිසයෙන් තොර වෙලා ශ්‍රද්ධාවක් ලබා ගන්න බැහැ. ශ්‍රද්ධාවෙන් තොර වෙලා ප්‍රතිපත්තියක් රකින්නට බැහැ. එම නිසා ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් හරියට දම්වැලක පුරුක් වගේ. ප්‍රඥාව ඇතිවීමට නම් ශ්‍රද්ධාව ඇති විය යුතුයි. බුදුරජාණන්වහන්සේ මේ ධර්මය දේශනා කර තිබෙන්නේ ප්‍රඥාවන්තයාටයි. අන්න ඒ ප්‍රඥාවන්තයා තමයි ලෞකික ජීවිතයෙන් ඔබ්බට ගොස් ලෝකෝත්තර ජීවිතයක් පිළිබඳව දකින්නේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ජීවිතය උදාහරණයට ගෙන බලන්න. උන්වහන්සේ අපට කොතරම් දේ ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූවාද? බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයට වැඩම කරන මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේට “ආනන්ද මගේ දිරාගිය ශරීරය හරියට කරත්ත රෝදයක් වගේ” යනුවෙන් පැවැසුවා. මේ තුළින් අපි සියලු දෙනාම අනිත්‍යතාව පිළිබඳව වටහා ගන්නට ඕනෑ. රාජ්‍ය පාලනය කරන උදවියත් මේ අනිත්‍ය වටහා ගන්නට ඕනෑ. අපි පසුගිය දිනවල දුටුවා සබන් මිල ඉහළ ගිය විට මුදල් තිබෙන මිනිසුන් තමන්ට අනවශ්‍ය තරමේ සබන් කැට ප්‍රමාණයන් මිලදී ගන්නවා. එකතු කරමින් ගොඩගසා ගන්නවා. ඔවුන් එලෙස සබන් මිලදී ගන්නා විට නැති බැරි දුප්පත් මිනිසුන් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් සබන් කැටයක් මිලදී ගන්නේ කොහොමද? කොහෙද එතකොට අපි මේ කතා කරන ධර්මය. අවුරුදු දෙදහස් හයසියයක් පමණ තිස්සේ අපි සාකච්ඡා කරන ධර්මය ගැන අවබෝධයක් අපේ රටේ ජීවත් වන මිනිසුන්ට තිබෙනවාද ඒ වගේම රටේ ජීවත් වන අහිංසක මිනිසුන්ගේ සතුට වෙනුවෙන් රාජ්‍ය පාලනය කරන උදවියත් කටයුතු කරනවා නම් මේ වෙසක් උත්සවය අපට අර්ථාන්විතව සමරන්නට පුළුවන්කම ලැබෙනවා.

අවුරුදු පන්දහසක් තමන් වහන්සේ දේශනා කළ දහම රැකෙනවා යැයි බුදු රජාණන්වහන්සේ දේශනා කළා. මේ වන විට වසර 2600ක් ගත වෙමින් තිබෙනවා. කොසොල් රජතුමා දුටු සිහින මේ වන විට සිදුවෙමින් තිබෙනවා. එසේ නම් මේ ශාසනය විනාශ වෙමින් පවතිනවා නොවේද? බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ නාමයෙන් අද වන විට මිනිසුන් කරන්නේ කුමක්ද යන ගැටලුවත් අපට මතු වෙනවා. සමාජයට අනර්ථයක් වන අයුරින් වැඩ කරමින්, සොරකම් කරමින් කොපමණ පිළිම වහන්සේලා, චෛත්‍ය වහන්සේලා තැනුවත් වැඩක් නැහැ. අපි කල්පනා කරන්න ඕනෑ. මේ වන විට මහා විශාල ලෙස අපරාධ කළ දූෂිත රටක් වන ලංකාව තුළ බුදු දහමට තිබෙන තැන ගැන අපට පැහැදිලියි. හික්ෂුන් වහන්සේලාත් බුද්ධ චීවරය දරාගෙන, කුමන හෝ ලාභ ප්‍රයෝජනයක් මත නොමනා ලෙස හැසිරෙන ආකාරය අපි දකිනවා. මේ වංචා අපරාධ නිසා අප රට තවත් දුගතියට පත් වෙනවා. ධර්මද්වීපය ලෙස හ¾දුන්වන මේ රට තුළ ධාර්මිකව කටයුතු කරනවා නම් සෑම දිනයක්ම වෙසක් දිනයක්. සෑම දිනයකම කුසල් රැස් කර ගන්නට පුළුවන්.

වෙසක් උත්සවයෙන් අපි බලාපොරොත්තු වන්නේ මිනිසුන්ගේ සතුටයි. මිනිසුන් සතුටින් සිටින විට තමයි ශ්‍රද්ධාව උපදවා ගන්නේ. ශ්‍රද්ධාව තමයි නිවන කරා යන ගමනට මූලික වන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඒවා නම්,

–             නූපන් අකුසල් මැඬපවත්වා ගැනීමට වීර්ය කිරීම

–             මෝදු වූ අකුසලයන් මැඬපවත්වා ගැනීමට වීර්ය කිරීම

–             නූපන් කුසල් උපදවා ගැනීමට වීර්ය කිරීම

–              උපන් කුසල් වැඩි දියුණු කරගැනීමට වීර්ය කිරීම

මේ මොහොතේ අපේ රටේ මිනිසුන් වීර්ය කරන්නේ බඩගින්න නිවාගැනීමටයි. අසරණ වූ මිනිසුන් බඩගින්න නිවාගැනීමට වීර්ය කිරීමේදී සොරකම් කිරීමට පවා පෙලඹෙන අවස්ථා අපි දැක තිබෙනවා. නමුත් මේ මොහොතේ බඩගින්න නිවාගන්නට වීර්ය කරන අප අනෙකාගේ අයිතීන් සුරැකීමටත්, කිසිවකුට හිරිහැරයක් නොවෙන අයුරින් කටයුතු කිරීමටත් සිහිතබා ගත යුතුයි. අපහසුම මොහොතේදීත් නූපන් අකුසල් උපදින්නට නොදී මැඬපවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. යම් අකුසලයක් මෝදු වීගෙන පැමිණෙනවා නම් එය මැඬපවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. නූපන් කුසල් උපදවා ගැනීමට සහ උපන් කුසල් වැඩිදියුණු කරගැනීමට කටයුතු කළ යුතුයි.

ඔබට කවුරුන් කොහොම සැලකුම් කළත් ඔබ ඔබේ ජීවිතය ධර්මය තුළින් ජීවිතය දකින්නට උත්සාහ කරන්න. එය ආරම්භ කරන්න සුදුසුම දවස මේ උතුම් වෙසක් පොහොයයි.  ඒ වගේම බෞද්ධයන් වන අප තවත් එක් කරුණක් සිහි තබාගත යුතුයි. තමන් කෙතරම් හැංගි හැංගී වැරදි වැඩ කළත්, කාට සොරෙන් සොරකම්, මැරකම්, කුහකකම්, දුෂ්ටකම් කළත් ඒවා දකින් තුන් දෙනෙක් සිටිනවා. පළමු වැන්නා තමන්ගේ සිතයි. දෙවැන්නා දෙවියන්. තුන්වැන්නා මාරයාය. මේ තිදෙනාගෙන් ගැලවීමට පුළුවන් කමක් නැති බවත්, ඔබ කරන කියන සියලු දෑ මේ තිදෙනා දකින බවත්, ඒ අනුව කර්මානුරූපීව කෙදිනක හෝ ඒවායේ ඵල විපාක විඳීමට ඔබට සිදුවෙන බවත් තරයේ සිහි තබා ගන්න. එම නිසා සත්‍යතාවයෙන් වැඩ කරන, ධර්මානුකූල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් විදිහට ජීවිතය අරඹන්න මේ උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය දිනයේ වීර්ය උපදවා ගන්න.

කුශාන්ති අනුරාධා බණ්ඩාර