අහස පොළොව පහ වූවත්,  මාගේ වචන පහ නොවන්නේය

0
267

මෙලොවෙහි අපගේ ක්‍රිස්තියානි ජීවිතය සඳහා වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම හා සත්‍ය බලාපොරොත්තු කවරේද? එතුමාණන් වෙනුවෙන් අප හට බොහෝ කාර්යයන් ඉටු කළ හැකිය. විවිධ ආකාරයෙන් සභාවේ කටයුතුවලට සහභාගි විය හැකිය. විවිධ වගකීම්ද දැරිය හැකිය. ව්‍යාපෘති සැලසුම් කළ හැකිය. සමාජ සේවාවන්හි යෙදිය හැකිය. අප විවිධ වූ කැඳවීම් ලද නමුත් දෙවියන් වහන්සේ අප එක් එක් පුද්ගලයා වෙතින් බලාපොරොත්තු වන දෙයක් ඇත. එනම් එය අප ජයග්‍රහණය ලැබිය යුතුය යන්නය.

අප ජයග්‍රහණය කළ යුත්තේ කුමක්ද? ලෝකය බව 1 ජොහාන් 5:4 පවසයි.

“ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජය ගන්නේ වෙන කවුද?”

“ලෝකය” යනු සියල්ල අඩංගු වූවකි. ජේසුස් වහන්සේ මෙම වචනය යොදා ගත්තේ ඒ නිසා බව මම විශ්වාස කරමි. මෙලොවෙහි අප බලාපොරොත්තු වන සියල්ල අප ජය ගත යුතුය. දෙවියන් වහන්සේ අපගේ බලාපොරොත්තුද, ආකල්පද, කෝපයද, හිංසාවද, දිළිඳුකමද හා ජන බලය යනාදී සියල්ල ජයගත යුතු බවට බලාපොරොත්තු වන සේක.

මුළු ලොවම ජය ගැනීම දුෂ්කර වන බැවින් ක්‍රිස්තියානින් වන අපි අපගේ ජීවිතයේදී දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවලින් 95%ක් ප්‍රතික්‍ෂේප කරන්නෙමු. අප අතර බොහෝ අය කරුණු තුනක් හෝ හතරක් පමණක් ජයග්‍රහණය ලැබීම පිණිස සෑහේ යැයි අදහස් කරති.

එහෙත් අපි 1 ජොහාන් 5:4 වාක්‍යය නැවතත් කියවා බලමු.

වාතාවරණය හෝ දක්‍ෂතාව හෝ අධ්‍යාපන උෟනතාව හෝ කුමන තත්ත්වයක වුවද දෙවියන් වහන්සේගේ නැවත උපත ලද කිනම් විශ්වාසිකයෙක් වුවද ලෝකය ජය ගැනීමේ කටයුත්තට පටහැනි විය නොහැකිය. දෙවියන් වහන්සේ කිනම් දෙයක් පිළිබඳව වුවද තම අදහස වෙනස් කර නොගන්නා සේක.

“අහසත් පොළොවත් පහ වන්නේය. නමුත් මාගේ වචන පහ නොවන්නේය.” යනුවෙන් ශුද්ධවර මාක් 13:31 වාක්‍යය පවසයි. එතුමාණෝ වරක් අපෙන් බලාපොරොත්තු වූ යමක් ඉටු වුවද, ඉටු නොවුවද එතුමාණෝ එම බලාපොරොත්තුව වෙනස් කර නොගන්නා සේක.

අපි කිනම් අවස්ථාවල ජය ලැබුවෙමුද කිනම් අවස්ථාවලදී ජය නොලැබුවෙමුද යනුවෙන් එම අවස්ථා මතකයෙහි තබාගෙන සිටින්නෙමු.

යටපත් කිරීම යනු ජයග්‍රහණය ලබා ගැනීමට විරුද්ධ දෙයකි. මක්නිසාද යත් බාහිර වශයෙන් බැලීමේදී ඒ දෙක සමාන ලෙස දිස්වේ. අප ප්‍රශ්නයක් යටපත් කිරීමේදී ඒ සඳහා වූ ලකුණු ගිල ගනිමින් නිර්මාණාත්මක එම වාතාවරණයට විසඳුම් සෙවීමට උත්සාහ කරමු. එය සාධාරණීකරණය කිරීමට උත්සුක වෙමු. එහෙත් එම ප්‍රශ්නය ගැඹුරින් තවදුරටත් දුම් නඟිමින් පවතී. බලාපොරොත්තු නොවූ පරිදි යම් දිනකදී එය නැවතත් පිටතට නික්මේ. මන්ද අවසාන ජයග්‍රහණය එතෙක් ලබා නොතිබීමය. සටන තාවකාලිකව පාලනය කරනු ලැබ ඇත. සිදුවී ඇත්තේ එපමණකි. පසු බැසීම තුළින් ප්‍රශ්නය යටපත් කරනු ලැබ ඇත. එය ජය අත්කරගෙන නැත.

ජේසුස් වහන්සේ අප ජය ලබාගත යුතු බවට කැමැති වන සේක. ජය අත්කර ගැනීමට පෙර අරගලයක් සිදුවේ. එයට මුහුණ දීමට අපට හැකියාව ඇත්නම් අවසානයේදී ජය ලබාගත හැකිය.

වාතාවරණය හෝ අපගේ සතුරා හෝ අපට වාසිදායක ලෙස වෙනස්වීම ජය යනුවෙන් අර්ථවත් නොවේ. සමහර විට එම වෙනස්වීම සිදුවී තිබිය හැකිය. එහෙත් එය ජයග්‍රහණයක් ලෙස මම නොපවසමි. සත්‍ය වූ ජය රැඳී ඇත්තේ වාතාවරණය මත නොවේ. එය රැඳී ඇත්තේ අපගේ හදවතෙහිය. එවිට අපට පහත සඳහන් අයුරින් ඵල ලබාගත හැකිය.

–             එකට සේවය කරන්නාගේ තත්ත්වය තවදුරටත් මා කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

–              මගේ ගුරුතුමා නිතර මා පිළිබඳව දොස් පවරා මා නිවැරදි කිරීමට උත්සාහ කිරීම මගේ හදවතෙහි විරුද්ධ හැඟීම් හෝ අමිහිරි හැඟීම් හෝ ඇති නොකරයි.

–            මගේ නෑයන්ගේද, අසල්වාසීන්ගේද නිශේධනාත්මක ආකල්ප මා තුළ පිළිකුල හෝ පිළිගැනීමේ හැඟීම හෝ නිර්මාණය නොකරයි. දැන් මට ප්‍රේමය මිශ්‍ර හැඟීමෙන් යුතුව මෙබඳු ප්‍රශ්න දෙස  බැලිය හැකිය. පෙරදී මා අත්දුටු මානසික පීඩාවද, වැටීමට පත්වූවා බඳුවූ හැඟීමද මට නොදැනේ. මා සහනය ලත් අයුරින් මගේ හදවත කුමන ආකාරයේ නිශේධනාත්මක හැඟීමෙන් වේදනාවට පත් නොවූ පරිදි හැඟේ. මහද විමසා බැලීමේදී මානසික අරගලය එහි දිස් නොවේ. සිත සාමයෙන්ද සතුටින්ද පිරී ඉතිරේ. ප්‍රේමවන්ත හැඟීමෙන් යුතුව සියල්ල වෙත ළං වෙමි. මා වේදනාවට පත් කළ අය වෙතටද මගේ ආශීර්වාදය පිරිනැමිය හැකිය. මම ජයග්‍රහණය අත්පත් කර ගතිමි.

දෙවියන් වහන්සේ කැමැති වන්නේ අප ජයග්‍රහණය ලබා ගැනීම බව අපි දැන ගතිමු. එසේ නම් එම ජයග්‍රහණය අප ලබාගන්නේ කෙසේද?

අපගේ ඇදහිල්ල ලෝකය ජයගනී. යනුවෙන් 1 ජොහාන් 5:4 වාක්‍ය පවසයි.

එබැවින් ඇදහිල්ල තුළින් ලොව ජය ගැනීම පළමු පියවර වේ.

තමන්ගේ ඇදහිල්ල තුළින් පර්වත වුවද සෙලවීමට උත්සාහ කරන ඇදහිලිවන්තයන් පිළිබඳව මම දනිමි. ඔවුහු අයිතිවාසිකමක් සහිතව ඉටුකළ යුතු කටයුතු සඳහා ඉල්ලුම් කරති. ඔවුහු අණ කරන්නෝය. ඊට පසුව ප්‍රාතිහාර්යයන් ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් ඊළඟ වාක්‍ය කියවන විට අපගේ ඇදහිල්ල පිළිබඳ නිවැරදි වැටහීමක් ඇතිවේ.

1 ජොහාන් 5:5

“ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යැයි අදහන තැනැත්තාට මිස අන් කවරකුටද?”

මෙම වාක්‍ය තුළින් ඇදහිල්ල යනු අපරික්‍ෂාකාරී විශ්වාසය නොවන බව අවබෝධ කර ගතිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ කෙරෙහි එතුමාණන් කේන්ද්‍රීය කොටගෙනද ශක්තියක් කොටගෙනද මගේ ඇදහිල්ල පූර්ණව තබා ගත යුතු වීම අවශ්‍යය. එතුමාණන්ට කළ නොහැකි කිසිවක් නොමැත.

ජය ලැබූවන් පිළිබඳ විශේෂ ප්‍රකාශ මෙසේ පැහැදිලි වුවද “ඔවුහු බැටළු පෝතකයාණන්ගේ යානක රුධිරය නිසාද, තමන් සාක්‍ෂි දැරූ පණිවුඩය නිසාද ඔහුගෙන් (යක්ෂයා – ලෝකය – සියල්ල) ජය ගත්තෝය. මන්ද ඔවුහු මරණයටත් බිය නොවී දිවි දීමට සූදානම් වී සිටියහ.” (එළිදරව්ව 12:11)

ජය ලැබීම පිළිබඳව කොටස් තුනකින් වූ මෙම වාර්තාව කුමක් සඳහන් කරන්නේද යන්න වෙන් වෙන්ව විමසා බලමු.

1. කුරුසිය මත සිදුවූ ජේසුස් වහන්සේගේ මරණයෙන්ද එතුමාණන් විසින් වගුරන ලද්දා වූ ලෙයින්ද පමණි අප හට අන්ධකාර රාජ්‍යයෙන් විමුක්තිය ලබා දේව දරුවකු වීමට දෙවියන් වහන්සේගේ පවුලට අයිති වීම හැකිවන්නේ. එතුමාගේ ලෙයින් පවු සේදීමෙන් පවිත්‍ර විය. මින් මතුවට එය අපට කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකිය. සදාකාලිකවම මරණයද, සාතන්ද පරාජය කරන ලදී. අප වහලුන් කර ගැනීමට සාතන් භාවිත කළ සියලු ආකාරයෙන් වූ දම්වැල් ජේසුස් වහන්සේ කඩා බිඳ දැමුවා පමණක් නොව, එතුමාණන්ගේ ලෙය අප ඉදිරියේ වූ සියලු අරගලයන් ජයග්‍රහණය කළ හැකි පරිදි ශක්තිය අප හට පිරිනමයි.

2. තමන් සාක්‍ෂි දැරූ පණිවුඩය නිසාද ඔවුන් තම විශ්වාසය මුළුමනින්ම ජේසුස් වහන්සේ කෙරෙහිත් එතුමාණන් වැගුරුවා වූ රුධිරය කෙරෙහිත් තබා එතුමාණන්ගේ ජයග්‍රහණය තමන්ගේ ජයග්‍රහණය ලෙසට වාර්තා කිරීම මෙයින් දැක්වේ. ජය ගෙන දෙන්නේ ජේසුස් වහන්සේ කෙරෙහි අප තබා ඇති ඇදහිල්ල පමණි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේට සියල්ල ඉටු කළ හැකි බැවින් අපි එතුමාණන් කෙරෙහි පමණක් ඇදහිල්ල තබමු.

3. මෙම ඇදහිලිවන්තයන් ජයග්‍රහණය සඳහා මිලක් ලෙස ඔවුහු තම දිවියද පුද කළ බව මෙහි අර්ථය වේ. ඔවුන්ගේ ජය පිණිස දෙවියන් වහන්සේ කුමන මාර්ගය යොදා ගත්තද ඔවුහු ඒ පිළිබඳව ශෝක නොවූහ. එතුමාණන් ක්‍රියා කළ යුත්තේ මෙපරිදිය යනුවෙන්ද ඉල්ලීම් නොකළහ. පහසු වූ අවසානයක්ද ඔවුහු බලාපොරොත්තු නොවූහ. එතුමාණන්ගේ ක්‍රියාවලියටද අවසානයේදී වන මරණයටද ඔවුහු එක්සිත්ව සහ තෘප්තිමත්ව කැමැත්ත දැක්වූහ.

“කුරුසියෙහි මරණයට පත්වීම තුළින් ජේසුස් වහන්සේ සාතන් ජයග්‍රහණය කළ සේක.”

“තිරිඟු බීජය පොළොවේ වැටී නොමළොත් තනිව තිබෙයි. නමුත් මළොත් බොහෝ ඵල දෙයි” (ශුද්ධවර ජොහාන් 12:24) යනුවෙන් එතුමාණන් ඉගැන්වූ දහම සිය ජීවිතයෙන් ප්‍රායෝගික කළ අසමසම තැනැන්වහන්සේ ජේසුස් වහන්සේය.

ජයග්‍රහණයේ රහස මරණයයි. ආචාරශීලී බව, ගරුත්වය හා තනතුරු ලබාගැනීම පිණිස අයිතිවාසිකම් වෙනුවෙන් මරණයට පත්වීම එයයි. මෙම කරුණු වෙනුවෙන් මා මරණයට පත්වූයේ නම් ඒවා තවදුරටත් මා හට කරදර නොකරයි. මා හට බලපෑම් නොකරයි. පිළිකුලෙන් යුතුව ක්‍රියාකිරීම පිණිස මා උනන්දු නොකරයි. ඒවා මා තුළ ක්‍රියාත්මක නොවේ. මක්නිසාද යත් මා කලින්ම ඒ වෙනුවෙන් මරණයට පත්ව තිබෙන බැවිනි.

එ. ච්.

කුවින්ටස් පෝල්

දලුගම මීසම

විදුහල්පති

බප/කැළ/සාන්ත ෆ්‍රැන්සිස් ම. වි.

දලුගම, කැලණිය