අහසයි-පොළොවයි  එකතු කළ අමුතු Wedding එක

0
554

විවාහය කියන්නෙ දෙවියන් වහන්සේ මිනිසා මතට පටවපු මහා බාරයන් කිහිපයෙන් එකකි. එයිනුත් අප රටට ලැබී ඇති විවාහය ලන්දේසි හා වික්ටෝරියානු උරුමයකි. මහනුවර යුගයේදී විවාහය හැඳින්වූයේ කුටුම්බය යනුවෙනි. මෙය කුල ක්‍රමය හා බැඳී පැවතිණි. ඒ ආර්ථික ස්ථාවරත්වය පිණිසය. දීග විවාහය, බින්න විවාහය, සමගි විවාහය, කඹුටු විවාහය, නවාතැන්දීමේ විවාහය ආදී ලෙස එකල විවාහය වර්ග කෙරිණි. භාරතයේදී එය බ්‍රහ්ම විවාහ, දෛව විවාහ, අසුර විවාහ, ගාන්ධර්ව විවාහ, අර්ශ විවාහ යනුවෙන්ද වර්ග කෙරිණි. මේ ලිපිය වෙන් වන්නේ අභ්‍යවකාශයේ සිදුවූ අමුතුම විවාහ උත්සවයක් පිළිබඳව සොයා බැලීමටය.

සැබවින්ම ඇය සුන්දර මනාලියකි. අෑ හූස්ටන්හි වඩාත්ම කීර්තිමත් මංගල රූපලාවණ්‍යාගාරයෙන් හැඩ වැඩ වූ පිටරටින් ඇණවුම් කළ සම්භාව්‍ය මංගල ඇඳුමකින් සැරසුණු උස තලඑළලු ස්ත්‍රියක් විය. ඇය ඩේවිඩ් බෝවීගේ ‘Absolute Beginners’ ගීතය වාදනය කරමින් සිටින මොහොතක අමුත්තන් 200ක් පමණ රැස්ව සිටි ශාලාවට ඇතුළු වේ. නවසීලන්තයට කිලෝමීටර් 402ක් දුරින් අභ්‍යවකාශයේ මොනිටරයෙන් මංගල ශාලාවේ සිටින තම අනාගත බිරිය දෙස මනාලයා වීඩියෝවෙන් නරඹමින් සිනාසෙමින් සිටී. ඇය ඇගේ මංගල මුදුව පැලඳ ඔහුට පාවෙන හාදුවක් එවයි. ඔහුද එලෙසම ඇයට පාවෙන හාදුවක් එවයි. මේ මොහොත මේ ලිපියේ අකුරුගත වුණේ එසේය. 

2003දී රුසියානු අභ්‍යවකාශගාමියෙක් අභ්‍යවකාශ මෙහෙයුමක යෙදී සිටියදී එක්සත් ජනපදයේ ස්ත්‍රියක් සමඟ විවාහ විය. මෙම සිදුවීම ලෝකයේ මහත් කතාබහට ලක් වූ ආන්‍ෙදා්ලනාත්මක සිද්ධියක් විය.

 දිනය 2003 අගෝස්තු 10 මේ යුවළ රුසියානු සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසි කාන්තාවක් වන එකටරීනා දිමිත්‍රියාවා හා ගගනගාමී යූරි මැලෙන්චෙන්කෝය. ඔවුන් විවාහ වූයේ සැටලයිට් වීඩියෝ සබැඳියක් හරහායි. ඇය සුදු ඇඳුමෙන් සැරසී නාසා මූලස්ථානයේ සිටියාය. ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටියේ ඔහුගේ සම්මත නිල ඇඳුමෙන් සැරසී කඩවසම් පෙනුම විදහාලමිනි. උත්සව අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ඔහු බෝ එකක් සිය නිල ඇඳුමට එකතු කර ගෙන තිබිණි.

 මේ ගගනගාමියාගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු බොහෝ දුක්කම්කටොලුවලට මුහුණ දුන්නේය. යූරි මැලෙන්චෙන්කෝ අභ්‍යවකාශ මෙහෙයුම් පහකට සම්බන්ධ වී වසර දෙකකට වැඩි කාලයක් පොළොවෙන් ඈතට වී සිටියෙකි. ඔහු අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගත කළ (දින 827 සහ පැය නවයක් ගත කළ) ගගනගාමීන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනියා විය. මැලෙන්චෙන්කෝ රුසියාවේ ඉහළම සම්මානය වන ‘රුසියාවේ වීරයා’ යන නාමයේ හිමිකරුවෙකි. එහෙත් හාස්‍යජනක දෙය නම් ඔහු ඔහුගේ කීර්තිය ඔහුට ලැබී ඇත්තේ ඔහුගේ වෘත්තීය වාර්තාවලට අදාළව නොව ඔහුගේ අභ්‍යවකාශ විවාහ මංගල්‍යය නිසාවෙන් වීමයි.

 කවුද මේ යූරි මැලෙන්චෙන්කෝ කියන්නෙ. අපි ඔහු පිළිබඳව මදක් විමසා බලමු. යූරි මැලෙන්චෙන්කෝ උපදින්නේ 1961 දෙසැම්බර් 22දා. යුක්රේනයේ සිට්ලොවොඩ්ස් නගරයේ කිරොවෝගාර්ඩ් නම් ප්‍රදේශයේ. එමෙන්ම ඔහු ආකාශ තරණය පිළිබඳ කැරකෝව් මිලිටරි ආයතනයේ සහ සුකෝව්ස්කි ගුවන් හමුදා ඉන්ජිනේරු ඇකඩමියේ උපාධිධාරියෙකි. ඔහු රුසියාවේ ඉහළම සම්මානයක් වන ‘රුසියානු වීරයා’ සම්මානය දිනාගත් අතරම කසකස්තානයේ ජාතික වීරයා සම්මානයෙන්ද 70 වසරක සේවය පිණිස රුසියානු ගුවන් හමුදා නිලධාරියෙක් වෙනුවෙන් ලැබෙන පදක්කමෙන්ද පුද ලැබූවෙකි.

 මැලෙන්චෙන්කෝ ගුවන් හමුදා සේවා පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඔඩෙස්සා නම් ප්‍රාන්තයේ (මෙය යුක්රේනයේ තුන්වැනියට වැඩියෙන්ම ජනාකීර්ණ පෙදෙසය) 1983 සිට 1987 දක්වා ගුවන් නියමුවකු ලෙසද, ජේ‍යෂ්ඨ ගුවන් නියමුවකු සහ බහු-නැවි පියාසරකරුවන්ගේ ප්‍රධානියෙක් ලෙසද සේවය කළේය. 1987දී ඔහු ගගනගාමියෙක් ලෙස තෝරාගත් අතර ඉන්පසු ගගාරින් අභ්‍යවකාශගාමී පුහුණු මධ්‍යස්ථානයට පැමිණියේය.

1987 දෙසැම්බර් සිට 1989 ජුනි දක්වා ඔහු සාමාන්‍ය අභ්‍යවකාශ පුහුණු පාඨමාලාවක් හැදෑරීය. පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු මැලෙන්චෙන්කෝ අත්හදා බැලීම් සිදුකරන අජටාකාශගාමියෙක් ලෙස සුදුසුකම් ලැබීය. ඉන්පසු 1989 සැප්තැම්බර් සිට 1993 දෙසැම්බරය තෙක් ඔහු අභ්‍යවකාශ තරණය සඳහා සූදානම් වෙමින් උසස් පුහුණු පාඨමාලා හදාරමින් සිටියේය.

1993 ජනවාරි සිට ජූලි දක්වා මාසවලදී මැලෙන්චෙන්කෝ Mir–14 විශේෂ කාර්ය මණ්ඩලයේ අණ දෙන නිලධාරියා ලෙස පුහුණුවීම් සිදු කළේය. 1993 ජූලි සිට 1994 ජනවාරි මාසයේ දක්වා කාලයෙන් පසුව Mir – 15 කාර්ය මණ්ඩලයේ උපස්ථ අණ දෙන නිලධාරියකු ලෙස යූරි පුහුණුව සම්පූර්ණ කළේය. ඉන්පසු 1994 පෙබරවාරියේ සිට ජුනි දක්වා මාසවලදී ඔහු Mir – 16 මෙහෙයුම සඳහා පුහුණු වීම් සිදු කළේය.

මැලෙන්චෙන්කෝ කුලුඳුල් අභ්‍යවකාශ ගමන දින 126ක් විය. 1994 ජූලි 1 සිට නොවැම්බර් 4 දක්වා Soyuz TM ‐ 14 යානයේ සහ Mir මැදිරියේදී ඔහු Mir – 16 මෙහෙයුම සම්පූර්ණ කළේය. මෙම මෙහෙයුමට Euro Mir වැඩසටහනේ කොටසක් ලෙස ඡ්ඉඒ ගගනගාමියකු වන අල්ෆ් මර්බෝල්ඩ්ගේ අභ්‍යවකාශ ගමන ද ඇතුළත් විය. මැලෙන්චෙන්කෝ අභ්‍යවකාශ ගමන් දෙකක් සම්පූර්ණ කළ අතර එය පැය 11කුත් මිනිත්තු 7ක් පුරා පැවැතිණි. ඔහු Progress M-24 යානය Mir මැදිරියේ පළමු වරට තටාකගත කිරීම සිදුකරන මෙහෙයුමේ ටෙලි ඔපරේටර්වරයා විය. 1998 ඔක්තෝබර් සිට 2000 සැප්තැම්බර් දක්වා මැලෙන්චෙන්කෝ 2A සහ 2A.2B ෂටල අභ්‍යවකාශ යානයන් තුළ නාසා ආයතනය යටතේ පුහුණුව ලැබීය. මැලෙන්චෙන්කෝ ස්ථිර කාර්ය මණ්ඩලයට පැමිණියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ STS-106 කාර්ය මණ්ඩලයේ සේවය කළ පසුය.

2001 ජනවාරි සිට ඔහු ISS 7 කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියෙක් ලෙස ක්‍රියා කළේය. මැලෙන්චෙන්කෝ ISS 7 කාර්ය මණ්ඩලයේ සහ Soyuz TMA අණදෙන නිලධාරියෙක් ලෙස ඔහුගේ තුන්වැනි අභ්‍යවකාශ ගමන සම්පූර්ණ කළේය. ඒ NASAහි ගගනගාමී Ed Lu සමඟය. මෙම ගුවන් ගමන 2003 අප්‍රේල් 26 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැති අතර සම්පූර්ණ කාලය දින 185කි. ඉන්පසු  2003 නොවැම්බර් සිට 2005 සැප්තැම්බර් දක්වා මැලෙන්චෙන්කෝ පරීක්ෂක ගගනගාමීන් කණ්ඩායමක් සමඟ තම ඉදිරි පුහුණුවීම් සිදු කළේය. ඉන්පසු 2005 ඔක්තෝබර් සිට 2006 ඔක්තෝබර් දක්වා ඔහු ISS 14 කාර්ය මණ්ඩලයේ පියාසර ඉන්ජිනේරුවකු සහ ඉධරභල අණදෙන නිලධාරියකු ලෙසද පුහුණු විය.

2006 ඔක්තෝබර් මාසයේදී මැලෙන්චෙන්කෝ Expedition 16 පියාසැරි ඉන්ජිනේරුවෙක් සහ Soyuz අණදෙන නිලධාරියෙක් ලෙස පුහුණුව ආරම්භ කළේය. 2007 ඔක්තෝබර් 10 වැනි දින Expedition 16 කාර්ය මණ්ඩලය Soyuz TMA-11 නම් අභ්‍යවකාශ යානයක් දියත් කළ අතර එය 2007 ඔක්තෝබර් 12 වැනි දින කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ තටාකගත කළේද ඔහුය. ඔහු සැබවින්ම වීරයෙකි. මෙවැනි අභ්‍යවකාශගාමියෙක් පිළිබඳව ලෝකයේ මැවී ඇති ප්‍රතිරූපය කෙසේද? එය ඉතා දුර්භාග්‍යයකි. ඒ සියල්ල පසෙකලමින් අපි ඔහුගේ විවාහ මංගල උත්සවය පිළිබඳව විමසා බලමු.

හුස්ටන්වල පැවැති යූරි ගගාරින්ගේ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමනට ගෞරව දැක්වීමේ සාදයකදී 27 හැවිරිදි එක්තරීනා සහ 41 හැවිරිදි මැලෙන්චෙන්කෝ මුණගැසිණි.

එක්තරීනා වයස අවුරුදු හතරේදී ඇගේ මවුපියන් සමඟ සෝවියට් දේශයේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. ඇගේ මව නාසා ආයතනයේ කක්ෂීය වැඩසටහන් විශේෂඥවරියක් ලෙස සේවය කළ අතර ඇගේ පියා ටෙක්සාස්හි විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක් ලෙස ඉගැන්වීය.

මේ වනවිට යූරි මැලෙන්චෙන්කෝ ඔහුගේ තුන්වැනි අභ්‍යවකාශ මෙහෙයුමට පෙර කාර්ය මණ්ඩල අණදෙන නිලධාරියකු ලෙස හූස්ටන්හි පුහුණු වෙමින් සිටියේය. මෙහෙයුම ආරම්භ වීමට මාස හතරකට පෙර ඔහුට මෙම යෝජනාව පැමිනිණි.

යූරි සිය ගුවන්යානයෙන් ආපසු පැමිණීමට නියමිතව තිබූ අගෝස්තු මාසයේදී විවාහ මංගල්‍යය සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත් මෙහෙයුම ඔක්තෝබර් අවසානය දක්වා දීර්ඝ කරන ලදී. මේ නිසාවෙන් උත්සවය කල් දැමීමට බොහෝ කටයුතු යෙදී තිබිණි.

 යූරිගේ වෘත්තිය භයානක එකක් විය. ඔහු ආපසු පැමිණීමට පෙර ඕනෑම දෙයක් සිදුවිය හැකි තරමට එය අවිශ්වාස සහගත තත්ත්වයක පැවතිණි. විශේෂයෙන් කොලොම්බියා නම් අභ්‍යවකාශ ෂටලයක් ව්‍යසනයට පත්වීම (එහිදී ගොඩබෑමට මිනිත්තු 16කට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනාම මිය ගියේය) සිදුවී තිබුණේ මාස හයකටත් අඩු කාලයකට පෙරය.

 කෙසේ වෙතත් රුසියානු පාර්ශ්වය මෙම තර්කයන් එකටරීනාලාගේ පාර්ශ්වයට ඒත්තු ගැන්වූයේ නෑ. Rosaviakosmos (ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය) සහ Russian Mission Control Center යන මධ්‍යස්ථානයන්හි ප්‍රතිචාරය අයහපත් විය. එවකට Rosaviakosmosහි මාධ්‍ය ලේකම් සර්ජි ගොර්බුනොව් මෙහෙම කියනවා.

“අවාසනාවකට යූරි අපිව ඉතා අසීරු තත්ත්වයකට පත් කළා. ඔහු මේ ගැන අපට කිසිසේත් ඇඟවූයේ නෑ. ඔහුගේ පෙම්වතිය බලධාරීන්ගෙන් අවසර ඉල්ලා නාසා ආයතනයට නිල වශයෙන් දැනුම් දුන්නේ යූරි වෙනස් ආකාරයකින් ක්‍රියා කිරීමට තීරණය කරනවා කියාය. ඔහු ගුවන් ගමනට පෙර මේ පිළිබඳ කිසිවක් අපට කීවේ නෑ. නමුත් කක්ෂයේ සිට අපව කැඳවා ඔවුනට සාධාරණයක් ඉදිරිපත් කරන්න යැයි බල කළා. අපි ඔහුට විවාහය තහනම් කළේ නෑ. නමුත් ඔහු චිත්‍රපට තරුවක් නොවී ගගනගාමියකු ලෙස හැසිරිය යුතු බව තරයේම කියා සිටියා.”

 රුසියානු ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී කර්නල් ජෙනරාල් ව්ලැඩිමීර් මිහයිලොව් පැවසූයේ එසේය. තර්කය වූයේ, රාජ්‍ය රහස් සඳහා ප්‍රවේශය ඇති ක්‍රියාකාරී රුසියානු නිලධාරියෙක්, වෙනත් රාජ්‍යයක ගැහැනියක් සමඟ විවාහ වීමට ප්‍රථමයෙන් අවසර ලබා ගැනීම සිදු නොකළේ මන්ද යන්නයි. නමුත් යූරි මැලෙන්චෙන්කෝට තිබුණේ වෙනස් මතයකි.

මෙම යුවළට නාසා ආයතනයේ නායකත්ව සහාය ලැබිණි. ටෙක්සාස් නීතියට අනුව මනාලයාට වලංගු හේතුවක් යටතේ පෙනී සිටිය නොහැකි නම් විවාහය තවමත් ලියාපදිංචි කළ හැකි බවය. මෙම යුවළට හූස්ටන්හි නාසා මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේදී උත්සවය පැවැත්වීමට අවසර ලැබිණි.

 මේ සඳහා විවාහ මංගල දිනයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වීඩියෝ සම්භාෂණයක් පිහිටුවේය. එය නිල වශයෙන් පෞද්ගලික පවුල් සම්භාෂණයක් ලෙස වර්ගීකරණය කළේය. එනිසා එය නාසා රූපවාහිනියේ ප්‍රසිද්ධියේ විකාශනය කිරීමට නොහැකි විය. විවාහයට පෙර ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් මඟින් පාර්සලයක් තුළ දමා ISS වෙත බෝ එක සහ මංගල මුද්ද ලබාදී තිබිණි. මෙම මුද්ද එකටරීනා සතුව තිබූ මුද්දට බෙහෙවින් සමාන විය. ග්‍රහලෝක සහ සූර්යයාගේ ස්වරූපය නියෝජනය කිරීම සඳහා එය රත්රන්වලින් හා වටිනා ගල්වලින් නිමවා තිබිණි.

මුළු උත්සවයම විනාඩි 25ක් තුළ සිදුවිණි. ආගන්තුකයන්ගෙන් තුනෙන් එකක් පමණ රුසියානු භාෂාව කතා කළ අය වූ අතර එයින් NASA සේවක යූරී සිහිපත් කළේය. මැලෙන්චෙන්කෝ වෙනුවට ඔහුගේ බලයලත් නීතිඥයා විසින් ලේඛන අස්සන් කරන ලදී. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගවේෂණ චාරිකාවේ යන දෙවැනි පෙළ සාමාජිකයෙක් වන ඇමෙරිකානු ගගනගාමී එඩ්වඩ් ලූ අතේ ගෙන යා හැකි සින්තසයිසරයකින් විවාහ මංගල්‍යය වෙලාවේ මැන්ඩල්සන්ගේ වෙඩින් මාච් සංගීතය ඛණ්ඩය වාදනය කළ බවද ජොආන් වුඩ්වර්ඩ් නම් එම මංගල සංවිධායකවරයා පවසා සිටියේය.

 Ekaterina Dmitrieva එදින නිව් යෝර්ක් ටයිම්ස් වෙත පවසා තිබුණේ යූරි කොපමණ අෑතින් සිටියත් සන්නිවේදනය ඔවුන් එක් කරන බවය. උත්සවයෙන් පසු එක්ටරීනා සහ ඇගේ අමුත්තන් හූස්ටන් අසල ක්ලියර් නම් විල අසල ඉතාලි අවන්හලක් වන Villa Capri වෙත ගියහ. එහිදී මැලෙන්චෙන්කෝගේ සැබෑ ප්‍රමාණයට සරිලන ප්ලයිවුඩ් කටවුට් එකක් එහි තබා තිබිණි.

එදින Russian Mission Control මනාලයා සමඟ කිසි විටෙකත් සම්බන්ධ වූයේ නැත. විවාහ මංගල්‍යය ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරයක් බවද, ඒ සඳහා රාජ්‍ය සම්පත් වියදම් කිරීමට හේතුවක් නැති බවද සර්ජි ගොර්බුනොව් පැවැසුවේය. රුසියානු මාධ්‍ය ආයතනවල මෙය කිසිදු අයුරකින් විකාශය නොවිණි.

මාස දෙකකට පසු යූරි මැලෙන්චෙන්කෝ නැවත පෘථිවියට පැමිණියේය. ඔහුගේ බිරිය එක්තරීනා ඔහු පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියාය. ඇය රුසියාවේ පදිංචියට ගිය නමුත් ඇයගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරියේ නැත. ඊළඟ ජුනි මාසයේදී ඔවුන් මොස්කව් නගරයට උතුරින් පිහිටි යාරොස්ලාව්හි කුඩා පල්ලියක විවාහ විය. 2006දී මෙම යුවළට කැමිලා නම් දියණියක් ද ලැබිණි.

 එකල බොහෝ ප්‍රවීණයන් පුරෝකථනය කළේ මැලෙන්චෙන්කෝගේ වෘත්තීය ජීවිතය අවසන් වෙන බවය. මන්ද ඒ ඔහු තම ඉහළ නිලධාරීන්ට එරෙහිව යෑමට එඩිතර වූ බැවිනි. ගගනගාමි යුරි ඉන් පසුවද තවත් අයි.එස්.එස්. මෙහෙයුම් දෙකකට ගියේය. ඒ 2007 සහ 2012දීය.

මේ අභ්‍යකාශ විවාහ මංගල්‍යය අභ්‍යවකාශයේ සිදුවූ පළමු සහ අවසාන විවාහ මංගල්‍යය විය. ඉන් පසුව අභ්‍යවකාශගාමීන්ට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහභාගි වීමට පෙර අස්සන් කරන ගිවිසුම්වලදී කක්ෂයේ මංගල උත්සව පැවැත්වීම තහනම් කරන වගන්තියක් ඇතුළත් කළේය.

ඔහුගේ අභ්‍යවකාශගත විවාහ මංගල්‍යයේ ප්‍රධාන ප්‍රතිවිපාකය 2019දී මැලෙන්චෙන්කෝට ලැබිණි. ඒ වනවිට ඔහු සන්නද්ධ හමුදාවන්ගෙන් සහ අභ්‍යවකාශගාමි බළකායෙන් විශ්‍රාම ගොස් Cosmonaut Training Center (CPC) හි පරිපාලන තනතුරක් දරමින් සිටියේය. මෙවර ඔහුට ලැබෙන්නට නියමිතව තිබූ උසස්වීමක් ලබාදීම ඉහළින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ CPCහි පළමු නියෝජ්‍ය ප්‍රධානියා බවට පත් කිරීමය. රොකට් සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ මූලාශ්‍රවලට අනුව එයට හේතුව ලෙස පෙන්වාදුන්නේ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය දරන ස්ත්‍රියක සමඟ විවාහ වී සිටීමය. CPCහි පළමු නියෝජ්‍ය ප්‍රධානියාගේ තනතුර රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය අපේක්ෂා කළ බැවින් මැලෙන්චෙන්කෝගේ අපේක්ෂකත්වය Roscosmos ආරක්ෂක සේවය විසින් අනුමත නොකළේය.

ගිහාන් සචින්ත