අරගල භූමිය   පැයෙන් නැති කරනවා කියූ හිටපු ඇමැති කවුද?

0
134

අගමැතිකම දෙන්න අයකු සොයමින් ගෙවුණු සතිය

රාජපක්ෂ පවුලේ වසර දෙකහමාරකට ආසන්න පාලන කාලය තුළ රට හැම අතින්ම බංකොලොත් වී ජනතාව ඇනකොටා ගනිමින් ගෙවල් ‍ෙදාරවල්, යානවාහන ගිනි තබමින් පැවැති මහා ගාලගෝට්ටිය හමුවේ මහින්ද රාජපක්ෂට අගමැති ධුරය අතහැර ජීවිතය බේරා ගන්නට සැඟවී සිටින තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ අතර ජනාධිපති ගෝඨාභයට වහා ධුරයෙන් ඉවත්වන්නැයි රටේ ජනතාව බල කරන්නට වූහ. මේ තත්ත්වය හමුවේ දින කිහිපයක් රට පාලනය කර ගන්නට නොහැකි තත්ත්වයකට මුහුණදුන් ජනාධිපති ගෝඨාභය පසුගිය 11 වැනිදා ජාතිය අමතමින් නව අගමැතිවරයකු හා නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව ජනතාවට පොරොන්දුවක් දුන්නේය.

ඒ පොරොන්දුව අනුව ගෝඨාභය නව අගමැතිවරයකු තෝරා ගන්නට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විය. ඔහුගේ උත්සාහය වූයේ ඔවුන්ගෙන් අයකු තෝරාගෙන අගමැති ධුරයට පත් කිරීමය.  සජබ, ජවිපෙ නායකයන් කීවේ ගෝඨාභයගේ සම්බන්ධය ඇති කිසිම ආණ්ඩුවකට ඔවුන්ගේ සහාය නොලැබෙන බවයි. මේ අතර ඇතැම් පක්ෂවලින් අගමැති ධුරයට නම් කිහිපයක්ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ගෝඨා රනිල් කසු කුසු

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන්නේ සජබයි. “නායකතුමා මුලින්ම සජබෙ මොකක්ද කරන්නේ කියලා බලමු. එයාලා ආණ්ඩුව ගන්න කැමැති නම් අපි ඒකට උදවු කරමු. එයාලා ගන්නේ නැත්නම් අපි මොකද කරන්නේ කියලා බලමුයි” නියෝජ්‍ය නායක රුවන් කීවේය.  ඔහුගේ කතාව හැමෝම අනුමත කළේය.

පොදුජන පෙරමුණෙන් නවක මන්ත්‍රිවරු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ද විමසා සිටියේ රනිල්ගේ ස්ථාවරය සම්බන්ධයෙනි. ඒ සැමට ඔහු කීවේ ඔයාලා අවංකව මට සහාය දෙනවා නම් මම භාරගන්නම් කියායි.

එජාප සභාපති වජිර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුම ඇරැඹුවේ ජනාධිපති ධුරයෙන් ඉවත්වන තුරු අගමැතිකම භාර නොගන්න බවට සමගි ජන බලාවේගය ප්‍රකාශ කිරීමත් සමඟය. මේ අතර ඇඳිරි නීති සමයේ “ගෝඨාගෝ ගම” සිටින අරගලකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවට ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු  දුරකථනය මඟින් දැනුම් දීමක් කළේය.

හිටපු ප්‍රබල ඇමැතිවරයා රනිල්ට කීවේ මෙවැන්නකි.  “සඳුදා අරගලකරුවන් ඉවත් කරන්න ගිහිල්ලා රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අපේ අයගේ ගෙවල්වලට තමයි ගැහැව්වේ. මෙහෙම ගියොත් රටම ලේ විලක් වේවි. ඔබතුමා ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරන්න.

රනිල් ඒ අනුව ගෝඨාට දුරකථනය ඇමැතුමක් ගත්තේය. ආර්ථික අර්බුදය විසඳා ගන්නා ධ්ර්ජ්  අරමුදලේ සහාය ගන්නා ලෙස දැන්වීමට කතා කරද්දී ගෝඨා කීවේ ඒවා දුරකථනයෙන් කතා කරනවාට වඩා හමුවී කතා කිරීම සුදුසු බවයි.  රනිල් ගෝඨාට කතා කළ පළමු අවස්ථාව මෙය විය.

ජනාධිපතිගේ ඉල්ලීමට එකඟ වූ රනිල් පසුගිය 11 වැනිදා සවස ජනාධිපති මන්දිරයට ගියේය. රටේ ප්‍රශ්න ගැනත් බොහෝ වේලාවක් දෙදෙනා අතර සාකච්ඡා වීමෙන් අනතුරුව ගෝඨා කීවේ රටේ පවතින ආර්ථික අර්බුද අභියෝගය භාර ගැනීමට කිසිවකු සූදානම් නැති බවයි. අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයකු  ලෙස මෙය භාර ගැනීම කාලෝචිත බව ගෝඨා මුට්ටිය දමා බැලුවේය.

අගමැති තනතුර භාරගන්න රනිල් එකඟ වෙයි

ගෝඨාගෝගම පරිශ්‍රයට කිසිවක් නොකරන ලෙස දැනුම් දුන් රනිල් ජනාධිපති ස්ථාවරය කුමක්දැයි දැන ගැනීමට රටම බලාසිටින බව කීවේය. එම නිසා රටට ප්‍රකාශයක් කරන්නැයි ඉල්ලා සිටි රනිල් බහුතරයේ සහාය ගන්න හැකි වුවහොත් තමන් අගමැති ධුරය භාරගන්න සූදානම් බව ජනාධිපතිට දැනුම් දුන්නේය.

ඉන්පසුව එජාප නායකයා සජබ, පොහොට්ටුවේ හා ස්වාධීන මන්ත්‍රිවරුන් සමඟද මේ ගැන කතා කළේය. ඒ අනුව බහුතරයකගේ අදහස වූයේ අගමැති තනතුර භාරගන්නවා නම් තම සහාය හිමිවන බවයි. ඒ අනුව රනිල් තමන්ට හිමි මන්ත්‍රි සංඛ්‍යාව ලිඛිතව ගණනය කරන්නට විය. එසේම තමන්ට සහාය දෙන පක්ෂ සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටද තීරණය කළේය.

සජබ 12ක් රනිල් හමුවෙයි

මේ කටයුතු සිදුවෙද්දී හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ඇතුළු මන්ත්‍රිවරු 12 දෙනෙක් රනිල් හමුවීමට ඔහුගේ පස්වැනි පටුමගේ නිවෙසට පැමිණියහ.  ඔවුන් රනිල්ට දැනුම් දුන්නේ තවත් කණ්ඩායමක් එජාපයට එක්වීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව බ්‍රහස්පතින්දා පක්ෂ හා මන්ත්‍රිවරු සමඟ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමේ වැඩපිළිවෙළක රනිල් යෙදී සිටියේය.

පසුගිය 13 වැනිදා සවස 6.30ට රනිල් නව අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දුන්නේය. කොල්ලුපිටිය වාලුකාරාමයටත්, හුණුපිටිය ගංගාරාමයටත් ගිය රනිල් මහා සංඝරත්නය බැහැදැක ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත්තේය.

වජිරගේ අනාවැකියේ අඩක් හරියයි

රනිල් වික්‍රමසිංහ බෑ කියද්දීත්  තවම පවතින්නේ නොනගතය යැයි කියමින් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර භාරගැනීම කල්මරමින් සිටියේය. රනිල් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පක්ෂය තුළ දැවැන්ත සටනක් කළේ වජිර අබේවර්ධනයි. ඔහු කීවේ රනිල් ජනාධිපති කරවා මිස පස්ස නොබලන බවයි. වජිර මේ වන විට අගමැති කඩුල්ල ජයගෙන තිබේ.  ජනාධිපති කඩුල්ල ජය ගන්නට තව කොතරම් කල් ගතවෙයිද?

මාලිගා තුළ කරන කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නෑ

පුදනකොටම කාපි යකා කියන්නාක් මෙන් රනිල් අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ රස්නය පිටවන්නටත් පෙර ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් මහ සංඝයා වහන්සේලා හා කාදිනල්තුමා එම පත්වීමට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කළහ.

ජවිපෙ නායක අනුර කුමාර කීවේ ගෝඨාභය රනිල් මාලිගා තුළ කරන සටකපට කුමන්ත්‍රණ ජනතාව විශ්වාස නොකරන බවයි. අගමැති ධුරයට රනිල් පත්කිරීම විසඳුමක් නොවන බව හා එය මළදරු උපතක් ලෙස ඔහු හැඳින්වීය.

රනිල් හා ආණ්ඩුව නොපිළිගන්නා බව කාදිනල් හිමිපාණෝ හා ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කීවේ මහින්ද වෙනුවට රනිල් පත්වීම ඉඟුරු දී මිරිස් ගත්තා හා සමාන බවයි. එසේම රනිල් අගමැති කිරීම සදාචාර විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බවද මේ දෙදෙනාම පවසා තිබිණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසන්නේ මේ බැරෑරුම් අවස්ථාවේ පක්ෂ, පාට ජාති හා ආගම් භේද නොබලා කටයුතු කළ යුතු බවයි. මැදගම ධම්මානන්ද නාහිමි පවසා තිබුණේ ලොව පිළිගත් අයකු අගමැති වීම වටිනා බවයි.

රනිල් ගැන මෙවැනි ප්‍රකාශ කිරීම් සිදුවෙද්දී අගමැති ලෙස දිවුරුම් දුන් රනිල්ට මුල්ම සුබපැතුම ලැබුණේ  හිටපු අගමැති මහින්දගෙනි. පසුව ඔහුගේ පුතා නාමල්ගෙන්ද සුබ පැතුමක් ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු සුබ පැතුම අවසන් කර තිබුණේ රනිල්ට තෙරුවන් සරණයි පතමිනි.

රනිල් අගමැති ධුරයට නම් කිරීමට ජනාධිපති ගත් තීරණයද අනියමින් විවේචනයට ලක්ව තිබේ.  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල කියන්නේ එම පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ හරහා නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම හා විජයදාස රාජපක්ෂ යන අය අගමැති තනතුරට සුදුසු නම් ලෙස ජනාධිපතිට යැවීමට කටයුතු කළත් ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකළ බවයි.

අවසන් මොහොතේ තනතුර ඉල්ලා සිටි සජිත්

මේ අතර ගෝඨාභය සිටින ආණ්ඩුවක තනතුරු භාර නොගන්නා බව හා සහයෝගය නොදක්වන බව කී සජබ නායක සජිත් අගමැති ධුරය භාර ගැනීමට කැමැත්ත පළකරමින් හා ඔහුට කැමැත්ත දක්වන සංඛ්‍යාවද ඇතුළත් ලිපියක් ජනාධිපති වෙත අවසන් මොහොතේ යැව්වත්  ජනාධිපති එය ප්‍රතික්ෂේප කර තිබිණි.  ජනාධිපති ලිපියකින් සජිත්ට දැනුම් දී තිබුණේ රනිල් පත්කිරීමට කර තිබෙන යෝජනාව ඉවත්කර ගන්නට බැරි බවයි.

රාජ්‍ය පාලනයක් නැතිව බොහෝ දේ අකර්මණ්‍ය වී රට කඩා වැටී දේශපාලන අර්බුදයක් සමථයකට පත්කර ගන්නට හා ජනතාව තුළ විශ්වාසයක් තහවුරු කරන්නට පමා වී හෝ අගමැති  තනතුරට කෙනකු පත් කිරීමට ජනාධිපති ගත් ක්‍රියා මාර්ගය ගැන එක් අතකින් සතුටු විය හැකිය. එසේම ඒ තීරණය ජනතාව තුළ විශ්වාසය ඇති කරන්නක් මෙන්ම වෙනම සලකා බැලිය යුත්තකි.

ධනපති පන්තිය සමඟි කරවන රනිල්ගේ පත්වීම

ගෝඨාභය මොනවා හිතේ තියාගෙන මේ පත්වීම කළාද යන්න කෙසේ වෙතත් රනිල්ගේ පත්වීම ජාත්‍යන්තර ධනපති පන්තිය සතුටු වනවාට සැකයක් නැත. අපේ අසල්වැසි ඉන්දියාවත් ඇමෙරිකාවත් සතටු වන බව මේ වන විට එම දෙරට දක්වා ඇති ප්‍රතිචාරවලින් පෙනේ.  එසේම චිනයද සතුටට පත් නොවනවා යැයි කියන්නට බැරිය. රනිල්ගේ පත්වීම මෙරට ධනපති පන්තියට එකට සිටීමට අවස්ථාවක් වනු ඇත. රනිල්ට  කලක් විරුද්ධව සිටි පිරිස්ද එකතුවන්නට බැරි නැත.

මේ සියල්ල අස්සේ ජනාධිපතිවරයා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසුව විධායක බලතල ලැබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එසේත් නැත්නම් අගමැතිවරයාටයි. මේ කාර්යය අවසන් වන විට ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වන්නට ඉඩ තිබේ. එසේ වූ විට ජනාධිපති වන්නේ වර්තමාන අගමැති නොවේද? ජවිපෙ නායක අනුර කුමාර මාලිගාවල කුමන්ත්‍රණ ගැන කීවේ මේ අනාගතයේ වන්නට යන මේ සිද්ධිය ගැනවත්ද.

රනිල් බී.බී.සී. මාධ්‍යවේදියාට බි්‍රතාන්‍යය ඉතිහාසය උගන්වයි.

අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු වාලුකාරාමයට ගිය රනිල් ආගමික වතාවත්වල යෙදීමෙන් පසුව එහි සිටි බි්‍රතාන්‍ය මාධ්‍යවේදියකු එක මන්ත්‍රි ආසනයක් තියාගෙන අගමැති ධුරය භාරගත්ත ඔබතුමා මේ අර්බුදය විසඳන්නේ කොහොමදැයි රනිල් වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

රනිල් ඔහුට කදිම පිළිතුරක් දුන්නේය. 1939 ඔයාගේ රට බරපතළ අර්බුදයකට මුහුණ දුන් වෙලාවේ වින්ස්ටන් චර්විල් මන්ත්‍රිකම් හතරක් තියාගෙනයි අගමැතිකම භාරගත්තේ. භාරගෙන අර්බුදයත් විසඳුවා. ඉස්සෙල්ලා ඔයාලගේ ඉතිහාසයත් විමසා බලන්න අගමැති  රනිල්ගේ පිළිතුර විය.

රාජ්‍යතාන්ත්‍රිකයන් අගමැති රනිල් හමුවීමට පෝලිමේ

නව අගමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් රනිල් කාර්යාලයට ගොස් නිල වශයෙන් වැඩ  භාරගන්නටත් පෙර රජයේ නිලධාරීන් මෙන්ම මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කොට වැඩ අරඹා තිබේ.

ඇතැම් අය සමඟ සාකච්ඡා කර තිබෙන්නේ තනතුරේ දිවුරුම් දීමටත් පෙරය. රනිල් ඒ අවස්ථාවේ කාර්යාලය ලෙස යොදාගෙන තිබෙන්නේ වජිර අබේවර්ධනගේ කොළඹ නිවෙසයි.

රාජ්‍ය නිලධාරීන් ඇමැතූ රනිල් රජයේ වත්මන් තත්ත්වය ගැනත්, ඉදිරි සැලසුම් ගැනත් විමසා තිබේ. ඒ සමඟම චීනය, රුසියාව, ඇමෙරිකාව සහ ඉන්දියාව යන රටවල මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් අමතා ඇති රනිල් විනිමය හිඟය මකාගන්නට ණය නොව ප්‍රදාන ලෙස ආධාර ලබා ගැනීමට ඇති හැකියාවන් ගැනය.

එසේම එම රටවලින් ගෑස් හා ඉන්ධන අඩු මිලකට ලබාගැනීමට තිබෙන හැකියාව ගැන රනිල් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහාය ඉල්ලා තිබේ.

ජනපතිගෙන් සජිත්ට දුරකථන ඇමැතුමක්

සජබට කෝච්චිය වැරැදුණාද? නැත්නම් ගියේ වෙලාව පරක්කු කරලාද? සජබ නායක සජිත් අවසන් මොහොතේ අගමැති ධුරය ලබා ගැනීමට කළ මෙහෙයුම ව්‍යර්ථ වී යෑම ගැන දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙවැනි ප්‍රශ්නයක්ද මතුව තිබේ.

මේ ගැන සජබ කියන්නේ මෙවැනි කතාවකි. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසට බල කරමින් ‘ගෝඨාගෝගම’ විරෝධතාව හමුවේ ජනාධිපතිවරයා සජිත්ට දුරකථන ඇමැතුමක් දෙමින් අගමැති ධුරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට පිළිතුර දෙමින් සජිත් කියා ඇත්තේ ගෝල්ෆේස් මතවාදය සමඟ තම පක්ෂය ඉන්නා බවත් මොන දේ වුණත් අරගලය කරන අයගේ අපේක්ෂාවන් ඉටුවන්න ඕනෑ බවත්ය. ඒ වගේම මන්ත්‍රි කණ්ඩායම එක්ක සාකච්ඡා කොට අවසන් තීරණයක් දෙන බවට සජිත් ජනාධිපතිට පොරොන්දුවක් දුන්නේය.

අගමැතිකම භාර ගන්නේ ගෝඨාභය ගියොත් පමණයි

ජනාධිපති සමඟ පැවැති දුරකථන සංවාදය අවසන් වූ වහාම සජිත් පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට උපදෙස් දුන්නේ වහාම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්කරන ලෙසයි. මන්ත්‍රි කණ්ඩායම හමුවේ සජිත් ජනාධිපතිගෙන් ලැබුණ ඇමැතුම ගැනත් ඔහු දුන් පිළිතුර ගැනත් තොරතුරු අනාවරණය කළේය. අගමැති ධුරය ලබා ගන්නැයි ජනාධිපතිගේ ඉල්ලීම ගැන මොකද කරන්නේයි තීරණයක් ගනිමුයි සජිත් සිය මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන්නේය.

මන්ත්‍රිවරු කීවේ රට අගාධයට වැටී තිබෙන අවස්ථාවක දේශපාලනයට වඩා ජනතාව ගැන හිතන්න ඕනෑ කියායි. සජිත් තම ස්ථාවරය දැනුම් දුන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා යන්න ඕනෑ කියායි.මේ අතර අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස ‘ගෝඨාගෝගම’ අරගල භූමියට පහර දෙන්නට විය. මේ ගහන්නේ රාජපක්ෂලා. පොලිස්පති ඇතුළු සියලුදෙනා මේකට වගකිව යුතු බව කී සජිත් කීවේ එතැනට යායුතු බවයි. ආරක්ෂක අංශයේ නිලධාරීන් පැවැසුවේ රාජපක්ෂලාගේ අය තවමත් එතැන සිටින නිසා එහි යෑම අනතුරුදායක බවයි. එහෙත් සජිත් අරගල භූමියට ගියේය. ප්‍රකෝපකාරීව හැසිරුණු අරගලයේ නියුතු පිරිසක් සජිත්ට පහරදීමට පැමිණීමේදී ඔහු එතැනින් නික්ම විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය.

සජිත්ගෙන් මන්ත්‍රිවරු ඇසුවේ පහර දුන්නේ කවුරුන්ද? යන්නයි. පහරදීම කළේ රාජපක්ෂලාගේ මැරයෝ. මම ඒක ප්‍රසිද්ධියේම පවසනවායි සජිත් කීවේය. සජිත් තරමක ආවේගයෙන් කීවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයන්ට හා ජනතාවට පහරදුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවකුට ගැලවීමක් නෑ කියායි.

මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට ගිනි තැබුවේ මෙදින රාත්‍රියේය. ඇතිවෙමින් තිබෙන නරක තත්ත්වය ගැන හර්ෂ ද සිල්වා හා මනුෂ නානායක්කාර කීවේ විපක්ෂයක් විධියට මේක සමථයකට පත් කරන්න මැදිහත් විය යුතු බවය.

අපි රට භාර ගනිමු හර්ෂ සජිත්ට කියයි

ජනාධිපති එළවන්න කටයුතු කරන ගමන් අපි රට භාර ගනිමුයි මන්ත්‍රිවරු යෝජනා කළහ. සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්න හෝ අපි මේක භාර ගනිමු. ඇති වෙලා තියෙන අර්බුදයට මුහුණ දෙමුයි හර්ෂ කීවේ දැඩි උද්වේගයකිනි. සජිත් එයට එකඟත්වය පළ කළේය.

එදින සවස කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්ද පවත්වා සජිත් තානාපතිවරුන් හා මහ බැංකු අධිපතිවරයා හමුවීමටද කටයුතු කළේ ඇතිවී තිබෙන අර්බුදය කඩිනමින් සමථයකට පත්කර ගැනීමේ අදහසිනි.

දැන් තත්ත්වය උග්‍ර අතට පත්වෙලා. අපි ඒකට සූදානම් වෙමු. අපි ආණ්ඩුව ගනිමු. ඒත් රාජපක්ෂවරු ආණ්ඩුවේ සියලු කටයුතුවලින් ඉවත් විය යුතුයි. සජිත් කීවේ හර්ෂ කළ සඳහනකට පිළිතුරු වශයෙනි.

මේ අතර මහ නාහිමිවරුද සජිත්ට කතා කර රට භාර ගන්නැයි ඉල්ලා සිටිමින් ජන අරගලය පාවා නොදෙන්නැයි කීහ.

මේ අතර සජිත්ට දුරකථනයෙන් කතා කළ කාදිනල්තුමා, කොන්දේසි විරහිතව ආණ්ඩුව අරගෙන රාජපක්ෂවරු ආරක්ෂා කරන්න එපායැයි ඉල්ලා සිටියහ.

මේ සියල්ල සිදුවෙද්දී සජිත් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය.

නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත්වීම, සති දෙකක කාලයක් තුළ සියලු පක්ෂවල සහයෝගයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථීරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට මැතිවරණයක් පැවැත්වීම අදිය සජිත් ජනාධිපතිට යැවූ ලිපියේ අඩංගු කොන්දේසි විය.

එසේම කෙටිකාලීන රජය පිහිටුවීමේ රාමුව සහ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බවද සජිත් සිය ලිපියෙන් ජනාධිපතිට දැනුම් දී තිබිණි.

අපි නිවැරදි වෙලාවේ නිවැරැදි තීරණය ගත්තා. සජිත් කියයි

මේ වන විට රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙන බවට මාධ්‍ය ප්‍රචාරය කර තිබිණි. ඒ බවද දැනගත් සජිත් ‘කවුරුවත් ඉල්ලුවද නැද්ද කියන එක අදාළ නෑ. අවශ්‍ය වෙලාවේදී තමයි අපි මේ තීරණය ගත්තේ. අනෙක් කෙනාගේ න්‍යායපත්‍රය අනුව අපේ තීන්දු ගන්න බැහැ. අපි නිවැරදි වෙලාවේ නිවැරදි තීරණ ගත්තේ’යි කීවේය.

එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, කබීර් හෂීම් හා විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන ජනපතිට යැවූ ලිපිය සකස් කළ අතර එය ජනාධිපතිවරයාට භාරදෙන්නට ගියේ රවි ජයවර්ධන සහ මරික්කාර්ය. ලියුම ලැබුණා දැයි සජිත් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගෙන් විමසා සිටි විට ලේකම්වරයා කීවේ ලියුම ලැබුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියාය.

අපි කෙනකුට වචනෙ දුන්නා ජනාධිපති ලේකම් කියයි

හර්ෂ විමසුවේ මොකක්ද ප්‍රශ්නය. ගාමිණි සෙනරත්ගේ පිළිතුර වූයේ අපි එක්කෙනෙක්ට වචනයක් දීලා තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක් යන්නයි. හර්ෂ පැවැසුවේ ප්‍රධාන විපක්ෂය හා විපක්ෂ නායක ආණ්ඩුව භාරගන්නම් කියනවා. ඒ ලියුම අනුව වැඩ කරන්නැයි හර්ෂ ගාමිණී සෙනරත්ට දැනුම් දුන්නේය.

සිද්ධිය වී ටික වෙලාවකින් රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ඒ සමඟම ජනාධිපති, සජිත් එවූ ලිපියට පිළිතුරු ලිපියක්ද යැව්වේය.

“රටේ ප්‍රශ්න නැති කරනවා වෙනුවට රාජපක්ෂ තවත් ප්‍රශ්න ඇති කරන එක තමයි කරන්නේ.” ආවේගයකින් යුතුව කියමින් සජිත් ලිපිය අතට ගත්තේය.

පසුගිය 09 වැනිදා අහිංසාවාදී අරගලකරුවන්ට ප්‍රහාරය එල්ල කළ දිනට පෙර දින පාර්ලිමේන්තු ලොබියේදී පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දසදෙනා සහ ගාලුමුව‍ෙදාර පොහොට්ටු මැර ප්‍රහාරයට නායකත්වය දුන් පොහොට්ටුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු අතර බරපතළ වචන හුවමාරුවක් සිදුව තිබේ.

මේ බලු වැඩේ කරන්න එපා යැයි පසුපෙළ මන්ත්‍රිවරුන් 10 දෙනා හිටපු ප්‍රබල ඇමැතිවරයාට පවසා ඇත. මේ විධියට බස්වලින් අරලියගහ මන්දිරයට සෙනඟ අදින්න එපා. ඔයා කරන වැඩෙන් අපිට ගම්වලවත් ඉන්න ලැබෙන්නේ නෑ. මේ මිනිස්සු කොළඹ ගෙනාවොත් මෙතැන විශාල ගැටුමක් ඇතිවෙනවා. එය නරක වැඩක්. මේක රටේ විශාල ගැටුමක් වෙන්න පුළුවන්. ඔය කැත වැඩේ වහාම නතර කරන්නැයි මන්ත්‍රි පිරිස කීහ.

මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශයෙන් කේන්ති ගත් හිටපු ඇමැතිවරයාද උඹලගේ නායකයට කොන්ද පණ නැති වුණාට මට ඕනෑ නම් ඔවුන් ටික පැයෙන් පන්නලා දාන්න පුළුවන්. ගෝල්ෆේස් එකේ උදේ අරගලකාරයන් ඉන්නේ 150ක්. අපේ එවුන් දම්මලා උන්ටික මම පැයෙන් පන්නලා දානවා.

උඹලගෙ නායකයට (ගෝඨාභය) කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑයි කී හිටපු ඇමැතිවරයා මන්ත්‍රිවරුන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් යන්නට ගියේය.

බාබේරියන්ස්ලාගේ දේශය

උතුරේ යුද්ධය පැවැති සමයේ ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී  ලංකාව හඳින්වූයේ “බාබේරියන්ස්”ලාගේ රටක් ලෙසයි. ඒ කාලයේ විදේශවල පදිංචිව සිටි ශ්‍රී  ලාංකිකයන් හැඳින්වූයේද “බාබේරියන්ස්” කියලයි. කළු ජූලියේදී ශ්‍රී  ලංකාව මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින්විණි. පසුගිය 9 වැනිදා අග්‍රාමාත්‍ය නිල නිවෙස වූ අරලියගහ මන්දිරයෙන් මෙහෙය වූ තිරිසන් ප්‍රචණ්ඩකාරී අමානුෂික ප්‍රහාරයෙන් පසු “ශ්‍රී  ලංකාව” මොන නමකින් හඳුන්වා වි දැයි දන්නේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඇතුළු 9 දෙනකු වෙඩි තබා, පහරදී මරා දැමීමත් රටේ අගමැතිවරයාගේ පෞද්ගලික නිල නිවෙස ඇතුළු මැති ඇමැතිවරුන්ගේ හා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ නිවාස 55ක් ගිනි තබා විනාශ කිරීමත් 250කට අධික පිරිසකට පහර දී තුවාල කර රෝහල්ගත කිරීමත් මේ මහා ඛේදවාචකයේ ප්‍රතිඵලයි. බස් රථ ඇතුළු වාහන 60කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීමද මේ මහා ඛේදවාචකයේ සලකුණයි.

සියවසකින් නොමැකෙන කළු පැල්ලමක්

මේ ජරා සලකුණු තවත් ශත වර්ෂයකටත් නොමැකෙන ලෙස ශ්‍රී  ලංකාවේ සනිටුහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂද, ස්කාගාර හා වයින් ස්ටෝස් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුද, සනත් නිශාන්තද? මේ මහා විනාශයට වගකිව යුත්තේ මහින්ද, ජොන්ස්ටන් ඇතුළු පිරිස බව මහා සංඝරත්නයත්, කාදිනල්තුමාත් මේ රටේ දේශපාලන පක්ෂ නයකයෝත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. සමහරු කීවේ මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.  ඒවා මේ රටේ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

දැන් ගෝල්ෆේස් යන්න වෙලාව හරි

 ගාලුමුව‍ෙදාරට රැස්ව ගෝඨාට හා මහින්දට ගෙදර යන්නැයි හඬ ගා කියමින් ඝෝෂා කළ අවිහිංසාවාදී අරගලකරුවන්ට කළ තිරශ්චීන   ප්‍රහාරය රාජපක්ෂවාදීන් හැර වෙනත් කිසිවකු අනුමත කරන්නේ නැත. පුරා මාසයක් එනම් දින 30ක් අරගලයේ යෙදුණු එම අවිහිංසාවාදී පිරිස කුරා කූඹියකුටවත් හිංසාවක් කළේ නැත. එවැනි පසුබිමක පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ, ඔහුගේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිස පළාත් පාලන ආයතනවල නියෝජිතයන්, මහින්ද රාජපක්ෂගේ අරලියගහ මන්දිරයේ දන්සලට ගෙන්වා ඔහු කළ කතාවෙන් ධුරයෙන් ඉවත් නොවන බවට කළ ඉඟියත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ කතාවෙන් කැඳවා සිටි පිරිස යුද්ධයකට පොලඹවන්නට තරම් බලවත් විය. බීමතින් සිටි පිරිස තවත් සූර් කරමින් එතැන සිටි අයෙක් කීවේ ‘දැන් ගෝල්ෆේස් යන්න වෙලාව හරි කියායි’  ඒ ප්‍රකාශයෙන් කියැවෙන්නේ මේ දුෂ්ට ප්‍රහාරය ඉතා හොඳින් කාලසටහනකට අනුව සංවිධානය කර තිබූ බවයි.

3000ක් කොළඹට ගෙන්වන බව නොදැන සිටි බුද්ධි අංශ

තුන්දහසකට ආසන්න පිරිසක් බස් රථවලින් ගෙන්වන විට ඒ කුමක් සඳහාද යන්න රජයේ ඊනියා බුද්ධි අංශ, ඔත්තු සේවා විසින් කල් තියා දැනගත යුතුව තිබුණේ නැද්ද? මැරවර පිරිස මයිනා ගෝ ගමට ඇතුළුවන විට පොලිසියට ඔවුන් වළක්වන්නට සිතුණේ නැද්ද? ඒ පිරිස අතර පොලු මුගුරු පවා තිබෙනු දකින විට පොලිසිය ඒ කුමක් සඳහා දැයි සිතන්නට මොළේ කළඳක්වත් තිබුණේ නැද්ද? මේ තිරිසන් පහරදීමට පොලිසියේ සහාය තිබුණු බවට ඔප්පු කරන්නට දැඩි කරුණු සොයාගෙන තිබේ. පොලිසියේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රටින් පිටව යෑම අධිකරණය මඟින් තහනම් කර තිබීම පිටුපස ඒ සෙවණැල්ල දුෂ්‍යමාන වන්නේ නැද්ද?

බලයට ගිජු වූ රට බේරාගත් වීරයා

අගමැති තනතුරෙන් ඉවත් වන බවට ජනාධිපතිට ලිපිය යවන්නට ඔන්න මෙන්න කියා තිබියදී මහින්ද රාජපක්ෂ මෙවැනි පහත් වැඩකට උදව් කළේ ඇයිද යන්නත් ප්‍රශ්නයකි. මහින්ද මෙවැනි පහත් වැඩකට මුල් වූයේ බලය අත්හැරීමට තිබෙන ගිජුකම නිසා නොවේද? ඔහු පෙනී සිටියේ ජාතිය බේරාගත් වීරයා ලෙසයි. උතුරේ යුද්ධය අවසන් මොහොතේ එතෙර සිට දිවයිනට පැමිණි මහින්ද ගුවන් යානයෙන් බැස පොළවට දෙතුන්වතාවක් වැඳ පපුවට ගසා ගනිමින් පළමුවරටත්, දෙවැනි වරටත්, තුන්වන වරටත් මේ මගේ මවුබිම යැයි කියමින් පපුවට එදා ගසා ගත් ආකාරය, මේ මහා විනාශය වූ දින ලක්මෑණියන්ට සුළු හෝ දැනීමක් වූයේ නම් ඇගේ කැවුත්ත පැළී යනවාට කිසිදු සැකයක් නැත.

මහින්ද රාජපක්ෂට අනුරාධපුරෙන් හූවක්

අනුරාධපුරය අටමස්ථානය වැඳ පුදා ගන්නට ගිය රාජපක්ෂ උපාසකතුමා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගෙන් ආශීර්වාද ලබාගෙන රුවන්වැලි සෑ රදුන් වැඳපුදා ගන්නට ගිය අවස්ථාවේ යුද්ධය නතර කළ නායකයා යි මහින්දවාදියකු ප්‍රකාශ කරද්දී ඒ අසල සිටි තවත් පිරිසක් විරෝධය පාමින් හූ කීහ.

මිරිසවැටිය වැඳ පුදා ගන්නට ඊතලවැටුණුවැවේ ඤාණරතන සමඟ සිටියදී රැස්ව සිටි පිරිසෙන් අයකු කීවේ ‘අපේ හාමුදුරුවනේ හොරු පන්සල ඇතුළට ගන්න එපා කියායි.’ මිරිසවැටි විහාරය ඇතුළේ සිටි මහින්දට රැස්ව සිටි පිරිස කීවේ ආයේ මෙහෙ එන්න එපා කියායි. පසුව ඔවුන් මහින්දට හූ කියන්න පටන් ගත්තේය.

රට ඉවරයි. ගෝඨාභයයි අප්පච්චියි දැන් බැහැලා යන්න රටත් ඉවරයි. අපිත් ඉවරයි. ජනතාව හාමතේ. තවත් මේ අපරාධ කරන්න එපා. ගෙදර යන්න සුබ මොහොතකින් තීරණයක් ගන්නැයි ඒ පිරිස කෑ ගසන්නට වූහ. තත්ත්වය නරක අතර හැරෙන බවට දැනගත් ආරක්ෂක නිලධාරීන් වහ වහා මහින්ද මෝටර් රථයට නංවා ගෙන යන්නට ගියේය.

ජනාධිපති, අගමැති තනතුරු හෙබවූ මහින්ද මෙසේ ‘හූ’වකට ගොදුරු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. අද ඔහුට නිල නිවෙසේ ඉන්නටවත් බැරිය. තවමත් ආරක්ෂක අංශවල රැකවරණය යටතේ ජනතාවගෙන් ඈත්වී හුදෙකලා ජීවිතයක් ගත කරන්න සිදුව තිබෙන්නේ කළ කරුම පටිසන් දීමක්ද? උරුමය බෙදුවත් කරුමය බෙදන්න බැරි බව දැන්වත් තේරුම් ගත යුතුය.

මහින්ද ඇතුළු 17කට රටින් පිටව යෑමේ තහංචි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න, රේණුක පෙරේරා, මහින්ද කහඳගම, බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනකුට රටින් පිටවීමට තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් පනවා තිබේ.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉල්ලා අස් වන්නැයි බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ සාමකාමී ජන අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව මේ තහනම් නියෝගය නිකුත් කර තිබේ.

බෙනට් රූපසිංහ