අරගලයේ සැබෑ වුවමනාව

0
530

ශ්‍රී  ලංකාව මෑත ඉතිහාසයේ අවිනිශ්චිතම  කාල වකවානුව පසු කරමින් සිටී. මෙයට සමාන තත්ත්වයක් 1917 සෝවියට් විප්ලවය ජයග්‍රහණය කළ වකවානුවේ රුසියාවේ ඈත ගම් ප්‍රදේශවලද තිබිණ. සෝවියට් සභා විසින් රුසියාවේ ප්‍රධාන නගරවල බලය අල්ලා ගෙන සිටියද සැතපුම් දහස් ගණන් අෑත පිටිසර ගම්මානවල ජනයා සාර් රජුගේ අධිරාජ්‍යය පෙරළුණු බවවත් දැන සිටියේ නැත. සාර් පාලනය බිඳ වැටුණු නමුත් නව සමාජවාදී රාජ්‍ය පාලනය ග්‍රාමීය නගර කරා පැමිණියේ ඉතා සෙමෙන් හා ප්‍රමාද වෙමිනි.

එම කාලය තුළ අශ්වාරෝහක සොරුන් කණ්ඩායම් හදිසියේ කඩාවැදී එම නගරවල පාලනය අල්ලා ගත්හ. අද එක කණ්ඩායමක් නගරයේ බලය අල්ලා ගනු ලබන අතර පසුදින වෙනත් කණ්ඩායමක් නගරයේ බලය පැහැර ගත්හ. නගර වැසියන් සෑම උදෑසනකම දොර කවුළු හැර බලන්නේ අද නගරය පාලනය කරන්නේ කවර සොරු කණ්ඩායමද කියාය. මේ දිනවල ලංකාවේ තත්ත්වයට ඊට දෙවැනි නැත. ඊයේ අගමැති මහින්දය. අද අගමැති රනිල්ය. මේ බල පෙරළි මාලිගා ඇතුළේ සිදුවන කුමන්ත්‍රණ මිස ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.

“ජනපති – අගමැති ගෝ හෝම් කිව්වාට එහෙමත් තනතුරු දමා යයිද. උද්ඝෝෂණය කරන මෝඩයන් රටේ ව්‍යවස්ථාව ගැන දන්නේ මොනවාද” යනුවෙන් පණ්ඩිතකම් දෙඩූ න්‍යායාචාර්යවරු දැන් කොහේදැයි අපි නොදනිමු. අගමැති පැදුරටත් නොකියා පලා ගියේය. මේ වනවිට ඔහු  නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලේ නාවික  හමුදා කඳවුරේ සැඟවී සිටී.

රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි දිවුරුම් දෙන අවස්ථාව දක්වාම අගමැති තනතුර සඳහා විවිධ පුද්ගලයන්ගේ නම් ප්‍රකාශයට පත්විය. උදේ වරුවේ රනිල් අගමැති බව කියන අතර හවස් වරුවේ සජිත් අගමැති බව කියයි.

“ලංකාවෙ රජකම, මට දෙන්න හදනවා මම එපා කියනවා. මගේ ඇඟේ ගහනවා” යනුවෙන් අප කුඩා අවධියේ බයිලාවක්  තිබිණි. මේ පැමිණ තිබෙන්නේ හරියටම එය ගයන්නට සුදුසු කාලයයි. දේශපාලන සිදුවීම් එකම පැය 24 තුළ පැයෙන් පැය වෙනස් වේ. රනිල් වික්‍රමසිංහ අගමැති වන බවට අනාවැකි හෝ පුරෝකථන සපයන්නට කිසිවකු සමත් නොවීය.

ගෙවුණු සතිය පුරාවටම පුරවැසියන් දුටුවේ නැන්දම්මලා, ආච්චි අම්මලා එකට වාඩිවී නරඹන රන් දෙපැයේ ටෙලි නාට්‍යවලට වඩා වැඩි දෙයක් නොවේ. මේ දිනවල ලංකාවේ රඟ දක්වන්නේ දේශපාලන බලාධිකාරියට එරෙහිව ඉස්මතු වෙන ජන අරගලය මැඬපැවැත්වීම සඳහා රජ තුන් කට්ටුව එකතු වී සකස් කළ ඩ්‍රාමා පිටපතකි. 

පොහොට්ටුවේ ප්‍රාදේශීය මැර හමුදා අරලියගහ මැඳුරට කැඳවීම, අගමැති මහින්ද කතාවක් පවත්වා ඔවුන්ගේ මොරාල් ඉහළ දැමීම, හදිසි නීතිය බලාත්මක කිරීම, පොලිසිය කිසිවක් නොකරන බව සහතික කිරීම, ගෝඨා ගෝ ගමට පහරදීම  සහ අනතුරුව සභා තොමෝ සතුටින් ගම්බිම් කරා විසිර යෑම. උණුසුම පහව යනතුරු දින කිහිපයක් නිහඬව බලා සිටීම. ඉනික්බිතිව පරණ පුරුදු දූෂිත පාලනය නිරුපද්‍රිතව ගෙනයෑම, එම ඩ්‍රාමා පිටපතට අයත් විය.

සැලසුම් කළ පරිදි ඒ කිසිවක් සිදු නොවීය. අරගලකරුවන් වෙනුවෙන් මුළු රටක්ම ආදරයෙන් බැඳී සිටි බව පොහොට්ටුවේ නායකයෝ දැන සිටියේ නැත. ඔවුන්ගේ ගණනය කිරීම් මුළුමනින්ම වැරැදි විය. අරගලය පොඩිපට්ටම් කළ මැරයන් ඔවුන් පැමිණි බස් රථවලම “සිරිපාදේ සමනල කන්ද පෙනේ…” ආදී ගී ගයමින් ආපසු ගම් කරා යනු ඇතැයි සිතුවද එය එසේ වූයේ නැත. ඇතැමුන්ට මල අපද්‍රව්‍ය පිරි බේරේ වැවේ, “බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ සු‍ෙදා්….” ගීතය ගයන්නට සිදුවිය.

ජනතාව ඔවුන්ට මේ තරම් ආදරය කළ බව ගෝඨා ගෝ ගමේ තරුණ තරුණියන් පවා දැන සිටියේ ද නැත.

පොහොට්ටු පක්ෂයේ බොහෝ දේශපාලනඥයන්ගේ ගේ‍ෙදාර භෞතික සම්පත් විනාශයට පත්විය. මේ විනාශය සිදුවූයේ ඔවුන් පවසන අන්දමට ප්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී නොවේ.

යූඇන්පිය බලයේ සිටියා නම් ප්‍රතිගාමීන් අපේ ගේ‍ෙදාර ගිනිබත් කළා යැයි කෑමොර දෙන්නට ඉඩ තිබිණි. නමුත් ගෙවල් ගිනි ගන්නා විට බලයේ සිටියේ ජේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා ඒකාධිපතිත්වයට සමීප බලතල සහිත ඔවුන්ගේම ජනාධිපතිවරයෙකි. එබැවින් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට දැන් සිදුව තිබෙන්නේ තමන්ම තමන්ගේ පස්සා පැත්තට තළා ගැනීමටය.

ශ්‍රී ලංකාවේ ජනතාව හැමදාමත් ඉල්ලා සිටියේ ගැලවුම්කාර ආණ්ඩුවකි. ගැලවුම්කාරයා දියසේන හෝ වෙනත් ඕනෑම නාමයකින් හඳුන්වන්නට ඔවුන් පසුබට නොවීය. විධායක බලතල සහිත ජනාධිපතිවරයා  ගැලවුම්කාරයා වූ අතර ගැලවුම්කාරයන් ගණනාවක පිහිටෙන් රට නන්නත්තාර වී ගියේය.

 ගාලුමුව‍ෙදාර තරුණයන් ඉල්ලා සිටියේ ගැලවුම්කාරයා මත පදනම් නොවී ජනතා අපේක්ෂාවන් දිනාගත හැකි පරිදි ආයතන සවිබල ගැන්විය යුතු බවය. තරුණ ප්‍රජාව පවසන දෙය ඔවුන්ගේම වචනවලින් සඳහන් කරතොත් ඔවුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් චේන්ජ් එකකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කතාවලින් පැහැදිලි වන්නේ ඔහු කිසිසේත්ම ක්‍රමය වෙනස් කිරීමට සූදානම් නැති බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු ඉහළට නැඟී විධායක ජනාධිපති ක්‍රමය නමැති ඉණිමග පෙරළා දමන්නට කිසිසේත්ම කැමැති නොවනු ඇත. වෙනසක් ඉල්ලා සිටින තරුණ ප්‍රජාවට සිදු වන්නේ ඔහු ඉණිමග මත සිටියදීම එය පෙරළා දැමීමටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කැට තියා ප්‍රකාශ කරන කිසිවකු එය අහෝසි නොකරන බවට රටේ ජනතාවට ඕනෑ තරම් උදාහරණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සති අන්තයේ කරන ලද ප්‍රකාශයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව නැවතත් අදහස් පළ කර තිබේ. ඔහු ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කරන බවය. මේ කතාව මෙරට පුරවැසියෝ වාර ගණනාවක් අසා තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමේ අභිප්‍රායක් ජනාධිපතිවරයාගේ තුන් හිතකවත් නැති බව එහි යටිපෙළ අරුතයි.

පොදුජන පෙරමුණු ආණ්ඩුවට අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් ගත වී තිබේ. ගිය සිකුරාදා පත් කරනු ලැබුවේ පොහොට්ටු ආණ්ඩුවේ තුන්වැනි කැබිනට්ටුවය. රනිල් වික්‍රමසිංහ ඉන්ද්‍රජාලික යෂ්ටිය අතට ගෙන විස¾දුම් මවනු ඇතැයි අබල දුබල බංකොලොත් ආණ්ඩුව බලා සිටී. මෙවර ගැලවුම්කාරයා වී තිබෙන්නේ ගෝඨාභය නොව රනිල්ය.

රනිල් වික්‍රමසිංහ තනි අලියා මෙන් පාර්ලිමේන්තුවට ආවේ උසුළු විසුළු මැදය. සජිත්ගේ පිලේ 55ක් සිටියදී රනිල් ඔවුන්ගේ කෝචොක්වලට නිරන්තරයෙන් මුහුණ දෙමින් හීන් සීරුවේ ගමනක් ගියේය. ගමන තුළ පොහොට්ටු ආණ්ඩුවේ අග්‍රගණ්‍ය උපදේශකයා බවට රනිල් පත්වෙමින් සිටින බව සෙස්සන්ට වැටහුණේ නැත. රනිල් බැලූබැල්මට තනි අලියා වුවත් ඔහු සිටියේ තනියම නොවේ. මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් සිටියේ රනිල් සමඟ එක පොකුරේය. මහින්ද අගමැති තනතුර අත්හරින විට ඔහුට තිබුණු එකම බලාපොරොත්තුව රනිල්ය. මහින්ද රාජපක්ෂට ගෝඨාභයට වඩා රනිල් විශ්වාසය. රාජපක්ෂලා ඉහළට ඇදගත් හුස්ම පහළට දැම්මෙ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දුන් පසුය. දැන් ඉතින් තවදුරටත් හැංගෙන්නට වුවමනා නැත. අනුර දිසානායකලා එළියට දැමූ ෆයිල් ගැන බය වෙන්නට වුවමනාවක් නැත. නාමල්ලාට, යෝෂිතලාට ඇඹරෙන්නට අවශ්‍ය නැත. ඔවුන්ගේ ආරක්ෂාවට බාප්පාට වඩා රනිල්  අංකල් ෂුවර්ය.

රනිල් ගැසුවේ කම් ඕ ගෝ චිකාගෝ ගේමකි.

“55ක් තිබිලත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වුණා නම් මට කරන්න දෙයක් නැතැයි” කියා රනිල් වාළුකාරාමයේදී මහ හඩින් සිනාසුණේය. ඔහු නොකියා කිව්වේ සජිත් ආසයි බයයි නිසා පොට වරද්දා ගත් බවය. ලංකාව ගිලෙමින් තිබෙන ආර්ථික අර්බුදයට කර ගසන්නට සජිත්ට වැඩපිළිවෙළක් තිබුණේ නැත. සජිත් ගෝ ගමක් බිහිවෙනවා දකින්නට තමා කැමැති නැතැයි ඔහු කෙළින්ම කීවේය.

රනිල් ගෝ ගමක් හැදෙනවා යැයි මාධ්‍ය පැවැසූ විට රනිල් කීවේ “මට ගෝ හෝම් කියන්නට එපා මම ඉන්නේ ගෙදරම තමා” කියාය. ගෝඨාගෝගම දිගටම ආරක්ෂා කරනවා.  පොලිසිය ගෝඨා ගෝ ගමට ගහන්නේ නැති බව රනිල් ගංගාරාම පන්සලේදී කීවේය. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැමීම කෙසේ වෙතත් නැටුම කෙළවර වන විට ජනාධිපති පුටුවේ රනිල් ඉන්නට ඉඩ තිබේ. මේ සියලු මාලිගා කුමන්ත්‍රණ සුනුවිසුනු කළ හැක්කේ තරුණ අරගලකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ජවය හා ශක්තියෙන් පමණය.

ඔවුහු දැනටමත් රටට බොහෝ ජයග්‍රහණ අත්කර දී තිබේ. ඊනියා ගැලවුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට සිස්ටම් එක හා  ක්‍රමය කෙරෙහි විශ්වාසය තබන ශ්‍රී ලංකාවක් බිහි කිරීමෙන් මෙපිට යුක්තිසහගත ජන අරගලය අවසන් විය යුතු නැත.

උදේනි සමන් කුමාර