ඩොලරයේ විකුණුම් මිලෙහි විශේෂ වෙනසක්

0
1200

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල පහත බැස තිබේ.

මෙරට වාණිජ බැංකු කිහිපයක් ම අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 365ක් ලෙස සටහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සඳහන් කර ඇත්තේ, රු. 377.49ක් ලෙස ය.

ඊයේ (මැයි 12) දින එම මිල පැවතියේ රු. 385ක් ලෙස ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඊයේ (මැයි 12) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබී ය.

අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෙන් සියලු ප්‍රශ්න විසඳන බව ය.

රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහමිය සඳහන් කර තිබුණේ, ඔහු සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

එම කාර්යාලය සඳහන් කර තිබුණේ, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ය.