රනිල්ට සහය දීම ගැන සජබ ගත් තීරණය (VIDEO)

0
732

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අමාත්‍ය ධූර භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කරන ලෙස ඉල්ලීම කළේ, හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන පිරිස බව ද ඔහු එහිදී පැවසීය.

“එහෙනම් අද රනිල් මහත්තයා අගමැති වෙලා ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි, එතුමා අගමැති වෙලා ඉන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න.”

මහ ලේකම්වරයා සඳහන් කළේ, විශ්වාසභංගයට සහය පළ කිරීමට ආණ්ඩුව තුළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සිටින බව සමගි ජන බලවේගයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බව ය.

“එහෙනම් බහුතරය ඉන්නේ මෙතන. ඒ එක කණ්ඩායමක්වත් තව ම කියලා නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙනවා කියලා.”

මේ අතර, එම මාධ්‍ය හමුවට සහභාගි වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බහුතර බලය සකස් කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට ද ආරාධනා කළ බව ය.

“එයා මට ත් කතා කරලා තියෙනවා 113 හදන්න. මම ඇහුවා ඔයාට 113 තියෙනවා ද? තියෙනවා කිව්වා. ඉතින් එහෙනම් මට මොකෝ කියන්නේ? 114ක් ඕනේ නැහැනේ.

ඇමතිවරුන්ගේ වරප්‍රසාද නැති මජන රජයක් පිහිටුවන්න තමයි අපි කල්පනා කළේ. ඒ ස්වර්ණමය අවස්ථාව තමයි රනිල් වික්‍රමසිංහ කාබාසිනියා කළේ.”