අගමැති රනිල්ට රට ගොඩගන්න උදව් කරන්න විදෙස් තානාපතිවරු පෙළ ගැසෙති

0
548

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (මැයි 13) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ජපාන තනාපති මිසුකෝෂි හිඩෙයාකි, අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි ජේ. චං සහ චීන තනාපති යී සින්ලියාන්ග් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවලදී ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දීමට මහ කොමසාරිස්වරයා පොරොන්දු වුණු බව ය.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ජපාන තනාපතිනිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ ප්‍රතිඥා දෙනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා හෙට (මැයි 14) පිටත් වන බව ද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාර කිරීම සඳහා වෙනත් විදේශීය රටවල්වල සහය ලබා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරුන් දෙදෙනා ම එහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

එම කාර්යාලය සඳහන් කළේ, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජනපද තානාපතිනිය සමග සාකච්ඡා කළ බව ය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

චීන තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට තම රටේ කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර සමාලෝචනය කිරීමට ද ප්‍රතිඥා දී ඇත.

නැවත එක්සත් රාජධානියට පිටත්ව යාමට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනය සංවාදයක නිරත වී ඇති අතර ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නියමිත බව එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර, හිටපු අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු බලශක්ති අමාත්‍යංශයේ සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයා වෙන ම හදිසි රැස්වීමක් පවත්වා ඇත.

ඒ අනුව, රට තුළ පවතින බලශක්ති අර්බුදය සහ මහජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.