ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අනිද්දා

0
619

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්ව සිටින සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අනිද්දා (මැයි 15) චිතගොන්හිදී පැවැත්වීමට නියමිත ය.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව පැවැත්වෙන මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත්තේ මෙම තරග දෙක ම ජයගතහොත් ලෝක ශූරතා ටෙස්ට් තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ සිවුවන ස්ථානයේ පසුවන පකිස්තානය (ජයග්‍රහණ ප්‍රතිශතය 52.38%) හා තෙවන ස්ථානයේ පසුවන ඉන්දියාව (ජයග්‍රහණ ප්‍රතිශතය 58.33%) අභිභවා යෑමටද ශ්‍රී ලංකාවට අවකාශය ලැබෙන බැවිනි.

කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ තරග 4කට සහභාගි වී තරග දෙකක් ජයගෙන දෙකක් පරාජය වී ලකුණු 24ක් (ජයග්‍රහණ ප්‍රතිශතය 50%) ලබා ශ්‍රී ලංකා පිල පස්වන තැන සිටින නමුත් තරග 6කට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග 5ක් පරාජය වී ලකුණු 12 (ජයග්‍රහණ ප්‍රතිශතය 16.66%) ලබා සිටින බංග්ලාදේශය මෙම සටහනේ 8 වන තැනට පත්ව සිටී. එහෙත් යම් හෙයකින් ඔවුන් මෙම තරගාවලිය 2-0ක් ලෙස ජයගතහොත් පියවර දෙකක් ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකියාව පවතින හෙයින් තරගාවලිය ජයගැනීමට ඔවුන් ද උපරිම උත්සාහයක් ගන්නවාට සැක නැත.

15 වන දා ආරම්භවන තරගයේ චිතගොන් තණ තීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලෙස ඉතිහාසය සාක්‍ෂි දරා ඇති හෙයින් මෙම තරගය පිතිකරුවන්ගේ ග්‍රහණයට නතුවීම වැළැක්විය නොහැක. එයට හොඳ ම උදහරණයක් මෙම පිටියේදී කණඩායමක් ලබා ඇති ඉහළ ම ඉනිමේ (කඩුලු 9කට ලකුණු 713) අයිතිය ශ්‍රී ලංකාව සතුව පැවතීම කැපී පෙනේ.

මේ අතර, 2017 වසරේදී පැවති තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා සංචාරය 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශයට හැකි වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ටෙස්ට් තරගාවලියක් සම කරගනු ලැබුවේ එම වසරේදී වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය 15 වන දා ත්, දෙවන හා අවසන් තරගය 23 වන දා ත් පැවැත්වීමට නියමිත ය.

තරග වදිනු ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කණ්ඩායම:

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම