Don’t go home නන්දලාල්

Date:

‘ගෝඨා ගෝ හෝම්’ ප්‍රමුඛ ජන අරගලයෙන්  මතුවුණු ප්‍රධාන සටන් පාඨවලින් එකක් ජයග්‍රහණය කොට තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ තනතුර අතහැර දමා පලා ගියේය. අරගලකරුවන් ඉල්ලා සිටියාට ඔහු තවමත් මැදමුලන ගෙදර ගිහින් නැත. ගෙදර යන්න පුළුවන් වාතාවරණයක්ද නැත. ගෙදර යායුතු අය තවත් බොහෝ දෙනෙකි. රාජ්‍ය පාලනය ඉදිරි සති දෙක තුළ ස්ථාවර නොවුණොත් තනතුර හැරදා යනවා කියා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද කියා තිබේ.

මහ බැංකුවේ අධිපතිකම භාරගන්නට නන්දලාල් ආවේ දුරු රටක සිටය. ඔහු ආවේ නැත. ආරාධනා කර මෙරටට ගෙන්නා ගත්තේය. කඩා වැටෙන ආර්ථිකය ඔසොවා තබන්නට ඔහු පිය මනිමින් සිටියේය. නන්දලාල් උඩුගම්බලා පිහිනන්නට සැරසුණේය. ගිනිකන්ද පුපුරා ගියේ ඒ අතරය. නිරායුධ අරගලයට අමානුෂිකව කළ පහරදීම බහුජන අප්‍රසාදයට තුඩුදුන් සිදුවීමකි. සිද්ධිය හෙළා දකිමින් කතා කළ නන්දලාල්  ප්‍රචණ්ඩත්වය පවතින රටක ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට හෝ අර්බුදයෙන් ගොඩ එන්නට හැකියාවක් නැති බව පැහැදිලි කළේය.

අප රටේ රාජාණ්ඩු පැවැති වකවානුවල මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන යුගවල රටේ දේශපාලන ස්ථාවරත්වය බිඳවැටුණු හැම මොහොතකම ආර්ථිකයද බිඳවැටුණු බව රහසක් නොවේ. මෑත ඉතිහාසයේ 1971 තරුණ අරගලය, 1983 කළු ජූලිය, 1988 -89 තුළ භීෂණ සංස්කෘතිය රටේ ආර්ථිකය කඩා බිඳ දැමූ අවස්ථා විය. දශක තුනක් තරම් වූ දීර්ඝ කාල පරිච්ඡේදයක් මේ රටේ පැවැති වාර්ගික අරගලයද මෙරට ආර්ථිකයට එල්ල කළේ බරපතළ තර්ජනයකි. එහෙත් වර්තමානයේ ඒ කිසිදු කාලවකවානුවක නොතිබූ ආකාරයේ පීඩනයක් අත්විඳින්නට මෙරට ජනතාවට සිදුවී තිබේ. ජන අරගලයද එකී පීඩනයේම ප්‍රකාශනයක් මිසක ‘කැරැල්ලක්’ නොවේ.

අර්බුදය තවදුරටත් සංකීර්ණ වී විසඳුම් නැති තැනට පත්වන්නට පෙරාතුව දේශපාලන නායකයන් වහා යුහුසුළු විය යුතු මොහොතයි මේ. මේ මොහොත මඟහැරුණොත් මේ රට කෙබඳු තත්ත්වයකට පත්වේ දැයි අනුමාන කිරීමද අපහසුය.

නන්දලාල් මේ අනතුරු අඟවන්නේ දැනටමත් අත්දකිමින් සිටින අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවටය. එසේ නම් මේ ගැටලු වහා විසඳීම සඳහා කළ යුත්තේ කුමක්ද? මුලින්ම කළ යුතු වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමය.

2021 වර්ෂය සඳහා වූ ශ්‍රී  ලංකා මහ බැංකු වාර්තාවද පසුගිය මාර්තු 28දා නිකුත් කොට තිබේ. එහි සඳහන් පරිදි රටේ දේශපාලන හා සමාජ අස්ථාවරභාවය වහාම දුරු කරලීම සඳහා තව තවත් බල බලා සිටියොත් අභියෝග ජයගැනීම අතිශය දුෂ්කර වනු ඇත. මහ බැංකු අධිපති නන්දලාල් කියන්නේ පවත්නා දේශපාලන අර්බුදය විසඳාලීම ප්‍රමාද වුවහොත් ආර්ථික පීඩනය දරාගත නොහැකි ජනතාව පාරට බැස ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත විය හැකි බවය. පෙරේදා නන්දලාල් කියූ දේ දැනටමත් සිදුවෙමින් පවතී. නීතියෙන් හෝ ගිනි අවියෙන් මේ තත්ත්වය පාලනය කිරීම දුෂ්කර වන මොහොතක්ද එළැඹීමට ඉඩ තිබේ.

නන්දලාල් විශේෂඥයෙකි. පළපුරුදු නිලධාරියෙකි. රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සම්බන්ධ වූ යම් වගකීමක් ඔහුට පැවැරෙයි. එහෙත් සියල්ල ඔහුට කළ නොහැකිය. මහ බැංකුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සැලසුම් කරයි. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළු මුදල් අමාත්‍යාංශය ආර්ථිකය හා සම්බන්ධ භෞතික ප්‍රතිපත්ති නියෝජනය කරයි. මේ ද්විමාර්ග සන්ධානයෙන් රටේ මූල්‍ය  ස්ථාවරභාවය ඇති කරගත හැකිය. දේශපාලනික අවුල් වියවුල් වහා විස¼දාගත යුතුව ඇත්තේ මේ සඳහාය.

ජනාධිපති පැවැසුවේ වැඩේ වැරදුණු බවය. එහෙත් පාලකයන් අතින් වැඩ වරදින්නට ඉඩ තැබිය යුතු නැත. නිදහසින් පසු වසර හැත්තෑ හතරක් පුරාම අප වරද්දාගත් තැන් බොහෝය. ඒ වැරදි දැන්වත් නිවැරදි විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන විස්සක්ම ගෙනාවේ ඒ වැඩෙත් වරද්දාගෙන තිබෙන නිසාය.

මහ බැංකු අධිපති නන්දලාල්ට රට අගාධයෙන් ගොඩගන්නට සැබෑ වුවමනාවක් ඇති බව පෙනෙයි. එහෙත් ඔහුගෙන් නිසිලෙස වැඩ ගන්නට අලුත්  අගමැති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව සමත් විය යුතුමය.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ඕස්ට්‍රේලියාව තරගයේ පාලනය අතට ගනියි

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර පිටියේ...

ශ්‍රී ලංකාව මුදාගැනීමට IMF කොළ එළියක් දැල්වුවහොත් තවත් බොහෝ රටවල් ඒ වෙනුවෙන් උපකාර කරාවි

ශ්‍රී  ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මුදාගැනීම සඳහා...

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියෝ සුංගාවිල බීට්ටු කාර්යාලය සුද්ද කරති

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ...

ධර්මරාජ මැණියන් සදාකල් දිනේවා !

දිගු කලක් විදේශ ආධිපත්‍යයට ලක්වුණු බෞද්ධ අධ්‍යාපනය, පිරිහෙමින් පැවැති...