රනිල්ට සහය දෙනවා ද? නැද්ද? ස්වාධීන වූ පක්ෂ 10 ගත් තීරණය මෙන්න (VIDEO)

0
481

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා යහපත් තීරණ සඳහා සහයෝගය ලබා දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (මැයි 13) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, ඔවුන් පාර්ලිමේන්තුව තුළ තවදුරට ත් ස්වාධීනව සිටින බව ත් රටට හානි වන තීරණ සඳහා සිය සහය ලබා නොදෙන බව ත් ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් රටේ පවතින තත්ත්වය ස්ථාවර කළ හැකි යි යන “මෝඩ විශ්වාසය” තමන්ට නොමැති බව ද ඔහු පැවසීය.

“මොක ද අද මේ තියෙන අර්බුදයේ එක්තරා වගඋත්තරකරුවෙක්. එතුමාගේ අවුරුදු 4 පාලන කාලයේ තමයි ඩොලර් බිලියන 12කට වඩා ණය ගත්තේ. මුදල් වෙළෙඳපොළෙන්. වැඩි පොළියට. රවි කරුණානායක මුදල් ඇමති වෙලාවේ තමයි විදේශ විනිමය පනත liberalize කළේ. ඩොලර් හොයන අයට ඕනේ විධියට. ඒවා ප්‍රධාන හේතු අද මුහුණ දෙන තත්ත්වයට. ඉතින් මේකේ වගඋත්තරකාර පාර්ශවයක් අගමැති පුටුවේ තියාගත්ත පමණින් මේ තියෙන තත්ත්වය පාලනය නතු කරගන්න පුළුවන් වෙයි කියන මෝඩ අනුවණ විශ්වාසය අපිට නැහැ.

හැබැයි එහෙමයි කියලා ඒ පිහිටුවා ගනු ලබන අනුවන පාලනය කඩාකප්පල් කරන්න හෝ ඒ පාලන තන්ත්‍රය හොඳ දෙයක් කරනවා නම් ඒකට සහයෝගය නොදී ඉන්න හෝ එහෙම නැත්නම් පටු දේශපාලන කණ්නාඩියෙන් බලලා වෛරී දේශපාලනයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 10 එකමුතුවට අයත් මන්ත්‍රීවරු අපි සියලු දෙනා ම ස්වාධීන කණ්ඩයමක් ලෙස විරුද්ධ පක්ෂයේ ඉඳිමින් ආණ්ඩුවේ යහපත් පියවර එනවා නම් ඒවාට සහයෝගය දෙනවා. හැබැයි මේ රටට හානි කරනවා නම් අපි ඒකට ඉඩ තින්නේ නැහැ.

අපිට බයක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ මේ සුක්කානම අරගෙන ලෑස්ති වෙන්නේ බැසිල් රාජපක්ෂට ගහන්න බැරි වෙච්ච මැච් එක ගහන්න ද කියලා. මගේ අදහස නම් බැසිල් රාජපක්ෂ කියන්නේ, සාටකය දාන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ.”

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වුණේ, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව මතුවූ මහජන ත්‍රස්තවාදය හේතුවෙන් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ ලබා දීමේ අරමුණකින් නොවන බව ය.

“එතුමා බොහෝ කාටූන් ශිල්පීන් කියන විධියට සාටකයෙන් ටයි පටිය හදාගෙන අද අගමැති ධූරයේ වාඩි වෙලා තියෙනවා.”

ඔහු අවධාරණය කළේ, රට වැටී සිටින වළෙන් ගොඩ ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන තාක් ආණ්ඩුව අස්ථාවර නොකරන තත්වයකට කටයුතු කරන්න සිය පක්ෂවලට හැකියාව පවතින බව ය.

“රනිල් කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ”
“රනිල් වික්‍රමසිංහ සාටකයෙන් ටයි පටිය හදාගෙන අගමැති ධූරයේ වාඩි වෙලා තියෙන්නේ…”