මුණුබුරෙකු නොදුන් නිසා තම එක ම පුතුට එරෙහිව මව-පියා නඩු පවරති

0
1652

විවාහ වී වසර 6ක් ගත වී ඇත ත් මුණුබුරෙකු ලබා නොදීම සම්බන්ධයෙන් සිය එක ම පුතුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව නඩු පැවරීමට ඉන්දියානු මවක සහ පියෙකු කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය පුතු ඇතිදැඩි කිරීමට, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු කිරීමට සහ උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් ගැනීම සඳහා මුදල් වැය කළ බවට උතුරු ඉන්දියාවේ උත්තර්ඛන්ද් ප්‍රාන්තයේ පදිංචි අදාළ මව (57) සහ පියා (61) චෝදනා කර ඇති බව ය.

ඒ හේතුවෙන්, ඔවුන් ඉල්ලා සිටින්නේ වසරක් ඇතුළත මුණුබුරෙකු හෝ මිණිබිරියක ලබා නොදෙන්නේ නම් අමෙරිකානු ඩොලර් 650,000 කට ආසන්න වන්දි මුදලක් ලබා දෙන ලෙස ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එම තරුණ අඹුසැමි යුවළ අදහස් දක්වා නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම තරුණයාගේ පියා සඳහන් කර ඇත්තේ, තම පුතා වෙනුවෙන් ඔහුගේ සියලු ඉතුරුම් වියදම් කළ බව ත් අමෙරිකානු ඩොලර් 65,000ක වියදමින් ගුවන් නියමු පුහුණුව සඳහා 2006 වසරේදී ඔහු එක්සත් ජනපදයට යවා ඇති බවත් ය.

ඔහු 2007 වසරේදී නැවත ඉන්දියාවට ගොස් ඇති අතර ඔහුගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ පවුලේ අයට වසර දෙකකට වැඩි කාලයක් ඔහුට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට සිදු වී තිබේ.

අනතුරව එම තරුණ පුතුට ගුවන් නියමු රැකියාවක් ලැබී ඇති අතර 2016 වසරේදී ඔහු අමෙරිකානු ඩොලර් 80,000ක මුදලක් වැය කරමින් විවාහ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

“මගේ පුතා විවාහ වී වසර හයක් ගත වී ඇතත් ඔවුන් තවමත් දරුවෙක් ගැන හිතලා නැහැ. අඩු ම තරමින් අපට කාලය ගත කිරීමට මුණුබුරෙක් ඉන්නවා නම්, අපගේ වේදනාව දරා ගන්න පුළුවන්,” යනුවෙන් එම තරුණයාගේ පියා ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හරිද්වාර්හි අධිකරණයක ගොනු කර ඇති මෙම යුවළගේ පෙත්සම මැයි 17 වන දින විභාග කෙරෙනු ඇති බව ය.