ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරය පිළිබඳව ඔස්ට්‍රේලියානු බලධාරීන් දෙගිඩියාවෙන්

0
195

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සම්බන්ධයෙන් නැවත විමර්ශනය කිරීමක් සිදු කරන ලෙස එරට රජයේ බලධාරීන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පවත්නා ආර්ථික අර්බුදයත්, එයට සමගාමීව පවතින නොසන්සුන්කාරී වාතාවරණයත් හේතුවෙන් එරට සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස එරට විදෙස් සබඳතා දෙපාර්තමේන්තුව මගින් සිදු කර ඇති ඉල්ලීමට අනුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට ද මේ බව දැනුම් දීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත්, මෙයට පෙර ඔස්ට්‍රේලියානු පිලේ පාකිස්තාන තරග සංචාරයට පෙර එරට විදෙස් සම්බන්ධතා දෙපාර්තමේන්තුව මගින් පාකිස්තාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරමින් අදාළ තරගාවලිය සම්බන්ධයෙන් මෙවැනි ම අනතුරු හැඟවීමක් නිකුත් කර තිබූ බව ද සඳහන් ය.

මෙම සතියේ මුල් දින කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ තමන් ශ්‍රී ලංකාවේ වාතාවරණය සම්බන්ධයෙන් ඉතාමත් විමසිල්ලෙන් පසුවන බව ත්, නිරන්තරයෙන් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් තම විදෙස් සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දක්වා තිබූ එරට ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයා මෙසේ ද පවසා තිබිණි.

“ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වයත්, එහි සිදුවන වෙනස්වීම් සම්බන්ධවත් අපි දැඩි අවධානයකින් පසුවෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් අපි විදෙස් සම්බන්ධතා දෙපාර්තමේන්තුව සමගින් නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කිරීමට ත් ඊට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ත් නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන් ම සෑම දිනක ම ඇතිවන නව තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිත ක්‍රීඩකයන් සහ පුහුණු­ කාර්යමණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමටත් අපි කටයුතු කරනවා. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට තවත් සති 3ක පමණ කාලයක් ඇති නිසා මේ අවස්ථාවේදී තරගාවලියේ තරග කාලසටහන හෝ සැලසුම් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇති නොවන බව අප විශ්වාස කරනවා.”

මේ අතර, ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් යුතුව පසුවන බව ත් එළැඹෙන ජූනි මාසයේදී ක්‍රියාත්මක වීමට නියමිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කර ඇති අයුරින් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසයක් තමන්ට ඇති බව ත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගිය 9 වන දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල ආරක්ෂක ප්‍රධානී ස්ටුවර්ට් බේලි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය එදින වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කිරීමට තම ආයතනය ඉදිරියේදී කටයුතු කරන බව ය.

කෙසේ වෙතත්, 2016 වසරින් පසුව ක්‍රියාත්මක වන මෙම ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජූනි මස 7 වන දා ආරම්භ වීමට නියමිතව ඇත.

එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරග 3ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය.

එයට සමගාමීව ඔස්ට්‍රේලියානු ‘A’ කණ්ඩායම ද එම දිනවලදී ම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.