දුම්රිය ධාවනය සාමාන්‍ය අතට

0
78

දුම්රිය ධාවනය අද (13දා) සාමාන්‍ය පරිදි සිදුවන නමුත් ගමන්වාර කිහිපයක්…

අවලංගු වන බවත් දුම්රිය මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න ‘මව්බිම’ට පැවැසීය.

කාර්යාල දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනය කරන බවත් දුර ගමන් සේවා කිහිපයක් පමණක් අවලංගු වන බවත් හෙතෙම කියා සිටියේය.

දුම්රිය කාර්ය මණ්ඩලය පැමිණීම ප්‍රමාද වීම් හේතුවෙන් උදෑසන දුම්රිය කිහිපයක් අවලංගු වීම හෝ ප්‍රමාද වීමට හැකි බවද ඔහු කියා සිටියේය.

මේ අතර කන්කසන්තුරේ සිට කොළඹ බලා අද (13දා) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකම එහි කාර්ය මණ්ඩලය නොමැති වීම නිසා ධාවනය කළ නොහැකි වූ බව වාර්තාවේ.

පෙරවරු 5.30ට කොළඹ බලා ධාවනය වන අංක 4018 දරන දැයට කිරුළ දුම්රියද 4078 දරන යාල්දේවී දුම්රියද මේ අනුව අද ධාවනය නොවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

ඉකුත් සඳුදා රාත්‍රි ඇඳිරි නීතිය පැනවීමත් දුම්රිය වර්ජනයක් ආරම්භ වීමත් හේතුවෙන් පසුවදා ධාවනය වීමට නියමිතව තිබූ එම දුම්රියන් දෙකෙහි කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තුවේ වාහනයක් කන්කසන්තුරේ දුම්රිය පොළට ගෙන්වාගෙන අනුරාධපුරට හා කොළඹට පැමිණ ඇතැයිද ඒ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් වර්ජනය අවසන් වීමත් සිදු වුවද ඔවුන්ට යළි කන්කසන්තුරේ වෙත පැමිණිය නොහැකි වීම හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී ඇතැයිද දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

එම දුම්රිය දෙක බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් යාපනය හා අනුරාධපුර දුම්රිය ස්ථානවලට පැමිණි බවත් එම ප්‍රවේශපත්‍රවල ගාස්තු ආපසු ගෙවීමට සිදුවූ අතර මගීන් බලවත් සේ අපහසුතාවට පත්වූ බවද හෙතෙම කියා සිටියේය.

විනීතා එම්. ගමගේ