දඹුල්ලේ එළවළු එසැණින් පිටපළාත්වලට විකුණයි

0
70

දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය ඊයේ (12දා) අලුයම විවෘත කිරීමත් සමඟ ලැබී තිබුණු සීමිත එළවළු තොග දුර පළාත්වල වෙළෙඳුන් පැමිණ මිලදී ගෙන පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් තිබූ එම සීමිත එළවළු සඳහා අධික ඉල්ලුමක් සහ අධික මිලක් ලැබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පැවැසූහ.

වට්ටක්කා, කැරට්, වම්බටු, ලීක්ස්, ගෝවා, බෝංචි ආදී එළවළු වර්ග යම් මට්ටමකින් මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර පහතරට එළවළු වර්ග බොහොමයක් ඉතාමත් අඩුවෙන් ලැබුණු බව ප්‍රකාශ වේ.

එමෙන්ම දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් බොහොමයක ඩීසල් නොමැතිවීම හේතුවෙන් වාහන තැන තැන නවතා ඇත. ඉන්ධන පිරවුම්හල් කිහිපයක්ම ඉන්ධන නොමැති නිසා වසා දමා තිබුණු අතර පෙට්රල් ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගැනීමට හැකිවිය.

බස් නැවතුම්පොළ සහ අනෙකුත් ස්ථානවල මගීන් රැස්ව සිටි අතර ගමනා ගමනයට බස්රථ නොමැතිවීම නිසා ඔවුන් අසීරුතාවකට පත්ව සිටින අයුරුද දැකගැනීමට හැකිවිය.

දුර පළාත්වල පොදු ප්‍රවාහන සේවා දැකගැනීමට නොහැකි වූ අතර කෙසේ වෙතත් කෙටි දුර ගමන් සඳහාද බොහොමයක් පෞද්ගලික හෝ ලංගම බස් රථ යොදවා නොතිබිණි.

නගරයේ වෙළෙඳසල් බොහොමයක අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි විශාල ජනතාවකට වෙළෙඳුන් හිතුමතේට මිල ගණන් කියමින් භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල නිරත වූ බව ජනතාව පැවැසීය. මෙදින දඹුල්ල සති පොළද යම් මට්ටමකින් විවෘතව තැබීමට වෙළෙඳුන් පියවර ගෙන තිබිණි.

දඹුල්ල – කේ.කේ. ආරියදාස