“නව ආණ්ඩුව උපතේදී ම මළගම සනිටුහන් කරලා ඉවරයි” – අනුර

0
348

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර පිහිටුවන නව ආණ්ඩුව උපතේදී ම මළගම සනිටුහන් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා සමග අද (මැයි 12) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ යනු, රාජපක්ෂ පවුලේ ගැලවුම්කරු බව ත් ඔහු බලය ලබා ගන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ත් දිසානායක මහතා එහිදී පැවසීය.

ඔහු අවධාරණය කළේ, ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා විසඳුමක් ලෙස ගෙන ඇති තීරණය රටේ ජනතාව විශාවා නොකරන බව ය.

“මේ වෙලාවේ රටේ මතුවී තිබෙන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ ත් රනිල් වික්‍රමසිංහ ත් තීන්දු අරගෙන තියෙන බව පෙන්නුම් කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ කිසිදු ඇහුම්කන්දීමක් කිරීමට ඔවුන් සූදානම් නොමැති බව පෙන්වමින්.

රනිල් වික්‍රමසිංහ හැම දා ම ත් මේ රාජපක්ෂ පවුලේ ගැලවුම්කරු. ඔහු බලය ලබා ගන්නේ ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම රාජපක්ෂලාත් රනිල් වික්‍රමසිංහගේ ගැලවුම්කරුවෝ.

ඒ නිසා අද අවසානයේදී ජනතාව විශාල ලෙස තමන් පත්වී තිබේ පීඩාව, වංචා දූෂණ, අපරාධ පිළිබඳව විශාල උද්ඝෝෂණයක් රටේ තිබුණත් ඒ කිසිවෙකුට ඇහුම්කන් නොදී මේ ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් අරන් තිබෙන මේ විසඳුම කියලා ඔවුන් විශ්වාස කරන දේ කවුද මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ?

මේක විශ්වාස කරන්නේ දෙන්නයි. රනිල් විශ්වාස කරනවා ගෝඨාභයව. ගෝඨාභය විශ්වාස කරනවා රනිල්ව. ඒ හැරුණුකොට මේ රටේ කිසිදු පුරවැසියෙක් මෙවැනි කුමන්ත්‍රණකාරී සටකපට මාළිගා කුමන්ත්‍රණ පිළිගනීවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
කොබෙයියා බොල කොබෙයියා…

ඉතින් මේ කිසිදු වෙනසක් මේ රටේ ජනතාව අපේක්ෂා කළ වෙනසක් නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ත් රනිල් වික්‍රමසිංහ ත් තේරුම් ගත යුතු යි, මාළිගා කුමන්ත්‍රණ නොවෙයි අපේ රටේ විසඳුම වී තිබෙන්නේ ජනතා බලයට මොන තරම් ඇහුම්කන් දෙනවා ද කියන සාධකය මත.

ඒ නිසා මෙය උපතේ ම මෙම කුමන්ත්‍රණය, මෙම ආණ්ඩු පිහිටුවා ගැනීම උපතේදී ම එහි මළගම සනිටුහන් කරලා තියෙන බව තමයි අපිට පෙන්නුම් කරන්න තිබෙන්නේ.”