ඇවිළෙන ගින්දර වහා නිවා දමනු

0
116

ඉකුත් අප්‍රේල් 20දා රඹුක්කනදී පොලිසිය වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය අරලියගහ මැඳුරෙන් යළි ප්‍රාණවත් වී දැන් මුළු රටම ගිනි තබන තැනට හිස ඔසොවා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මැඳුර යන පාලක කේන්ද්‍රස්ථාන ද්විත්වයට බලපෑම් එල්ල කරන්නට ආරම්භ කොට තිබූ ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පොහොට්ටුවේ මැරයන් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට පොදු ජනතාව මැරයන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්නට පටන්ගෙන තිබේ.

පොහොට්ටුවේ එසේත් නැති නම් පොහොට්ටු ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රමුඛ ක්‍රියාකාරීන්ට ජනතාවගේ පරමාධිපත්‍යයට ද්‍රෝහිවීමේ ප්‍රතිවිපාක විඳින්නට හා විඳවන්නට සිදුවී ඇත. මේ තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවූ පිරිස නියෝජනය කළ විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලාට, වාසුදේව නානායක්කාරලාට ටොකු අනින්නට පටන් ගැනීම ආණ්ඩුව කළ වැඩ වරද්දා ගැනීමය. දෙල්කඳ පොළේදී ජනතාවගේ පැත්තට කතා කළ සුසිල්ට ඇන්න හීන් ටොක්කට වඩා විමල්ලාට, ගම්මන්පිලලාට වාසුදේවලාට ඇන්න ටොකු හොඳටම සැර විය. ඒ අතරේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ බැසිල් හා කබ්රාල් ජෝඩුව රට තවදුරටත් ප්‍රපාතයට ඇද දැමූහ.

අන්තිමට තෙල් පෝලිම්ය. ගෑස් පෝලිම්ය. ඒ මදිවාට පැය ගණන් විදුලිය නැත. ගොවි ජනතාව මාස ගණනක් තිස්සේ පුපුර පුපුරා සිටියේ කලට වේලාවට පොහොර ටික නැතිවය. මේ ගැටලු කන්දරාව මැද තරුණ පරපුර සිටියේ අපේක්‍ෂා භංගත්වයට, අසහනයට පත්වය. එහෙත් ඔවුහු විමසිල්ලෙන් මේ සියල්ල දෙස දෑස් ඇරගෙන බලා සිටියහ.

ගාලුමුව‍ෙදාර හා අරලියගහ මැඳුර ඉදිරිපිට ආදරයේ අරගලය පටන් ගත්තේ මේ අතරතුරය. ආදරයේ අරගලය යන වචන යුගලය තුළින්ද ඉස්මතුව පැවතුණේ අහිංසකත්වයේ බලපෑමය. ගෝඨාගෝගම, මයිනාගෝගම ඔවුන්ගේ බලපෑම් ලීලාවේ විරෝධතාකල්පීය ප්‍රකාශනයයි. එය හුදු බලපෑමක් මිස හිංසනයක් වුණේ නැත. ආණ්ඩුවෙන්ම වෙන්කොටදී තිබූ අදාළ භූමිය මුල්කරගෙන ඔවුහු ගෝඨාගෝගම ගොඩනැඟූහ. අරගලයේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් වැඩි පිරිසක් ඊට ආශීර්වාද කළහ. ඒ සාමකාමී සර්වපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රීය අරගලය විසින් ජනතාවට බොහෝ දේ දිනවා දී තිබිණ.

පොහොට්ටුවේ ත්‍රාඩයන් වෛරය වැපුරුවේ ඒ ආදරණීය අරගල භූමියේය.

ගෝඨාගෝගම තරුණ ප්‍රජාව තවමත් සාමකාමී අරගලයේය. ඔවුන්ට ගෙවල් ගිනි තබමින් දුවපැන ඇවිදින්නට කාලයක් හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුව වටහාගත යුත්තේ මේ සත්‍යයයි. ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නෝ දැන් ආගිය අතක් නැත.

ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන තැනට ජනතාව යොමුකළේ කවුරුන්ද? ආණ්ඩුවය. 

එහෙත් මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ආදර ගෞරවයෙන් යුතුව කරන ‘මව්බිම’ ආයාචනයයි මේ.

ආණ්ඩුවේ ගිනි අවි පත්තුවන තැනට අරගලය යොමු නොකරන්නට වග බලා ගන්න. පොදු දේපොළ, මිනිස් ජීවිත ආරක්‍ෂා වන තැනට කටයුතු කරන්න.

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයද විවිධ වූ අගහිඟකම් අමාරුකම් රැසකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ සියලු දුෂ්කරතා කෙසේ හෝ ජයගෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ‘මව්බිම’ සූදානම්ය. රටේ පවතින සංක්‍රාන්ති තත්ත්වය සමහන් කරන්නට තව දින කීපයක් ගතවනු නිසැකය. දීර්ඝකාලීන ආර්ථික විසඳුම් ගැන මෙන්ම ක්‍ෂණික විසඳුම් ගැනද දැන් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

මිරිහානෙන් ඇරැඹුණු පුරවැසි විරෝධතා ව්‍යාපාරය දැන් දෙවැනි මාසයට පා තබා ඇත. ගැටුම්වලින් මියගියේ මිය යායුතු අයම නොවෙති. තුවාල ලැබූවන් අතර අසරණ තත්ත්වයේ අයද වෙති. ගිනි තැබූ ගෙවල් ගණනට මේ මොහොතේදීත් තවත් එකතු වී තිබෙන්නට පුළුවන. වෙඩි තබන්නැයි අණ දුන් පමණින්, හදිසි නීතිය, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාවට නැඟූ පමණින් සියල්ල යථා තත්ත්වයට පත් නොවනු ඇත.

කළ යුත්තේ කවුරු කවුරුත් ප්‍රචණ්ඩත්වයේ අවිය අතහැරීමය. හාදකම් නැතිවට කම් නැත. වාදභේද තිබුණාට කම් නැත. රට මුහුණ දෙමින් තිබෙන බරපතළ විනාශයට එකාවන්ව පිළිතුරු සොයන්නට අවශ්‍යමය. ඉදිරිය ගැන සන්සුන් මනසින් සිතා බලමු. මේ වෙසක් සමයේ වෛරයට එරෙහිව ආදරය පතුරවමු.