“රටේ වගකීම භාර ගන්න JJB සූදානම්”: යෝජනා මාලාවකුත් ඉදිරිපත් කරයි (VIDEO)

0
214

වත්මන් දේශපාලන අර්බුදය, අරාජිකත්වය නිම කරමින් රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මැතිවරණයක් සඳහා මේ මොහොතේ යාමට ඉඩකඩ නොමැති බැවින් කරුණු දෙකක් මත පදනම්ව තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස එය යෝජනා කරන බව ඔහු පැවසීය.

දිසානායක මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව තුළින් අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බව ය.

ඒ අනුව, වර්තමාන දේශපාලන අර්බුදය නිමා කර රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද කෙටි කාලීන යෝජනා මාලාව පහතින් දැක්වේ.

  1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහා ම සිය ධූරයෙන් ඉවත් විය යුතු ය.
  2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කතනායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු ය.
  3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරට ත් ජනවරම නියෝජනය නොකරන බැවින් ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් ද මාස 6ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

(ආ) එසේ නොමැති නම්, කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

  1. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතු ය.

I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධූර කාලය සීමා කරන 21 වන ව්‍යවස්ථා සංශෝධනය වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු ය.

II. වර්තමානයේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතු ය.

III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතු ය.

IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 6ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය ද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතු ය.

V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේ ද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතු ය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු ය.