රට ගිනි තබා පලා යෑමට ඉඩ නොදෙනු!

0
139

ශ්‍රී  ලංකාවේ ජනතාව මේ මොහොතේ පසුවන්නේ වසර ගණනාවක් ජනතාව මුළාකොට රවටා ජාතික ධනය කොල්ල කෑ මහින්ද රාජපක්ෂ රෙජීමයෙන් රට බේරා ගැනීමේ අවසන් අදියරයේය.

පිලිපීනය වසර 20ක් පාලනය කළ ෆර්ඩිනන්ඩ් මාකෝස් නමැති  ඒකාධිපතියා පලවා හැරි ජන අරගලයට සමාන ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයක ශ්‍රී  ලංකාවාසීහු මේ මොහොතේ නිරතව සිටිති.

මාකෝස් හා ඔහුගේ බිරිය ඉමෙල්ඩා පිලිපීන ජනතාවට සිදු කළ අපරාධවලට නොදෙවැනි අපරාධ මහින්ද හා ශිරන්තිද මේ රටට සිදුකර තිබේ. ඔවුහු ජාතික ධනය කොල්ලකා රහසිගත බැංකු ගිණුම්වල දමා ගත්හ.  රටේ සිදුවූ ඇතැම්  පුද්ගල මරණ හා අතුරුදන් කිරීම්වලට විරුද්ධව ඇඟිල්ල දික් වූයේද රාජපක්ෂවරුන්ටය. නීතිය හා බලය ඔවුන් අත වූ නිසා ඒවා ඉතා සැහැල්ලුවෙන් යටපත් විය.

වයස 27දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ බලය අත්හරින විට වයස 76ක් විය. එනම් ඔහුගේ දේශපාලන ජීවිතය අඩ සියවසකි. මිනිසකු දේශපාලන වශයෙන් තෙම්පරාදු වන්නට එම කාලය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එහෙත් මහින්ද රාජපක්ෂ බලය අත්හළේ  දශක හතක් තමාත් තම පවුලත් රැකගත් මාතෘ භූමිය ගිනි ජාලාවක් බවට පත් කරමිනි.

සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි දහස් සංඛ්‍යාත තරුණ පිරිස් පලවා හැරීමට මහින්ද රාජපක්ෂ මැර හමුදා යෙදවූයේ නූගත් පාදඩ දේශපාලකයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු කෙරෙහි විශ්වාසය තබමිනි. මහත් ජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ මුඛරිකම පමණක් ඇති දේශපාලන තක්කඩියකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් වූයේ කෙසේ දැයි ජනතාව ප්‍රශ්න කරති.

ජොන්ස්ටන් වනාහී කොටි සංවිධානය සමඟ එක්ව මහින්ද ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කළ අයෙකි. එතනෝල්වලින් කසිප්පු පෙරනවා හැරෙන්නට ඔහු දන්නා ජනතාවාදී දේශපාලනයක් නැත. ජන අරගල මැ¾ඩීමට හොඳම ක්‍රමය කපුටකු මරා තටුව එල්ලීම යැයි ජොන්ස්ටන් විශ්වාස කළේය.  මහින්ද රාජපක්ෂ උසිගන්වා ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාකරුවන්ට පහර දෙන්නට ඔහු තීරණය කළේ එබැවිනි. සමස්ත රටවාසීන්ගේ ගෞරවය හා ආදරය ගාලුමුව‍ෙදාර අරගලයේ නියැළුණු තරුණ ප්‍රජාව හිමිකරගෙන සිටි බව මේ කාලකණ්ණි රැල දැන සිටියේ නැත. රට තුළ නීතියක් හරියාකාරව ක්‍රියාත්මක වනවා නම් මහින්ද රාජපක්ෂ පමණක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මේ වනවිට සිටිය යුත්තේ බන්ධනාගාරයක් තුළය. තම දේශපාලන දිවියට සමු දී ගෞරවනීය ලෙස වේදිකාවෙන් බැස යන්නට තිබූ අවස්ථාව මහින්ද රාජපක්ෂ අහිමි කර ගත්තේය. අවසන් නිමේෂයේදී ඔහු  උපන් දේශයට වෛර කරන සාහසික අපරාධකාරයකු ලෙස ක්‍රියා කළේය.

මහින්ද රාජපක්ෂට මොළය කළඳක් තිබුණා නම් ඔහුගේම ආණ්ඩුව  හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබියදී එයද නොසලකා  පොහොට්ටුවේ මැරයන් ගෙන්වා පොලු මුගුරු අතට දී තරුණ අරගලකරුවන්ට පහර දෙන්නට ගාලුමුව‍ෙදාර වෙත යවන්නේ නැත.  දැනට මරණයට පත් සංඛ්‍යාව 7කි. විනාශ වූ භෞතික සම්පත් කොතෙක් දැයි ගණනය කළ නොහැකිය. ඒ සියල්ලටම වගකිවයුත්තා මහින්ද රාජපක්ෂය. අපරාධකරුවන්ට සාටකයට මුවාවීමට ඉඩ නොදිය යුතුය.

පැනනැඟී ඇති දේශපාලන අර්බුදය විසඳා ගන්නට තමාට අවස්ථාව ලබාදී අගමැති තනතුර අතහැර යන ලෙස  ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂව දැනුම්වත් කර තිබුණත් ඒ සෑම අවස්ථාවකදීම  විවිධ උප්පරවැට්ටි යොදමින් ඔහු අගමැති ධුරයේ රැඳී සිටියේය. නමුත් අවසානයේ වල්ගය ගිනිගත් හනුමන්තා ලංකාද්වීපයම ගිනි තැබුවා සේ මහින්ද රාජපක්ෂ රටම ගිනි තබා තිබේ.

හෘදය සාක්ෂියක් නැති බල ලෝභී නායකයකු පසුපස යන මිනිසුන්ට අත්වන ඉරණම මහින්ද රාජපක්ෂගේ අනුගාමික හිටපු මැති ඇමැතිවරුන්ට අද අත්විඳින්නට සිදුව තිබේ. ඔවුන් ගෙවන්නේ ජනතාවගේ දහදිය සහ ක¾දුළුවල වන්දියයි.