මහින්ද රාජපක්ෂ ‘ආරක්ෂිත ස්ථානයක’ සිටින බව නාමල් රාජපක්ෂ AFPට කියයි

0
335

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා AFP පුවත් සේවයට පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ, බලය අත්හරින ලෙසට ජනතාව බල කරමින් සති ගණනාවක් තිස්සේ උද්ඝෝෂණ පැවැත්වුව ද රාජපක්ෂ පවුලට ශ්‍රී ලංකාව හැර යාමට අදහසක් නොමැති බව ය.

“අපි යන්න යනවා කියලා කටකතා ගොඩක් තියෙනවා, අපි රට දාලා යන්නේ නැහැ,” යැයි ප්‍රකාශ කර ඇති නාමල් රාජපක්ෂ මහතා තව දුරට ත් සඳහන් කර අත්තේ, තම පවුලට එරෙහිව ගොඩ නැගී ඇති ජාතික කෝපය ඉහළ යාම “නරක පැල්ලමක්” බව ය.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවන බව ය.

ඊයේ (මැයි 9) රාත්‍රියේ විරෝධතාකරුවන් කොළඹ අගනුවර පිහිටි ඔහුගේ නිල නිවස වන අරලිය ගහ මන්දිරය වැටලීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා හෙළි නොකළ ස්ථානයකට ගෙන යන ලද බව AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

අනතුරුව ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව සිටින බවට එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කළ අතර එහි සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කඳවුරෙන් එළියට දමන ලෙස ජනතාව එහි විරෝධතාවක ද නිරත වූහ.

“මගේ පියා ආරක්ෂිතයි, ඔහු ආරක්ෂිත ස්ථානයක ඉන්නවා. ඔහු පවුලේ අය සමග සන්නිවේදනය කරනවා,” යැයි නාමල් රාජපක්ෂ මහතා AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.