සබන් ගණන් කාලෙත් පැයක් දෙකක් නාන ග්‍රස්ථිය නියුරෝසියාව

0
265

“අනේ අරයට මොනවා වෙලාද මන්දා දවසට සිය පාරක් විතර අත හෝදනවා”

ඔයා කවුරු හරි මෙහෙම කියනවා අහන් ඉඳලා ඇති. සමහර විට ඔයත් මෙහෙම කියලා ඇති. එහෙම නැත්නම් අඩුම තරමේ ටෙලියක, ෆිල්ම් එකක හරි කියනවා අහලා ඇති. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? නිකමටවත් හිතුණද? හොඳින් මතක තියාගන්න, මේක පිරිමි අයට විතරක් නෙවෙයි, ගැහැනු අයටත් හැදෙනවා. හැදෙන්න වයස් භේදයකුත් නැහැ.

ඇත්තටම මේක සුළු මානසික රෝගී තත්ත්වයක්. අපි ඒක මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය නියුරෝසියාව එහෙම නැත්නම් (OCD – Obsessive Compulsory Disorder)කියලත් හ¾දුන්වනවා. මේ රෝගී තත්ත්වය හැදෙන පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතයට මේ මානසික සිතුවිලි රටාවත්, ඒ ඒ ක්‍රියාකාරකමුත් ඍජුවම බලපානවා. මේ රෝගී තත්ත්වයේදී දකින්න ලැබෙන ප්‍රධානම ලක්ෂණ තමයි එකම කාර්යය නිතර නිතර කරන්න පෙලඹීම සහ එකම සිතුවිලි නැවත නැවත සිතට ඇතුළු වීම. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ගේ සිතට ඇතුළු වන සිතුවිලි ප්‍රියජනක ඒවා නම් නෙවේ. ඒ නිසාම ඒ සිතුවිලි නිසා රෝගියා වඩ වඩාත් පීඩාවට පත් වෙනවා. ඒ වගේම ඔහු හෝ ඇය කරන සමහර දේවල් බලන් ඉන්න අයට අප්‍රිය සහගත දේවල් වෙන්නත් පුළුවන්. ඒක ඒ රෝගය හැදුණු කෙනා හිතාමතා කරන දෙයක් නෙවෙයි කියලත් මතක තියාගන්න.

මේ රෝගයෙන් පෙළෙන පුද්ගලයා එම සිතුවිලිවලට කොතරම් අකැමැති වුණත් ඔවුන්ට එම සිතුවිලිවලින් මිදෙන්න හැකියාවක් නැහැ. මේ රෝගයෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ට තමා ගමනක් යෑමට නිවෙසෙන් පිටත් වී ටික දුරක් ගිය පසු නිවෙසේ ‍ෙදාර වැසුවාද යන්න පිළිබඳව සැකයක් ඇති වෙනවා. මම ආවෙ අයන් එක ගලවලද කියලා සැක හිතෙනවා. මෙය එක් වරකින් නතර නොවන අතර කිහිප වතාවක් ඔවුන් එයම සිදු කිරීමට පෙලඹීමත් එක්ක රෝගයක් දක්වා උත්සන්න වෙනවා. මේ නිසා එම පුද්ගලයා මෙන්ම ඔහු වටා සිටින අනෙක් පුද්ගලයන්ද අපහසුතාවට පත් වෙනවා. සමහර වෙලාවට පුද්ගල සබඳතාවන් බිඳ වැටෙන්නට පවා මේ තත්ත්වය ඍජුවම බලපානවා.

ඒ වගේම මොවුන් රාත්‍රියේ නින්දට යෑමට ප්‍රථම ගෑස් උදුන ක්‍රියාවිරහිත කර ඇද්දැයි නිතර නිතර සොයා බැලීම, අයන් එක ක්‍රියා විරහිතව පවතින අවස්ථාවකදී පවා නිතර නිතර ඒ පිළිබඳව සොයා බැලීම, රාත්‍රියේ නින්දට යෑමට ප්‍රථම ‍ෙදාර ජනෙල් වසා ඇත්දැයි කිහිප වරක් පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවන්වල නිරත වන ආකාරයද දක්නට ලැබේ. මේ අයට එක වරක් හෝ දෙවරක් මේ දේවල් බැලුවාට සන්තෘප්ත වන්නේ නැහැ. එනිසා දහපාරකට වඩා එකම දේ ගැනම හොයනවා දකින්න පුළුවන්. මේ නිසා අනවශ්‍ය විදිහට කාලය කා දමන පිරිසක් බවටත් නිරායාසයෙන්ම පත් වෙනවා.

එමෙන්ම ඇතැම් විට මොවුන් සෑම දිනකම එක් කාර්යයක් ඒ ආකාරයටම කළ යුතු යැයි යන හැඟීමක ජීවත් වන අතර එක් අවස්ථාවකදී හෝ එය සිදු කිරීමට නොහැකි වුවහොත් යම් අසුබ දෙයක් සිදු වේවි යැයි අනියත බියකින් පෙළෙනවා. ඒ ආ සුබ දේවල් අතර තමා මිය යයි, තමන්ගේ ආදරණීයයෙක්ට කරදරයක් වෙයි වගේ අනවශ්‍ය ආකාරයෙන් සිත පෙළන දෑ නිසා දැඩිව පීඩාවට ලක් වෙනවා. එමෙන්ම අස්වාභාවික හෝ දරුණු අදහස් ක්‍රියාත්මක කිරීමට සිතුවිලි පහළ වෙනවා. තමා වාහනයක ගමන් ගන්නා විට තමා වාහනයෙන් එළියට පනීවි යැයි හිතට දැනෙනවා. ආගමික ස්ථානයකට ගිය විට ආගමික විරෝධී සිතුවිලි පහළ වීමද මෙම රෝගීන් තුළ දැකිය හැකි ලක්ෂණයක්. පිහියක් වැනි ආයුධයක් දුටු විට තමන් එයින් තමන්ටම ඇන ගනීවී යන අනියත බියක් මොවුන් තුළ හට ගන්නවා. ඒ හින්දම ඔවුන් විසින්ම එවැනි ආයුධ සඟවා තැබීමට පෙලඹෙනවා.

මොවුන් තුළ පවතින තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ මොවුන් විෂබීජවලට බිය වීම. එම නිසා මොවුන් අධික ලෙස පිරිසුදු භාවය පිළිබඳව සිතනවා. මේ නිසාම ඇතැම් රෝගීන් නෑමට පෙර ශරීරයේ විවිධ ස්ථානයෙහි ගෑම සඳහා සබන් කැබලි වෙන් කර ගන්නා අතර එම සබන් කැබලි නිම වන තෙක්ම ස්නානය කරනවා. මේ නිසා මොවුන්ට නෑම සඳහා පැය 3ක පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම තම ඇ¾දුම් හෝ ශරීරය යම් තැනක ස්පර්ශ වුවහොත් තම ඇ¾දුම් හෝ ශරීරය අපිරිසුදු වූවා යැයි සිතා අධික භීතියකට පත් වෙනවා.

ඉතින් මේ විදිහට රෝගීන්ව පෙළන මේ OCD හැදෙන්නෙ මොකක් හින්දද? කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න පහත හේතු බලපානවා.

1. ජානමය බලපෑම්

2. කුඩා කාලයේදී ඇති වන යම් ආසාත්මිකතාවක්

මෙම රෝගය සුව කර ගත හැකි රෝගයක් වන අතර මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් මනෝවිද්‍යා උපදේශනය වෙත යොමු වීම වැදගත්. උපදේශනය මඟින් සුව කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති රෝගීන් සඳහා ඔෟෂධීය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. තවදෙයක්. මේ වගේ තත්ත්වයක් ඔබට, ඔබේ හිතවතකුට තිබෙනවා නොසලකා හරින්නට එපා. මේ තත්ත්වය 100%ක්ම සුව කරගන්නට පුළුවන්. කල් නොහැර මනෝ උපදේශනයට සහ ප්‍රතිකාරයට යොමු කිරීමෙන් ඉක්මනට හොඳ කරගන්නත් පුළුවන්.

වෛද්‍ය චන්දි රාජපක්ෂ