විප්ලවය යනු වැටෙන ඇපල් ගෙඩියක් නොවේ

0
286

ආචාර්ය මනෝජ් අද විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට තිබුණේ වෙනදාට තිබෙන කලබලකාරී තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්. අෑතින් මෙගා ෆෝන් එකකින් කවුද කතා කරනවා.

“ආදරණීය සහෝදරයා සහෝදරිය අපි මේ සටන ජයගෙන මිස නවත්තන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.”

ඔහු තව දිගට කතා කරනවා. මේ කතාව අහගෙන ඉද්දි නොදැනුවත්වම ආචාර්ය මනෝජ්ගේ මනස ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතයට දුවලා තිබුණා. ඒ කල්පනාවත් එක්කම ඔහු විශ්වවිද්‍යාල පුස්තකාලයට ඇතුළු වුණ නිසා වෙන්න ඇති කතාව ඇහුනෙ නෑ. හැබැයි එක ගීතයක් ඉබේටම වගේ කියවුණා.

 “ළපලු අගින් පිනි පබලු ක¾දුළු සලලා…

සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා…”

විරු සිසු ගීතය මතක් වෙනකොටත් හිතට එන්නෙ වෙනස් හැඟීමක්. ඒ වගේම විරු සිසු ගීතය බොහෝමයක් විශ්වවිද්‍යාල සිසුන්ගේ ධෛර්යය, ශක්තිය පෙන්වන අපූර්ව නිදර්ශකයක් විධියට හ¾දුන්වන්න පුළුවන්. මේ විරු සිසු ගීතය පුරාවට තියෙන්නෙ සුන්දර රටක් වෙනුවෙන් විරු සිසුවන් කරන ලද මහා කැපකිරීම විතරමයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එහෙමත් නැත්නම් හැමෝම දන්න “අන්තරේ” ඇතැම් කාලයකදී මහජනතාවගේ ‍ෙදා්ෂාරෝපණයටත් ඇතැම් කාලයකදී මහජනතාවගේ ආදරයටත් පාත්‍ර වෙන සමූහයක්. නමුත්, පාලක පක්ෂය නම් ඔවුන්ට කවදාවත් ආදරය   කළේ නැත්තෙ හැමදාමත් පාලකයන්ගේ වැරදිවලට එරෙහිව නැඟී සිටිය නිසයි.

සිසුන් විධියට අධ්‍යාපනයට පමණක් සීමාවීම ප්‍රමාණවත් නැහැ. සමාජය පිළිබඳව සහ අනෙකා පිළිබඳව සහකම්පනයක් තිබීමත් අවශ්‍යයි. එම සහකම්පනය විප්ලවයක් විධියට හ¾දුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි විප්ලවය පිළිබඳ හැඟීම් උපදින්නේ අනෙකා පිළිබඳව ඇති සහකම්පනය නිසයි. ඒ නිසා  තරුණ කාලයේදී විප්ලව හැඟීමක් තිබුණෙ නැත්නම් ඒකත් ගැටලුවක්. මේ විප්ලවය ගැනම කතා කරන අන්තරේ ගැන පොඩි කතාවක්. අනට්ස්ටෝ චේ ගුවේරාගේ රතු චරිතාපදානයේ තියෙනවා මෙහෙම තැනක්.

“ඕනෑම විශිෂ්ට කාර්යයක් සඳහා ආශාව අවශ්‍යයි. නමුත් විප්ලවය උදෙසා ආශාව සහ නිර්භීතකම අධිමාත්‍රාවලින් අත්‍යවශ්‍යයි.

නුඹලාට එය පමණටත් වඩා ශරීරගත වී තියෙනවා මිතුරනි.”

ඉතිහාසයේ සිට වර්තමානය දක්වා බලනවිට  සෑම විශ්වවිද්‍යාල සිසුවකු තුළම රට ගමන් කළ යුතු දිශානතිය පිළිබඳව අදහස් සමුදායක් තිබෙනවා. ගැටලුවක් විධියට තිබුණේ ඔවුන්ගේ අදහස් සමාජය තුළට රැගෙන යෑමට වේදිකාවක් නොතිබීමයි. බොහෝ අවස්ථාවලදී අන්තරේ අදහස් සමඟ සාමාන්‍ය ජනතාවගේ අදහස් සමපාත නොවුණත් ඔවුන් නිශ්චිත අරමුණක් ඇතිව කටයුතු කළා. ඒ නිසාම එදා සිට මෙදා දක්වා රටේ උන්නතියට  විශ්වවිද්‍යාල සිසුන් යම් කැපකිරීමක් කළා නම් ඒ බොහෝ අවස්ථාවලදී අන්තරේ ඉඳලා තියෙනවා. ඒ නිසා අන්තරේ කියන මාතෘකාව ශ්‍රී ලංකාවට එහෙම ලේසියෙන් ඉවත් කරන්න හෝ මකා දමන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි.

ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින අන්තරේ ආරම්භය සිදුවෙන්නෙ 1969 ජුනි මාසෙ 18 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී. ඒකට ප්‍රධානතම හේතුව තමයි 1965 වසරේ දෙසැම්බර් 05 පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් සහ පොලිසිය අතර ඇතිවන ගැටුමෙන් දෙපාර්ශ්වයටම සිදුවූ හානිය. මේ සිදුවීමත් එක්ක එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් රාමනාදන් ශාලාවෙදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බිහි වෙනවා. එදා අන්තරේ පළමු සභාපති විධියට තේරී පත්වන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශ්‍රීල.නි.ප. ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි මැකල්ම් විජේසිංහයි.

1983 කළු ජූලිය වැනි හේතූන් මත පසු කාලීනව පාලකයන් විසින් ශිෂ්‍ය සභා අහෝසි කිරීම නිසා 1984 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අන්තරේ සභාපති තනතුරු ඉවත් කරන්නටත් ඒ වෙනුවට කැඳවුම්කරුවකු පත් කරගන්නටත් කටයුතු කරනවා. කලින් සඳහන් කළා වගේ අන්තරේ ක්‍රියා කලාපය පාලකයන්ට දැඩි හිසරදයක් වීම නිසාම දැඩි මර්දනයකට මුහුණදෙන්න ඔවුන්ට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් විධියට අන්තරේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් බොහොමයකට තමන්ගේ ජීවිතයෙන් සමුගන්නත් සිදු වුණා. ශාන්ත බණ්ඩාර, නිෂ්මි, නිමල් බාලසූරිය, වෙනුර එදිරිසිංහ, ත්‍රිමා විතාන, අතුල සේනාරත්න වැනි ශිෂ්‍ය  ක්‍රියාකාරිකයන්ට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා.

එදා සිට වර්තමානය දක්වාම ඔවුන් දිනාගත් දේ බොහෝමයි. ඒවා නැවත නැවත පෙළගැස්විය යුතු නැහැ. ජනතාවගේ අයිතීන්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මානව හිමිකම් එකී මෙකී නොකී හැමදේටම සංවේදී අන්තරේ වර්තමානයෙත් බෙහෙවින් ක්‍රියාත්මක වන සංවිධානයක්. බොහොමක් පිරිසට අන්තරේ දිරවන්නේ නැති හේතුවක් ලෙස පෙන්වා දෙන්න තියෙන්නෙත් ඒ ආවේගශීලී ක්‍රියාකාරීත්වය. මහාමාර්ග අවහිර කිරීම්, ඒ නිසා ඇතිවන ට්‍රැෆික් එක, උස් හ¾ඩින් කියන සටන් පාඨ, ක¾දුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර කියන අන්තරේ පාරට බැස්සම ඒ මොහොතේ  ලැබෙන දේවල්. ඒ නිසා ජනතාවට තමන්ගේ කටයුතුවලට සිද්ධ වෙන්නෙ බාධාවක්. මේ සියල්ලෙම තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට අන්තරේ වහකදුරු වෙන්න හේතු. ඒ අතරට දේශපාලන විරෝධාකල්පත් තියෙනවා. හැබැයි ඒ හැම දේකටම ඔවුන්ගේ පිළිතුර වුණේ “දිනක ඉතිහාසය විසින් අපිව නිවැරදි කරාවි” කියලයි.

වර්තමානයේ රට තුළ සිදුවන දේවල් නිසා අතරේ නැවතත් ජනතාවගේ අවධානය දිනාගෙන තියෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ ආදරය. කලින් අන්තරේ පාරට බැස්සම දවසම ඉවරයි කියපු ජනතාව දැන් අන්තරේ පාරට බහිනකම් බලාගෙන ඉන්නවා. අන්තරේ දැක්කම ජනතාවට දැන් එන්නෙ ජවයක්. පවතින තත්ත්වය තුළ අන්තරේට විශාල කාර්යභාරයක් පැවැරිලා තියෙනවා. ඔවුන් එය අවබෝධ කරගෙන තියෙන්න ඇත්තේ මීට පෙර වෙන්න පුළුවන්. පවතින තත්ත්වය හොඳින් කළමනාකරණය කරගැනීම සඳහා අන්තරේ සහයෝගය අවශ්‍යයි. දීර්ඝ කාලීන අත්දැකීම් සහ  ඒවායෙන් අරගලයට ලබා ගත හැකි පන්නරය බෙහෙවින් විශාලයි. ජනතාවට පුළුවන් ඒ පන්නරය අන්තරෙන් ලබාගන්න. මේකෙන් කියන්නෙ අන්තරේ සර්ව සම්පූර්ණ සංවිධානයක් කියල නෙවෙයි. බෙහෙවින් ප්‍රගතිශීලී සංවිධානයක් කියලා විතරයි.

“විප්ලවය යනු වැටෙන ඇපල් ගෙඩියක් නොවේ. එය ඔබ විසින් වට්ටවා ගත යුතුය.”

ජයග්‍රහණයත් එහෙම තමයි. ළඟට එනතුරු ඉන්නෙ නැතිව ළඟට ගිහින් ලබා ගන්න. ඔබට ජයග්‍රහණ ලබා ගන්න බැහැ වගේ කියල හිතුණොත් අන්තරේ දිහා බලන්න. ඔවුන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කළ කැපකිරීම් දිහා බලන්න. ඔබට අතහරින්න හිතෙන එකක් නැතිවේවි. මතක් කරලා ඊට කලින්, පක්ෂ, පාට, කණ්ණාඩි ගලවලා ඉන්න. නැත්නම් හරියටම පේන එකක් නැහැ. ඉතින් ඇපල් කන්න නම් අඩුම තරමේ  ඇපල් ගෙඩියක් ඉලක්ක කරලා ගහට එක ගලක්වත් ගහල බලන්න.

චතුරංග ඩී. හතුරුසිංහ