අරගලයේ පූජාසනය මත මලපහ කළ ආණ්ඩුව

0
246

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගාලුමුව‍ෙදාර පැවැති තරුණ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අහිංසාවාදී  අරගලයට  මැරයන් ලවා පහරදී සුජාත අරගල භූමිය රුධිරයෙන් තෙත් කළේය. මහ පොළොව සිපගත් සෑම ලේ බිඳුවකටම  ආණ්ඩුව වන්දි ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා රට පුරා සිටින පාතාල මැරයන් අරලිය, ගහ මන්දිරයට ගෙන්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි හැබිචෝල්කාරයන් ලවා ඔවුන් කුපිත කොට උසිගන්වා  අරගලය පොඩිපට්ටම් කරන්නට මෙහෙයවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල මත මලපහ කළේය.  ශ්‍රී ලංකාව මෙතෙක් ගෞරවයෙන් රැක ගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අගමැති මහින්ද රාජපක්ෂ විසින් එක්

නිමේෂයකදී කෙලෙසා දමනු ලැබීය.

පොහොට්ටු ආණ්ඩුවේ මැරයන් පොලු මුගුරුවලින් සන්නද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පෑමේ නිරතව සිටි තරුණයන්ට පහර දෙද්දී පොලිසියේ අතපය බැඳ තැබීමට අණ දීම ආණ්ඩුවේ නීච  බියගුලු භාවය ලෝකයටම පෙන්වන්නක් විය. ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහය වූයේ සිවිල් පුරවැසියන් අතර ගැටුමක් ඇති කර එහි වාසිය තමන් වෙත ලබා ගැනීමය.

අගමැතිවරයා ඊයේ උදෑසන අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ දේශනය ඉතා පැහැදිලිවම අපරාධයක් සඳහා ජනතාව පෙලඹවීමකි. “ගඟෙන් දිය බී මුහුදට ආවඩන අය ගැන ජනතාව තීන්දුවක් ගනීවි” යැයි ව්‍යංගයෙන් ඔහු කළ ප්‍රකාශය අපට තේරුම් ගත හැකිය. ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව අරලියගහ මන්දිරය තුළ පැවැතියේ අයුතු ජන රාශියකි. එහිදී ගන්නා ලද තීරණයට අනුව ඊට සහභාගි වූ පුද්ගලයන් විසින් සිදුකරන ලද අපරාධයට මහින්ද රාජපක්ෂද වගඋත්තරකරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුය.

දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල නගර සභා, ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රිවරුන්, එම ආයතනවල  සේවකයන් මෙම අපරාධය සඳහා නීති විරෝධී ලෙස බස්රථ මඟින්

කොළඹට ගෙනැවිත් තිබේ. ඒ සියල්ලන්ටම විරුද්ධව රටේ පවත්නා නීතිය ක්‍රියාවේ යෙදිය යුතුය.

ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් කිසිදු සාධනීය පියවරක් නොගත් ආණ්ඩුව මෙවැනි ම්ලේච්ඡ කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමෙන් නැවත නැවතත් තහවුරු වන්නේ මේ ආණ්ඩුව ජනතා ද්‍රෝහී ආණ්ඩුවක් බවය. තවදුරටත් රටේ අනාගතය කාබාසිනියා  නොකොට අන්තර්වාර පාලනයකට රට භාර දී ආණ්ඩුව ගෙදර යා යුතුය.

මේ මොහොතේ සියලු පුරවැසියන්ගේ විරෝධය ආණ්ඩුවට එල්ල වී තිබේ. වැඩ කරන ජනතාව මේ අවාසනාවන්ත  සිද්ධිය සිදු වූ මොහොතේම සමස්ත මහා වැඩ වර්ජන තීන්දුවක් ගැනීමෙන් ප්‍රශ්නයේ බරපතළකම පැහැදිලි වේ. මෙවැනි අමන තීන්දු ගන්නා මහින්ද රාජපක්ෂ වැනි මෝඩ පාලකයකුට රට භාරදීමේ ඵල විපාක මේ මොහොතේ ජනතාව අත්විඳිමින් සිටී.

“ගෝඨා ගෝ ගම” ජන අරගලය රටේ මුළුමහත් ජනතාවගේ ආශීර්වාදය ඇතුළුව තරුණ දූ දරුවන් විසින් පවත්වාගෙන ගියේ රාජපක්ෂ පවුලේ අසමත් පාලනයෙන් රට බේරා ගැනීමේ පූජනීය අරමුණ ඇතිවය. අන්තර්වාර පාලනයකට රට භාර දී බලය අත්හරින ලෙස ජනතාව ඉල්ලා සිටියේ ආණ්ඩුව රට පාලනය කිරීම අත්හැර තිබෙන නිසාය. අවසානයේ මහින්ද රාජපක්ෂ වේදිකාවෙන් බැස යන්නේ “යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ” මුළු රටම ගිනි තබාය.

ගාලුමුව‍ෙදාර අරගලය සෑම ආකාරයකින්ම යුක්තිසහගත සාධාරණ එකක් විය. එය මාර්ටින් ලූතර් කිංගේ මහත්මා ගාන්ධිගේ අහිංසාවාදී අරගල සම්ප්‍රදායේ නූතන යුගයේ පරමාදර්ශය විය. ගෝඨා ගෝ ගම විරෝධතා මාදිලියේ වර්ණවත් පූර්වාදර්ශය හදාරන්නට ලොව බොහෝ රටවල් උනන්දුවෙන් බලා සිටී. නිසැක ලෙසම එය  විජයග්‍රහණයෙන් නිමා වනු ඇත.