හදිසි නීතිය පැනවීම ගැන ආරක්‍ෂක අමාත්‍යංශය කියන කතාව

0
254

රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.

පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සාමකාමී අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් රටෙහි විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් මහජනතාව මහත් දුෂ්කරතාවකට පත්වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එම අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ, විවිධ අවස්ථාවලදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂණකරුවන් රටෙහි පවත්නා සාමාන්‍ය නීතිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් සිදු නොකොට ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන ආකාරය ත් ඔවුන්ට තර්ජනය කිරීම් ආදිය ත් නිරීක්‍ෂණය කර ඇති බව ය.

ඒ හේතුවෙන්, මහ ජනතාවට දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවකට පත්ව තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබේ.

ඒ අනුව, ඇතිව තිබෙන මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු දෙනා බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව රටෙහි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළයුතු බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරට ත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.