ස්වර්ගයේ මැද දොරටුව ඔබගේ මවුපියන්ය

0
110

මිනිසා සර්ව බලධාරී අල්ලාහ්ට පමණක් කළයුතු වගකීම් වන ඔහුට පමණක් නැමදුම් කළ යුතු බව අල් කුර්ආනයේ සඳහන්ව ඇති බෝහෝ ස්ථානවල මවුපියන්ටද ගරු කළ යුතු බව සඳහන් කර ඇත.

“නුඹලා අල්ලාහ්ට නමදිවු. ඔහුට කිසිවක් ආදේශ නොකරවු. මවුපියන්ට යහපත්ව කටයුතු කරවු. අල්ලාහ් හැර වෙනත් කිසිවක් නුඹලා නොනැමදිය යුතුයි. මවුපියන් සමඟ යහ අයුරින් කටයුතු කළ යුතුයි” යැයිද “නුඹලාගේ පරමාධිපති නුඹලාට නියමකොට ඇත. නුඹලාගේ භාරකාරත්වයේ ඔවුන් දෙදෙනාමද, ඔවුන් දෙදෙනාගෙන් කෙනකුද, මහලුවියේ පසුවන අවධියේ ඔවුන්ට ‘චී’ වචනයවත් භාවිත නොකරනු, ඔවුන්ව නිවසෙන් බැහැර නොකරවු, තවද ඔවුන් දෙදෙනාට ගෞරවනීය වදන්වලින් කතා කරනු” යනුවෙන්ද අල්ලාහ් නියම කර ඇත. අල් කුර්ආනයේ බොහෝ තැන්වල මෙම කරුණු දෙක සම්බන්ධ කර පවසා තිබෙනු දැකිය හැකිය. එමඟින් මෙම කරුණු දෙක අතර තිබෙන සම්බන්ධතාව පැහැදිලි කර පෙන්වන්නේය.

ඉස්ලාම් දහමේ මහ පාපකර්මයක් වන අල්ලාහ්ට ආදේශ කිරීම පිළිබඳ අවවාද කරන අවස්ථාවේදීද මවුපියන්ට ගරු කිරීම පිළිබඳ සඳහන් කිරීමෙන් මවුපියන්ට ගරු කිරීම කෙතරම් වැදගත්ද යන වග වටහා ගත හැකිය. තවද අල්ලාහ්ව නැමදීමේදී, ඔහුට යටහත් වීම, අවනත වීම, අණට ගරු කිරීම යන කරුණු අන්තර්ගත වේ. මෙම ගුණාංගයන්ට පටහැනි ගුණාංග වන උඩඟුකම සහ උද්ධච්චකම මවුපියන්ට අගෞරව කරන්නන් තුළ දක්නට ලැබේ. මේ පිළිබඳව අල්ලාහ් විසින් යෙහියා (අලෛ) තුමාණන්ව ප්‍රශංසා කර පවසන අවස්ථාවේදී, එතුමා තම මවුපියන්ට යහපත ඉටු කරන්නකු ලෙස සිටියේය. තවද ඔහු තම මවුපියන්ව පීඩාවට පත්කළේ නැත යනුවෙන් පවසා ඇත.

තමාව වදපු මවුපියන් දෑස් ඉදිරිපිට සිටියදී ඔවුන්ට ගරු නොකරන පුද්ගලයෙක් දෑසට නොපෙනෙන තමාව මවපු අල්ලාහ්ට ස්ත්‍රෝතවීම ආශ්චර්යයකි. එබැවින් තමාව මැවූ සර්වබලධාරී අල්ලාහ්ට නැමදුම් කර ඔහුට අවනත විය යුතු යැයි සිතන පුද්ගලයෙක් තමාව මෙලොවට බිහකිරීමට හේතු සාධක වූ මවුපියන්ට උපකාර කළ යුතුයි. මවුපියන්ට උපකාර නොකර ඔවුන්ගේ සිත් රිදවා ඔවුන්ගේ කෝපයට ලක්වීම මහ භයානක පාපකර්මයක් පමණක් නොව එය අල්ලාහ්ගේ කෝපයට භාජන වූ පුද්ගලයෙක් බවට පත්වීමට හේතු වේ. මේ නිසා උතුම් නබි (සල්) තුමාණන් “පරමාධිපති අල්ලාහ්ගේ තෘප්තිය මවුපියන්ගේ තෘප්තියේද, පරමාධිපති අල්ලාහ්ගේ අතෘප්තිය මවුපියන්ගේ අතෘප්තියේ ද ඇත” යනුවෙන් පවසා ඇත. මෙම නබි වදන සනාථ කර පෙන්වන එක් සිදුවීමක් මඟින් තවත් වැඩිදුර පැහැදිලි කරයි.

එක් පුද්ගලයෙක් නබි (සල්) තුමා අබියසට පැමිණ “අල්ලාහ්ගේ දූතයාණනි, නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිම කෙනෙක් නොවන බවත්, තවද ඔබතුමා අල්ලාහ්ගේ දූතයාණන් බවත් මා සාක්ෂි දරමි. තවද මා පංචකාල සලාතය ඉටුකරමි. මාගේ ධනයෙන් සකාතයද ලබා දෙන්නෙමි. රාමලාන් මාසයේ උපවාස ශීලයද රකින්නෙමි.” යනුවෙන් ඔහු පැවැසීය. එවිට නබි (සල්) තුමාණන්  “කවුරුන් මෙලෙස මරණයට පත්වන්නේද, ඔහු පරලොවේදී නබිවරුන් සමඟද, සත්‍යවන්තයන් සමඟද, අල්ලාහ් වෙනුවෙන් දිවිපිදූවන් සමඟද සිටියි.” යනුවෙන් පවසා තමාගේ ඇඟිලි දෙක එක්කර “තවද තම මවුපියන්ට පිටුපා නැති තාක්කල්” යන කොන්දේසියද පෙන්වා දුන්නේය. එබැවින් යමකු අල්ලාහ්ට කළ යුතු යුතුකම් වගකීම් ඉටුකළද මවුපියන්ට අයහපත සිදුකර ඔහුට ජය ලැබීමට හෝ ස්වර්ගයට පිවිසීමට හෝ නොහැකි බව මෙයින් වටහාගත හැකිය.

බහස් බින් හකීම් (රලි) විසින්, නබි (සල්) තුමාණන්ගෙන් “අල්ලාහ්ගේ දූතයාණනි මා උපකාර කිරීමට වඩාත්ම සුදුසු යෝග්‍යවන්තයා කවුරුන්ද?” යැයි ඇසූ කල එතුමාණන්,

“ඔබගේ මව” යනුවෙන් පැවැසීය. ඉන් අනතුරුව කවුරුන්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් “ඔබගේ මව” යනුවෙන් පැවැසීය. ඉන් අනතුරුව කවුරුන්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් “ඔබගේ මව” යනුවෙන් පැවැසීය. ඉන් අනතුරුව කවුරුන්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් “ඔබගේ පියා” යනුවෙන් පැවැසීය. ඉන් අනතුරුව කවුරුන්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් “ඔබගේ සමීපතම ඥාතීන්” බව පැවැසුවේය. මෙමඟින් අප අපගේ මවුපියන්ට කෙතරම් සමීපව උපකාර කළ යුතුද, ඔවුන්ගේ සිත් සැනසෙන ආකාරයට අප හැසිරිය යුතුද යන වග ඉස්ලාම් දහම පෙන්වා දී ඇත. මෙම හදීසය මඟින් තෙවතාවක් මවද, සිවුවැනි වතාවේ පියාද සඳහන් කිරීමෙන් ගැඹුරු අර්ථයක් මතු කරයි. එනම් මෙලොවට දරුවෙක් බිහිකිරීමට අම්මා අවස්ථාවන් තුනකදී දහදුක් විඳියි. එනම්,

1. දසමසක් දරුවා කුසෙහි දරාගෙන දහදුක් විඳියි.

2. තම දරුවාව මෙලොවට ප්‍රසූත කරන අවස්ථාවේදී ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් දරුවාව ප්‍රසූත කරයි.

3. තම දරුවා කුඩා අවධියේ දී දරුවාගේ වැඩ කටයුතු සියල්ල සිදුකරයි.

මේ නිසා උතුම් නබිතුමා තෙවතාවක් මවද, සිවුවැනි වතාවට පියාද සඳහන් කළේ. මන්දයත් අපගේ යහපැවැත්මට, අභිවෘද්ධියට, ජයග්‍රහණයට මවුපියන්ගේ ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම අවශ්‍යයි. මවුපියන්ගේ ප්‍රාර්ථනා ලබාගැනීමට සුදුසු පුද්ගලයෙක් ලෙස අප අපව පරිවර්තනය කරගත යුතුයි. මවුපියන් තම දරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවන් අල්ලාහ් පිළිගන්නා බව නබි (සල්) තුමාණන් දේශනා කර ඇත.

තිදෙනකුගේ ප්‍රාර්ථනාවන් කිසිම සැකයකින් තොරව අල්ලාහ් විසින් පිළිගනු ලැබේ. ඒවා නම්,

මවුපියන් තම දරුවන්ට කරන ප්‍රාර්ථනා

දුර ගමනක සිටින මගියකුගේ ප්‍රාර්ථනා

අයුක්තියකට ලක්වූ පුද්ගලයකුගේ ප්‍රාර්ථනා

යනුවෙන් නබි (සල්) තුමාණන් පෙන්වා දුන්නේය.

අප මෙලොව ජීවිතයෙන් යම් දිනෙක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සමුගත යුතුයි. අපගේ ප්‍රධානතම අරමුණ පරලොවේදී ජය අත්පත් කර ස්වර්ගයට පිවිසීමයි. ඒ සඳහා අප මෙලොව ජීවිතයේ යහකර්මයන් කළ යුතුයි. එම යහකර්මයන් අතරින් උසස්ම යහකර්මය වන්නේ තම මවුපියන්ට යහපත්ව උපකාර කිරීමයි. මෙනිසා උතුම් නබිතුමාණෝ මෙසේ වදාළහ. “ඔබගේ මවුපියන් ස්වර්ගයෙහි මැද ‍ස්වර්ගයේ මැද දොරටුව ඔබගේ මවුපියන්ය රටුවයි. ඔබ ප්‍රිය කරන්නේ නම් එය ආරක්ෂා කරන්න. නැතහොත් අත්හැර දමන්න.” එමෙන්ම තවත් අවස්ථාවක “ස්වර්ගය ඔබලාගේ මවුවරුන්ගේ දෙපාමුල ඇත.” යනුවෙන්ද ප්‍රකාශ කළේය. මෙයින් පෙන්වා දෙන්නේ මවුපියන්ට හිස නමා නැමදීම නොව, (අල්ලාහ් හැර වෙන කිසිම කෙනකුට නැමදීම අනුමත කර නොමැත.) මවුපියන්ට යහපත්ව කීකරුව උපකාර කළ යුතු බවයි. අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් අනතුරුව මවුපියන්ට ගරු කළ යුතු බව ඉස්ලාම් ධර්මය අවධාරණය කරන බව පහත සඳහන් නබි වදනෙන් වටහා ගත හැකිය.

“මා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් අල්ලාහ්ට ඉතාමත් ප්‍රියමනාප කුසලය කුමක්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් සලාතය නියමිත වේලාවට ඉටුකිරීම බවට පිළිතුරු දුන්නේය. ඊළඟට කුමක්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් මවුපියන්ට යහපත්ව උපකාර කිරීම යනුවෙන් පැවැසීය. ඊළඟට කුමක්ද යනුවෙන් ඇසූවිට එතුමාණන් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීම යනුවෙන් පැවැසීය. මවුපියන්ට උපකාර කිරීම මෙතරම් උතුම් කුසල් රැස්කර දෙනවා පමණක් නොව අපගේ අවශ්‍යතාවන් ඉටුවීමටත් දීර්ඝ ආයුෂ ලැබීමටත් කරුණක් වන්නේය. තමන්ගේ ආයුෂ දීර්ඝවීමටත්, තමාගේ අවශ්‍යතාව ඉෂ්ටවීමටත් කවුරුන් ප්‍රිය කරන්නේ ද ඔවුන් තම මවුපියන්ට උපකාර කරත්වා.”

තවද ඥාති සම්බන්ධතාව ආරක්ෂා කරන්න යනුවෙන්ද නබි (සල්) තුමාණෝ වදාළහ. මනුෂ්‍යයාව මැවූ සර්වබලධාරී අල්ලාහ් තම මවුපියන්ට ගරු කරන ලෙස මනුෂ්‍යයාට දේශනා කර ඇත. තවද ශුද්ධ වූ අල් කුර් ආනය තුළින් තම මවුපියන්ට යහපත කරන මෙන් අපි මිනිසාට උපදෙස් කළෙමු.

“නුඹට දැනුමක් නොමැති යමක් (දෙවියෙක්ව) මා හට ආදේශ තබන්නැයි ඔවුන් දෙදෙනා නුඹට බල කරන්නේ නම් (එවන් කටයුත්තකදී) ඔවුන් දෙදෙනාට අවනත නොවවු.”

මෙම කුර්ආන් වැකිය මඟින් මවුපියන්ට යහපත ඉටු කළ යුතුයි යන්න පෙන්වා දී තිබෙන අතර, අල්ලාහ්ට ආදේශ තැබීමට කිසිවිටක ඔවුන්ට අනුමැතිය නොමැති බවත් පෙන්වාදී ඇත. අල් කුර්ආනයේ පවසන ආකාරයට මෙලොවට අපව බිහි කළ සර්වබලධාරී අල්ලාහ්, දිනපතා මවුපියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම අපගේ යුතුකමක් බව පෙන්වා දෙයි.

“ඔවුන් දෙදෙනාට කරුණාවෙන් යුතු යටහත්භාවයේ පියාපත් හෙළවු. තවද මාගේ පරමාධිපතියාණනි කුඩා අවධියේ සිටින විට ඔවුන් දෙදෙනා මා හැඩි දැඩි කළාක් මෙන් නුඹ ඔවුන් දෙදෙනාට කරුණාව දක්වනු මැනවි යැයි ප්‍රාර්ථනා කරවු” (යැයිද නුඹගේ පරමාධිපති නියමකොට ඇත.)

අල්ලාහ් අප සියලු දෙනාටම අපගේ මවුපියන්ට යහපත කර ඔවුන්ගේ ප්‍රාර්ථනාව ලබා ස්වර්ගයට පිවිසීමට භාග්‍යය ලබාදෙත්වා!

අශීක්

එස්. එන්. එම්. සුල්ෆිකර් මවුලවි

නෙළුම්දෙණිය