සර්ව පාක්‍ෂික ආණ්ඩුවක ඇමැතිකම් ගන්න බෑ කියන සජබට-ජවිපෙට ඡන්දයක් දිනුවත් ආණ්ඩුව කරන්න වෙන්නේ ගෝඨාභය යටතේමයි

0
76

ගාලුමුව‍ෙදාර ජන විරෝධයෙහි පසුපස සිට මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි එය ආරම්භ වූ කාලයේ චෝදනා එල්ල විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවන්නේද පෙරටුගාමීන් යැයි විවිධ මත පළ විය. එම පසුබිමෙහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ‘මව්බිම’ සමඟ සම්මුඛ වන්නේ ගාලුමුව‍ෙදාර විරෝධය හා රටේ අනාගතය ගැන කතාබහකටය.

* රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මේ කුස්සියේ ප්‍රශ්නය තේරුම්ගන්න සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ. රට බංකොලොත් තත්ත්වයක තිබෙන්නේ. අරගලයට පිවිසුණේ මෙතැනින්. විවිධ දේශපාලන කණ්ඩායම් මේකට විවිධ උත්තර හොයනවා. එකම කණ්ඩායම අගමැතිවරයා මාරු කරමින් උත්සාහ දරනවා. ඇතැමුන් මැතිවරණ ඉල්ලනවා. ජනතාවගේ ඉල්ලීම වී තිබෙන්නේ මේ අර්බුදයට වගකිවයුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යා යුතුයි යන්නයි. ගෝඨාභය ගෙදර යන්න කිව්වාම විධායක ජනාධිපති ධුරයම අහෝසි කළ යුතුය යන පණිවුඩය මෙතැන තියෙනවා. අනෙක් අතට ගෝඨා ගෝ හෝම් යැයි කියන විට ජනතාවගේ ඉල්ලීම තිබෙන්නේ මේ අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා ගෙදර යෑම. ඒ තුළ ජනාධිපති ක්‍රමයම අහෝසි කර දැමීමයි. අනෙක් අතට 225ම එපා කියද්දි සමස්ත දේශපාලන පද්ධතියම ප්‍රශ්න කෙරෙනවා.

* ගාලුමුවදොර විරෝධය මහජන අරගලයක් යැයි පිරිසක් කියද්දී තව පිරිසක් ඊට වෙනස් අර්ථකථන දෙනවා. ඔබ මේ විරෝධය දකින්නේ කොහොමද?

සමාජ මාධ්‍ය ආදී වශයෙන් කවර ආකෘතියකින් සංවිධානගත වුණත් අවසන් වශයෙන් එහි සිටින්නේ රටේ පීඩාවට පත්, රටේ පැහැදිලි වෙනසක් අපේක්ෂා කරන පිරිසක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි ජනතාවට දිගටම කිව්වේ ඡන්දය දීලා ඔබ වෙනුවෙන් වෙන අයට තීරණ ගන්න දීලා පැත්තකට වෙලා ඉන්න එපා කියලයි. දේශපාලනයට එන්න කියලයි. ගෝල්ෆේස් සිට රට පුරාම අද ඒක වෙලා තිබෙනවා. විවිධ බලවේග සමඟින් අරගලය අද වනවිට ජනතා අරගලයක් බවට පත්ව තිබෙනවා. මේකෙන් විවිධ පලප්‍රයෝජන ගන්න බලන දේශපාලන කණ්ඩායම් ඇති. විවිධ දේශපාලන පක්ෂ, කලාපීය බලවතා වූ ඉන්දියාවද, චීනය වශයෙන් විවිධ න්‍යාය පත්‍ර ඇති. හැබැයි ඒකෙන් මේ අරගලයේ සුජාතභාවය ප්‍රශ්න කරන්න බෑ.

* විදෙස් හෝ වෙනයම් ආධාරවලින් මූලික අවශ්‍යතා සැපිරුවහොත් මේ අරගල අවසන් වේ යැයි ඇතැම් දේශපාලකයන් කරන ප්‍රකාශය නිවැරැදිද?

ආර්ථික අර්බුදය මාසෙන් දෙකෙන් විසඳන්න පුළුවන් තැනක නෑ. මේක ලෝක ආර්ථික අර්බුදය එක්කත් සම්බන්ධයි. යුක්රේන් යුද්ධයක් ඇවිල්ලා තිබෙන්නෙත් ඒ සමඟ. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් අකුළන් ගියෙත් ඒකයි. මෙච්චර දුර හමුදා තියාගෙන ඉන්නවට වඩා අහිමි වූ යුරෝපය නැවත අත්පත්කර ගන්නේ කොහොමද කියලා ඔවුන් සිතුවා. ආර්ථික අර්බුදය තමයි ප්‍රශ්නය. හැබැයි මේ අය ඒකට උත්තර හොයන්නේ ඉහළ මාලයේ කුමන්ත්‍රණවලින්. අයිය – මල්ලිට විරුද්ධව… මල්ලි – අයියට විරුද්ධව… මේ පැලැස්තරවලින් අර්බුදය විසඳන්න බෑ.

* සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට ජනාධිපතිවරයා සමඟ හවුල්කාර කණ්ඩායම් මේ අතරේ සාකච්ඡාවක් යනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ? 

මේ සියලු දේශපාලන කණ්ඩායම්වලට විවිධ දේශපාලන අරමුණු තිබෙනවා. සම්මත විපක්ෂයවත් නැති එකක් තමයි මේ හදන්නේ. තමන්ට රැඳී සිටින්න පුළුවන් ජනාධිපතිගේ බලයත් එක්ක බව ඔවුන් දන්නවා. ආණ්ඩුවෙන් එළියට බැහැල කියපු කතාවලට අනුව නම් විශ්වාසභංගයේදී ඒ අය ලොකු අමාරුවක වැටෙනවා. ඒ අය එළිදරව් වෙනවා. මෙවැනි දේ තව තව ඉස්සරහට සිදුවේවි. ගෝඨා ගෝ කියා ජන මතයක් තිබෙන නිසා අපි කොහොමද ඒකෙ ඇමැතිකම් ගන්නේ යැයි සමගි ජන බලවේගය කියනවා.  ජ.වි.පෙ. කියන්නෙත් ඒකමයි. අපි අහන්නේ ඊටපස්සෙ ගෝඨා අයින් වෙනවාද? ස.ජ.බ. මැතිවරණයකින් දිනුවත් ආණ්ඩුව හදන්න වෙන්නේ මේ ජනාධිපති යටතේ.

* සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ නැත්නම් ඔබ යෝජනා කරන පිළිතුරක් ඇතිනේ. ඒ මොකක්ද?

ආණ්ඩුව දුර්වල වුණා, අඩි ගණනක් පස්සට ගත්තා, කැබිනට්ටුව විසිරෙව්වා ආදී නාටකීය ජවනිකා ගොඩක් සිදුවුණා. හේතුව ජනතා බලයට මේ අය බයයි. ඊට ප්‍රතිචාර තිබෙනවා. ජන අරගලවලින් නායකයන් බලයෙන් පහකළ අවස්ථා තිබෙනවා. අරගලයේ තිබෙන මේ විභවය රටට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා ජයග්‍රහණ සඳහා පාවිච්චි කරන්නෙ කෙසේද කියා වගකිවයුතු පුරවැසියන් කල්පනා කළ යුතුයි. ජනාධිපති වෙනස් කරන්න ඕනෑ නම් මහ මැතිවරණයක් ඉල්ලන්නේ, එහෙම නම් ජනමත විචාරණයක් ඉල්ලන්නකෝ. ඒක නොකරන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න කිව්වට මේ හැමෝම ඒකට කෙළ හල හල ඉන්නේ. විසි එක, නයින්ටීන් ප්ලස් කිය කියා හදන්නේ ඒකට. අපි කියන්නේ පුටුව අයින් කරන්න කියලයි. එනිසා අපි අභියෝග කරනවා පුළුවන් නම් ජනමත විචාරණයක් කැඳවන්න කියල.

* ආර්ථික කඩාවැටීමට මුල හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් හා පී.බී. ජයසුන්දර වැනි පිරිස් යැයි ආණ්ඩුවේම මැති ඇමැතිවරු දැන් කියනවා. මේ චෝදනා සමඟ ඔබ එකඟ ද?

මේ ඛේදවාචී තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට කිසිම දෙගිඩියාවක් නෑ. ගජමිතුරන්ට ලාභ ගන්න හදපු ව්‍යාපෘති, වංචා දූෂණ ආදී හේතු ගොඩක් තිබෙන අතරේ මේ ආපු ගමනේ ප්‍රශ්නයක් තිබෙනවා. පැවැති ආණ්ඩු සියල්ල ඊට වගකිවයුතුයි. එය තීව්‍ර කළ පිරිස් නිසා වත්මන් පාලන තන්ත්‍රය දැඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහෙම තද ප්‍රහාරයක් එල්ල වුණාම සාමාන්‍යයෙන් වෙන්නේ පරාජයට පීතෘවරු හොයන එක. එතකොට ඒකට බැසිල්, ගෝඨාභය හා කබ්රාල් ආදීන් ඉන්නවා. හරියට ඒ කැබිනට්වල හිටියේ නෑ වගේ දැන් සමහරු කතා කරනවා. අපි ඒකට කොහොමත් ඉඩදෙන්න හොඳ නෑ. ඒවා හරිම දුර්වල ප්‍රකාශ. අනෙක් අතට මේ ජනතාව ඉදිරියේ නාහෙන් ඇ¾ඩිල්ල බොරුවක්. ඒකට මේ හැමෝම වගකියන්න ඕනෑ. මේ රට රාජපක්ෂකරණයට මුල් වූ සියලු දෙනා ඊට වගකිව යුතුයි.   –

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමා වී හෝ යෑම එකම සරණ යැයි ආණ්ඩුවේම නායකයන් පිළිගන්නවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දර්ශනයට අනුව මේ විසඳුම පිළිගන්නවාද?

මේකෙ පැති දෙකක් තිබෙනවා. අයි.එම්.එෆ් හැර වෙන සරණක් නෑ කියල මහජන මතයක් හැදුවා. අලුත් මහ බැංකු අධිපති නන්දලාල් මහත්තයත් ආණ්ඩුවේ පහුගිය තීන්දු විවේචනය කරමින් අයි.එම්.එෆ්. එකම පිහිට යැයි කියනවා. ජනාධිපතිවරයාත් එය තමා අතින් වූ වැරැද්දක් යැයි ස්වයං විවේචනයකුත් කළා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට වෙන් කරන මුදල් සීමා කිරීම, විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ ආහාර භෝග වගාව, කාර්මික බෝග වගාවට මාරුකර වෙළෙඳ භාණ්ඩයක් කිරීමට දරන උත්සාහය ඇතුළු වෙළෙඳපොළ ධනවාදයට රට දියකිරීම අයි.එම්.එෆ්. යෝජනා තුළ දියත් වෙනවා. එහිදී ඇති නැති පරතරය තවත් වැඩි කර ධන කුවේරයන්ගේ ලාභය තවත් ඉහළ දමන මාදිලියකට තමයි ආර්ථිකය යන්නේ යැයි අපි පැහැදිලිව කියනවා. ඉතින් අයි.එම්.එෆ්. කොන්දේසිවලට මහජනතාව වෙන්දේසි කරන තත්ත්වයට මේ අර්බුදය පාවිච්චි කිරීම මේ අරගලය තුළ මතුකළ යුතුයි.

* විසඳුම ගැනත් කතා කළොත්?

ලෝකයෙන් හුදෙකලා වූ දූපතක වගේ ආර්ථිකයක් පවත්වාගෙන යන්නැයි අපි කියන්නේ නෑ. මේක ක්‍රමානුකූලව 2023නුත් එහාට යනවා. මාසෙන් දෙකෙන් විස‍ෙඳන්නේ නෑ. එනිසා අපිට අනිවාර්යයෙන් රට ඇතුළේ විකල්ප ආර්ථික ක්‍රම ගැන හිතන්න වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය හා ආර්ථිකය තුළ පරිභෝජනය සම්බන්ධයෙන් හදලා තිබෙන විවිධ මිථ්‍යා ගැන අපට හිතන්න වෙනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ කණ්ඩායමක් සමඟ මේ දිනවල අපි සාකච්ඡා කරනවා.   

* පුළුවන් නම් පාලනය අරගෙන රට ගොඩ දාන්න වැනි දේශපාලන යෝජනා සමගි ජන බලවේගයට වගේම ජාතික ජන බලවේගයටත් ඉදිරිපත් වෙනවා අපි දුටුවා. පෙරටුගාමීන්ටත් එවැනි යෝජනාවක් කළොත් මොකද්ද වහාම ගන්න පියවර? 

අපිත් සම්බන්ධ වී ගොඩනඟපු බහුජන ව්‍යාපාරය තමයි ජන අරගල ව්‍යාපාරය. එහි ප්‍රධාන යෝජනාවක් වන්නේ ජනබල සභා ශක්තිමත් කිරීමයි. එහෙම නැත්තන් පීපල්ස් කවුන්සිල්ස්. පාර්ලිමේන්තුවෙන් එළියේ ආපු මේ ජන බලය සංවිධානාත්මක බලයක් බවට පත්වෙන්න ඕනෑ. මේක උද්ඝෝෂණ පෙරමුණක් සේ මේ විධියටම සදාකාලිකව පවතින්නේ නෑ. එහෙත් එය තමන් ජීවත් වන ගම, නගරය, ගොවිබිම්, ධීවර ගම් මුල් කරගෙන සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍ර මුල්කරගෙන ගොඩනැඟිය හැකියි.

බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක්. සියලු පක්ෂවලට සම්බන්ධ පිරිස් එහි සිටිය හැකියි. එතැන න්‍යායපත්‍රය වෙන්නේ අදාළ ජන කොටසේ මූලික ප්‍රශ්න. ඇඟලුම් කම්හලේ ප්‍රශ්නය. විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නය. එතකොට පක්ෂ දේශපාලන න්‍යායපත්‍රයක් අරගෙන එතැනට එන්න බෑ. මැතිවරණවලදී විවිධ පක්ෂවලට ඡන්දය දෙන අයටත් මේ ජනතා කවුන්සිලයේදී පොදු න්‍යායපත්‍රයකට වැඩ කරන්න පුළුවන්. මේකට පළමු පියවර යැයි කියන්නේ විශේෂ අර්ථයකින්. එතකොට මොන මාලිගා, පාර්ලිමේන්තු කුමන්ත්‍රණ කළත් මේ ව්‍යුහයට වග නොකියා සිටින්න දේශපාලකයන්ට බෑ.

* එතැනදී ආර්ථිකයේ සිදුකළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන දෙන්නේ මොන වගේ අවධානයක්ද?

බදු ක්‍රමය වෙනස් කළ යුතුයි. දැන් සෘජු බදු සියයට 15යි. වක්‍ර බදු සියයට 85යි. ඇයි මේක අනෙක් පැත්තට පෙරළන්න බැරි? ලොකු ධන කුවේරයෝ මන්‍ෙදා්ත්සාහී වෙනවා කියල ලාභ කඳු ගොඩගහන ක්‍රමයනෙ ඒ අය ගෙනියන්නේ. අපේ යෝජනාවේදී ගොවියාට සහතික වී මිල තීරණය කරන්න ගොවිජන කවුන්සිලවලට හැකියාව තිබෙන්න ඕනෑ. එතකොට ඩඩ්ලි සිරිසේන දවසකට හම්බ කරන ලක්ෂ දෙසීය සීයට අඩුවෙයි. මෙයාලා දැන් අහනවනෙ ණය ගෙවන්නේ ඩොලර් හොයන්නෙ කොහොමද කියල. ඉතින් ගෙනාපු ණයවලින් හම්බකළේ කවුද කියලත් අපි අහන්න එපැයි. කොවිඩ් කාලයේ ඉතිහාසයේ වැඩිම ලාභය හෙව්වේ සමාගම් කීපයක්. දේශපාලකයන් වගේම ගජ මිතුරු සමාගම් විශාල ලාභ ලැබුවා. එහෙම නම් ණය ගෙවන්න ඕනෑ ඒ ගොල්ලෝ.

ඔවුන්ගෙන් විශේෂ බද්දක් අය කර ජනතාවට සහන දිය යුතුයි. ජන සහභාගී ආර්ථිකය කියන අදහස මේ කවුන්සිලවල තිබෙනවා. එතකොට පාර්ලිමේන්තුව තිබෙන අතරේම ජනතා කවුන්සිලය හරහා ජන බලය අභ්‍යාස වෙනවා. ඡන්දය දීලා පැත්තකට වෙලා එයාලා කියන විධියට බදුයි, දඩයි ගෙවාගෙන ඉන්නවා වෙනුවට අපි බලය නොගෙන ඉන්නෙ. දෙවැනියට ජනතාවට එරෙහි ක්‍රියාමාර්ගවලදී ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් හැටියටත් මෙය යොදාගන්න පුළුවන්. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළට දාන්න කියල අපි කියන්නේ නෑ. මේක ව්‍යවස්ථාවෙන් එළියෙ තියෙන්න ඕනෑ.

* ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ මොන වගේ වෙන්න ඕනෑ කියලද හිතන්නේ?

නැවත කැඳවීම හෙවත් රයිට් ටු රිකෝල් උපක්‍රමය අපට භාවිත කළ හැකියි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කළ හැකියි. ඒ කියන්නේ තමන්ගෙ ආසනයේ මන්ත්‍රිවරයා ජනතාවට වගකියන්නේ නැත්නම් මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීම.

* සමාජවාදය ගැන පැවැති සාම්ප්‍රදායික අදහසින් වෙනස් අදහස් ඇමෙරිකාවේ පවා නිර්මාණය වී තිබෙනවා. පන්තියට පක්ෂයක් කියල ආරම්භ කළ පෙරටුගාමී පක්ෂයට මේ ජන අරගලයේ නියමු කාර්යක් තිබෙනවාද?

ඔව්. ලෝකයේ අර්බුදය එක්ක කාල් මාක්ස්ගේ ප්‍රාග් ධනයේ තිබෙන්නේ මොනවාද කියා යළි කියවා ගැනීමක් මතුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අයි.එම්.එෆ්. ණය කොන්දේසිවලට යට වූ රටවල් අතර සන්ධානයක් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගොඩනැඟිය යුතුයි. ඒක අපේ ප්‍රධාන යෝජනාවක්. සාමාන්‍යයෙන් අපේ රටවල පහුගිය කාලේ මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තිය දේශපාලනයට ජාතිවාදය පාවිච්චි කළා. හැබැයි දැන් ගාලුමුව‍ෙදාර ඒ ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් විවිධ සංස්කෘති එකට වැඩ කරන තත්ත්වයක් නිර්මාණය වෙලා. විවිධත්වයන් සහිතවත් තනි සටන් පාඨයකට එන්නෙ කොහොමද කියල අතීත පරම්පරාවලටත් ඉගෙනගන්න මෙතැනින් පුළුවන්. අරගලය මෙතැනට හුදෙකලා වෙන්න දෙන්න බෑ. රාජ්‍ය, පෞද්ගලික අවිධිමත් අංශවල වගේම ගොවි කම්කරු බලයත් ජාතික වශයෙන් පීඩාවට පත්ව සිටින උතුරු නැඟෙනහිර ජනයාත් මෙතැනට සම්බන්ධ කළ යුතුයි.  

* හොඳයි. ගෝඨා ගෝ හෝම් නොවී ආණ්ඩුවක් හැදුවොත් කුමක් වේවිද? 

එහි පැවැත්ම ඉතාම දුර්වලයි. මොකද ආණ්ඩුවේ පැවැත්ම දුබල වුණේ ගැඹුරුතම ආර්ථික අර්බුදයක් නිසා. ඒක විසඳන්න මොවුන්ට බෑ. රට බංකොලොත් කියන්න සතියකට කලිනුත් අපි බංකොලොත් නෑ කිව්ව පාලකයොනෙ. ලෙබනන්වලට වුණ දේ තමයි ලංකාවටත් වෙන්න නියමිත. මෙහි ඉතාම නරක පැත්තක් තිබෙනවා. ඒ තමයි සාගිනි තත්ත්වය වර්ධනය වුණොත් ඒක පාලනය කළ නොහැකි තැනකට තල්ලු විය හැකියි. ඒ වගේම ඒක පාලකයන් මර්දනයට පාවිච්චි කරන්නත් පුළුවන්. තාමත් පාලකයන් බලන්නෙ පැවැත්මනෙ. හැබැයි තව ටික දවසකින් කොහොමද එක්සිට් රූට් එකක් හදාගන්නෙ කියලා බලාවි. තමන්ට හානියක් නොවී පාලනේ භාරදීලා පැනගන්නේ කොහොමද කියල බලාවි. පරාජය වෙන හමුදාවකටත් යන්න පාරක් හදන්න ඕනෑය මේ අයත් බිත්තියට හේත්තු නොකර යන්න දෙන්න කියල රනිල් වික්‍රමසිංහ මහත්තයත් කියල තිබුණනෙ. මේ දිනවල අපි පාලකයන්ගෙන් දකින්නේ ඒ පරාජයේ අඳෝනාවයි.

* විපක්ෂ නායකත්වයත් ඒ විධියටම විවේචනයට ලක්වෙනවා නේද?

ඔහු මේකට අත තියන්න බයයි. මොකද මේක කරගන්න බෑ කියල ඔහු දන්න නිසා. තෙල් දෙන්න තමන්ට රටවල් තුනක් ඉන්නවය කියල එයා මාසෙකට කලින් මස්පිඬු පෙන්නලා කිව්වනෙ. කෝ දැන් ඒවා කියනවද? ඒ තෙල් ටික දැන් එයාට අරන්දෙන්න පුළුවන්නෙ. මේ ඔක්කොම දේශපාලන සෙප්පඩවිජ්ජා. මේකට පිළිතුරු හදාගන්න හැකි ජන අරගලය තුළින්මයි.

* ඒත් විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා කියන්නේ සටන් පාඨ කිය කියාම හිටියොත් ඒක බොරු අරගලයක් වෙනවා කියලයි. ගාලුමුව‍ෙදාරට ඔබලා දෙන යෝජනාව මොකක්ද? 

වැස්ස ආවාම ඕක නතර වෙයි කියලත් සමහරු කිව්වනෙ. අවුරුද්දට නතර වෙයි කිව්වා. හැබැයි දැන් මාසයකට ආසන්න වෙලත් ඒක නතර වෙලා නෑනෙ. ඔවුන්ගේ පුරෝකථන බොරු වෙලා. මෙහි ගතිකත්වයන් මේ අයට තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ අය පරණ අච්චුවෙන්ම ඒ දිහා බලනවා. සමහර තරුණ තරුණියන් රැකියාවලින් අස්වෙලා ඇවිත් මෙතැන ඉන්නෙ. තමන්ගෙ විතරක් රස්සාව බේරගෙන ඉන්න පුළුවන් යැයි කවුරු හරි හිතනවා නම් මේක එහෙම තත්ත්වයක් නෙවෙයි.

මේක අලුත් තත්ත්වයක්. මෙය පරිස්සමින් අධ්‍යයනය කළ යුතුයි. මේ අරගලයෙන් අපට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. සදා නිම කළ සූත්‍ර මොඩෙල්ස් අපි ළඟ නෑ. අපිත් අරගල භූමියට ගිහින් ඔවුන්ගෙන් මේ දේවල් ඉගෙනගන්නේ. රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට අපි කියන්නේ මේ අරගලය තනි කරන්නෙපා. ගොවි ජනයාගේ සටනෙන් තමයි මේ අරගලයට පළමු ගිනි පුළිඟු විසි වුණේ. සියලු ජන කොටස් අත්වැල් බැඳ ගැනීම තුළ තමයි මේ අරගලය ශක්තිමත්, කල්පවතින අරගලයක් කළ හැක්කේ. දැන් මේ අරගලයේ දිශාව අපි ගෝඨා ගෝ කියන තැනින් විධායක ක්‍රමයම අහෝසි කරන තැනට ගෙන යා යුතුයි. 

* ණය සහනය කඩිනම් කරන්නැයි මූල්‍ය අරමුදලට කියමින් මැදි ආදායම් තත්ත්වයෙන් පහළට දමා ණය ගැනීමට අවස්ථාව දෙන්නැයි ලෝකයෙන් ඉල්ලමින් ඉන්දීය මුදල් ඇමැතිවරිය විශාල මැදිහත්වීමක් කරන බව පේනවා. ණය සහන ඇතුළුව කරන මේ ඉන්දීය මැදිහත්වීම් සමඟ ඔය උපකල්පන වෙනස් වෙන්න බැරිද?

භූගෝලීය සමීපත්වය හා යුද බලය හරහා ලංකාවට බලපෑම් කළ ඉතිහාසයක් ඉන්දියාවට තිබෙන්නේ. උතුරු නැඟෙනහිර හා වතුකරයේ ප්‍රභූ දේශපාලකයා සිය ග්‍රහණයට ගනිමින් සිය අරමුණු වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මකයි. ලංකාව ඉන්දියාවට ලොකු වෙළෙඳපොළක් වගේම චීනය හා ගැටුමේදී තීරණාත්මක තැනක්. චීන, පාකිස්තාන උදවු සමඟ අවි බලය වැඩිවීම 2009දී යුද්ධයට තීරණාත්මකව බලපෑවා. රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නංවන්නට කළ මැදිහත්වීම් සමඟ චීනයත් වරාය නගරය ආදී ව්‍යාපෘති හරහා තහවුරු වුණා.

ඉන්දියාව මේ ගැන කනස්සල්ලෙන් හිටියේ. රාජපක්ෂලා හිතුවෙ මේ වෙලාවෙ චීනය ඇවිල්ලා මේක ගොඩදාලා දෙයි කියලා. හැබැයි ඒක වුණේ නෑ. මොකද චීනයට රාජපක්ෂලා එක්ක ලේ ඥාතිකමක් නෑ. වරාය නගරය, හම්බන්තොට වරාය රාජපක්ෂ පාලනයෙන් ආරම්භ කළාට ස්ථාවර කරගත්තේ මෛත්‍රි රනිල් පාලනයෙන්. ඔවුන්ට ආණ්ඩු වෙනස වැදගත් නෑ. ඒ අවස්ථාව තමයි මේ ඉන්දියාව ගන්නේ. ඉන්දීය ඩොලර්වලින් තෙල් අරන් දිව්වට මේ අර්බුදය නිර්මාණයට ඔවුන් සවිඥානිකව දායක වී ඇති බව අපට පේනවා. රටේ බලශක්තියටනෙ අපි හානිකරගෙන යන්නෙ. අයි.ඕ.සී. සමාගම හරහා ඒක තහවුරුයි දැන්. 

සංවාද සටහන – බිඟුන් මේනක ගමගේ

ඡායා – අමිත තෙන්නකෝන්