සමාවෙන්න, ඔබට කිසිදු පෞද්ගලිකත්වයක් නැත බුද්ධි අංශවල ඇත්ත හෙළිකළ WikiLeaks මෙහෙයුම

0
352

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. ඒක මානව අයිතියක්ද වෙනවා. පොදු අවකාශයේ ඉතා ප්‍රකට කලාකරුවන්, ක්‍රීඩකයන් හා දේශපාලකයන්ටද මේ අයිතිය තිබෙන්න ඕන. එය තම කැමැත්තෙන්ම පසෙකලීම පුද්ගලයා අනුව සිදුවෙනවා. නමුත් එසේ නොකරනතුරු රටේ පාලක පක්ෂයට හෝ වෙනත් පිරිසකට පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම අයිතියක් නෑ.

නූතනයේ බහුතරයක් ජනතාව, අඩුම තරමේ දිනකට කුඩා වේලාවක් හෝ පුවත්පත් මාධ්‍ය, රූපවාහිනි හෝ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙනවා. එකී අවශ්‍යතාවන් ආණ්ඩු විසින් අනවශ්‍ය සහ නොමනා ලෙස උල්ලංඝනය කරනු ලබමින් දූෂණය කරනු ලබමින් පවතින යුගයක් බිහි වෙමින් තිබෙනවාද? එකී ගැටලුවලට පිළිතුරු විවිධාකාරයෙන් පසුගිය කාලයේද මතු වුණා.

මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මේ මොහොත වනවිට මිනිසුන්ට නොහැගෙන ආකාරයෙන් අනතුරේ හෙළමින් තිබෙනවා. අප ජීවත් වන ආකාරය තීරණය වන්නේ ප්‍රතිපත්තිමය ලියකියවිලිවලට හෝ වෙනත් අධිරාජ්‍යවාදී බලයක් විසින්ද? සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් – පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නෑ. ඒ වගේම රාජ්‍යයට හෝ එලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක්රැස් කරන්නට සදාචාරමය අයිතියක් නෑ. රාජ්‍යයන් වෙනත් රාජ්‍යවල තොරතුරුවලට පිවිසීම පෙර කියූ කරුණු සියල්ලටත් වඩා බරපතළ කාරණයක්.

රුසියන් හා යුක්රේන අර්බුදය මැදද මෙම ක්‍රියාකාරම් දක්නට ලැබුණා. පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියාවට එරෙහිව සිදුකරන සයිබර් යුද්ධයක් පිළිබඳව. රුසියාවේ තත්ත්වයද මීට සමානයි. ඔවුන්ද ඇමෙරිකාව වෙත එල්ල කරන සයිබර් ප්‍රහාර අතිශය දරුණු තත්ත්වයක තියෙනවා. චීනයද ඔවුන්ගේ සයිබර් ආක්‍රමණය වෙනස්ම ආකාරයකින් රටවල ක්‍රියාත්මක වෙනවා. Huawei සමාගම ඇමෙරිකාව තුළ අඩපණ කිරීම හා Redmi ජංගම දුරකථනවල පවතින ආරක්ෂිත ගැටලු මීට උදාහරණ විධියට ගන්න පුළුවන්.

පසුගිය කාලයේ වැදගත් වූ චරිත අතර ජූලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් වැන්නන් ලොවට හෙළි කරන ලද රහස් අතිශය වැදගත් වන්නේ මේ නිසා. අද වෙනකොට එම උණුසුම අඩු වුවත් රාජ්‍ය මඟින් විද්‍යුත් මෙවලම් භාවිතයෙන් කෙරෙන ඔත්තු බැලීම් අවසානයක් වෙලා නෑ. අසාන්ජ් සහ ස්නෝඩන් වැන්නන් ජනතාව අතර වීරයන් වන්නේ මෙම හෙළි කිරීම් නිසා. ජූලියන් අසාන්ජ් විසින් ඇමෙරිකාව ලෝකය පුරා රටවල ඔත්තු බැලූ අයුරු සහ ඔවුන් විසින් අනෙක් රටවල ක්‍රියාකාරකම් පිළිබඳ සොයා ගන්නා ලද රහසිගත තොරතුරු හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවියේ හිමිකරුවා සහ නිර්මාපකයා වෙනවා. ඔහු විකිලීක්ස් හරහා ලෝකයේ රටවල් බොහොමයක බුද්ධි අංශවල සහ පාලකයන්ගේ අඳුරු ක්‍රියාද හෙළි කිරීමට පියවර ගත්තා විතරක් නෙමෙයි, ඒ නිසා රටවල් බොහොමයක් අපකීර්තියට පත් වුණා. ඒවා අතර අර්බුද පවා හට ගැනුණා.

මාධ්‍ය සංවිධාන හා රජයන් විසින් අසාන්ජ් මාධ්‍යවේදියෙක් ලෙස පිළිගන්න පවා මැළි වුණා. අසාන්ජ් විසින් මාධ්‍යකරණය සම්බන්ධයෙන් නව ප්‍රවණතාවක් හඳුන්වා දුන්නා. මාධ්‍යකරණය තුළ විනිවිදශීලී සහ විද්‍යාත්මක ප්‍රවේශයක් අසාන්ජ් නිර්මාණය කළා. මාධ්‍ය අරගලයක් ගෙනගිය අසාන්ජ් විකිලීක්ස් නම් තමන්ගේ අවකාශය තුළ ඒ වීරකම විදහා පෑවා. ඔහු පොදු සමාජයක් වෙනුවෙන් පෙනී සිටියා. අද වෙනකොට ඔහු ඉලක්කයක් වෙලා තියෙන්නේ එම පොදු සමාජය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රතිඵලයක් විධියට. 2008දී සිදු කරනු ලබන ගුවන්තනාමෝ බේ සිර කඳවුරේ සිද්ධි වාර්තාකරණයක් හා 2007 ජූලි 12 වැනිදා සිදු කරනු ලැබූ බැග්ඩෑඩ්  ගුවන් ප්‍රහාර වීඩියෝ පටය හරහා එය ඇරඹුණේ. වරක් ප්‍රංශයේ ලා මොන්ඬේ පුවත්පත විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙස නම් කළා.

අද ලෝකයේ පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ බිහි වූ සංවේදී මිනිසකු ලෙස ඔහු හැඳින්විය හැකිය. පටු අරමුණු හෝ ලාභ අපේක්ෂාවෙන් තම මාධ්‍යකරණය පාවා නොදුන් මිනිසෙක්. මාධ්‍ය සම්මාන, ඇගයීම් ඔහුගේ මාධ්‍ය භාවිතාවේ ඉතිහාසය හොයනකොට ලැබෙන්නේ නෑ. ලැප්ටොප් පරිගණකයයි, ඩොන්ගලය මානාගෙන ඔහු වෙබ් අවකාශය තොරතුරු දඩයම සඳහා උපයෝගි කර ගන්නවා. මේ වෙනකොට සත්‍ය හෙළිදරව් කිරීමේ වරදට අවුරුදු කීපයක ඉඳල ඔහුට ඉක්ව‍ෙදා්ර තානාපති කාර්යාලයේ රැඳී සිටීමට සිදුවෙලා තියෙනවා.

ස්නෝඩන්ගේ භූමිකාව මීට සුළු වශයෙන් වෙනස් වෙනව. 1983දී උපන් එඩ්වඩ් ජෝෂප් ස්නෝඩන්, පද්ධති පරිපාලකයකු ලෙස එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියට හා මධ්‍යම රහස් තොරතුරු ඒජන්සියට සේවය කරනවා. එඩ්වඩ් ස්නෝඩන් ඇමෙරිකානු පාලන අධිකාරියේ පළමු පෙළේ හතුරකු වෙලා තියෙන්නේ, 2013 ගිම්හානයේදී NS NSA National Security Agency හා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ඔත්තු සේවා වැඩසටහන් පිළිබඳ රහස් දත්ත නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමඟයි. 2014 මැයි භී අධ්‍යක්ෂගේ අදහස් දැක්වීමකට අනුව ස්නෝඩන් ආණ්ඩුවේ රහස් ලියවිලි මිලියනයකට වඩා බාගෙන තියෙනවා.

ඇමෙරිකානු පාලන අධිකාරිය විසින් පවත්වාගෙන ගිය දැවැන්ත ඔත්තු බැලීමේ හා සාපරාධී සෝදිසි ව්‍යාපාර හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලය විධියට ස්නෝඩන්ට අප්‍රමාණ මරණ තර්ජන හා මඩගැසීම්වලට මුහුණ දීමට සිදු වුණා.

ඔහු නියෝජනය කරන්නේ තාක්‍ෂණික පුහුණුව මනා ලෙස උගත් තරුණ කම්කරු පරම්පරාව. මොස්කව්වල ඔහුට තාවකාලික වීසා ලැබෙන්නේ, ඇමෙරිකාව ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමෙන් පස්සේ. ඔහු දේශපාලන රැකවරණය පතා ඉක්ව‍ෙදා්රයට යන්න කරන උත්සාහය නිෂ්ඵල වෙනව.

ඔත්තු බැලීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. චන්ද්‍රිකා, ඩ්‍රෝන, අන්තර්ජාලය, ජංගම දුරකථන, පරිගණක ප්‍රධානයි. ඒවායින් තොරතුරු ලබාගෙන සියලුම ඔත්තු සේවා හා ආරක්ෂක සේවාවලට බෙදාහරිනවා. මෙම ඔත්තු බැලීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය නෛතික ආවරණ 2001 ත්‍රස්ත ප්‍රහාරවලින් පස්සෙ බුෂ් රජය විසින් පනත් සම්මත කර ලබාගන්නවා. එම පනත්වලට අනුව ඇමෙරිකානු සමාගම් ඇමෙරිකානු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට බැඳී ඉන්නවා.

ඒක තමයි මේකෙ තියෙන දරුණුම කෑල්ල. ඒ කියන්නෙ ගූගල්, යාහු, ෆේස්බුක් සමාගම් බැඳිලා ඉන්නවා අපේ තොරතුරු ටික කියන පරක්කුවට ආරක්ෂක අංශයට දෙන්න. අවුරුදු කිහිපයකට කලින්ම මාධ්‍ය වාර්තාවක එවකට දැක්වුණා යාහූ සමාගමේ ඊ-මේල් සේවයේ තම සේවාදායකයන්ගේ ගිණුම් ආරක්ෂක අංශ සඳහා නිරාවරණය වෙලා තියෙනවා කියලා. ස්නෝඩන් හා වෙනත් පිරිස් හෙළි කළ තොරතුරුවලට අනුව ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි සමාගම්වල පරිගණක සර්වර්වලට කෙළින්ම ඇතුළු වී අවශ්‍ය තොරතුරු කිසිදු පූර්ව අනුමැතියකින් තොරවම ලබාගත්ත බව හෙළිවෙලා තියෙනව.

ඔත්තු සේවාවන්වල ඇති විශේෂිත මෘදුකාංග (ප්‍රිස්ම්) උපයෝගී කර ගනිමින් එම සමාගම්වල සර්වර් තුළට පිවිසී ඕනෑම රහසිගත දත්තයක් ලබාගත හැකි අයුරින් සකස් කරලා තියෙනවා. එම රහස් පිවිසුම් එම සමාගම් විසින් සිය කැමැත්තෙන්ම (නීතියට අවනත වීම) සකස් කොට දී ඇති බවද හෙළි වෙනවා. එපමණක් නොවෙයි එම බුද්ධි තොරතුරු අවශ්‍ය පුද්ගලයන්ගේ සියලුම අන්තර්ජාල ක්‍රියාකාරකම්, හුවමාරු කරගන්නා තොරතුරු, ගොනු, දුරකථන පණිවුඩ හා වීඩියෝ සංවාද යනාදී සියල්ල දත්ත ගබඩාවල ගබඩා කරගන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයෙත් මේ දේ සිදුවුණා වගේම නව ඇමෙරිකානු ජනාධිපති බයිඩන්ගේද මෙම ප්‍රතිපත්තියේ ඒ හැටි වෙනසක් පෙනෙන්නට නෑ.

හිටපු CIA සාමාජික එඩ්වඩ් ස්නෝඩන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් කියා තිබුණේ, ඔහුගේ සටන මේ වනවිටත් ජයග්‍රහණය කර තියෙනවා කියලා. නමුත් තමන් තවත් ඉදිරියට යා යුතු බවත් ඔහු පවසා තිබෙනවා. 38 හැවිරිදි වියේ පසුවන එව  ස්නෝඩන් දේශපාලන රැකවරණ ලබාගෙන මේ වෙනකොට රුසියාවේ ජීවත් වෙනවා.

බලවත් රටවල්වල ආණ්ඩු තමන්ට කිසිසේත් අයිති නැති බලයක් තමන් වෙතම ප්‍රදානය කරගෙන තියෙනවා. ඒක ඉතාම බරපතළ තත්ත්වයන් කරා ජනතාව ගෙන යෑමක්. එහි කිසිදු පොදු, මහජන පාලනයක් නෑ. පෞද්ගලිකත්වය වනසාගෙන අන්තර්ජාල නිදහසද, මූලික මිනිස් නිදහසද වනසමින් තනනු ලබන ක්‍රමය හෘද සාක්ෂියක් ඇති මිනිසකු හට කිසි විටෙකත් අනුමත කළ නොහැකියි. ඔබගේ මුදල් වැය කර තත්ත්වය සඳහා හෝ වෙනත් අවශ්‍යතා සඳහා ගන්නා දුරකථනය, පරිගණකය, ටැබ් එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට එබී බලන්නට තවත් කෙනකුට හැකියාවක් තියෙනව නම් ඒ උපකරණයට ආසවෙලා ඔබ කරන්නේ කුමක්ද?

ඔබට හොරෙන් ඔබේ හා ඔබේ බිරියගේ පවුලේ සාමාජිකයන්ගේ විස්තර පිට කෙනෙක් කිසිම මහන්සියකින් තොරව පරිගණකයක් ඉදිරිපිට දිගහරිනවා නම් එම තාක්ෂණය සහ එම ක්‍රමයෙන් ඇති පලය මොකක්ද? මානව සන්නිවේදන ක්‍රමය තුළ නොවිය යුතු හා ගමන් නොකළ යුතු දිශා සඳහා තල්ලු වෙමින් පවතින මෙම යුගය තුළ ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. එය එසේ නොවනවා නම් ඔවුන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඔබගේ රෙදි ගලවනවා නොඅනුමානයි.

තුෂාර දේශප්‍රිය