ශිෂ්‍යත්ව විභාගය සමත් කරවන දෙවිවරු සහ ජප පෑන්

0
919

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ගුරුවරුන්ද, මවුපියන්ද, සිසු දරුවන්ද අපමණ මහන්සියක් දරන්නේය. ඒ මහන්සියට අමතරව වඩා ඉහළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් විවිධ මිථ්‍යා විශ්වාසයන්හි පිහිටද අපේක්ෂාවෙන්, දරුවන් විවිධ අභිචාරී වතාවත්වලට මවුපියන් විසින්ද සමහර අවස්ථාවලදී ගුරුවරුන් විසින්ද යොමු කිරීම අද සාමාන්‍ය තත්ත්වයකි.

විවිධ බාර-හාර, බෝධි පූජා, යාතුකර්ම ආදියෙහි නියැළෙන්නේ විභාගය ආසන්නයේ පමණක් නොව සමහර විටෙක ප්‍රතිඵල නිකුත් වන තෙක්ම විය හැකිය. වරක් එක්තරා ගුරුවරියක් තම සිසු-සිසුවියන් හට උපදෙස්දී තිබුණේ එලෙස ප්‍රතිඵල නිකුත් වනතෙක්ම එවැනි වතාවත්වල නියැළෙන ලෙසයි. ඉන් ඇය දරුවන්හට දී ඇති පණිවුඩය නම්, හුදෙක් තම දක්ෂතාව මත ලැබෙන ලකුණු ප්‍රමාණය අභිභවා යෑමට නොපෙනෙන බලවේගයක උදවු ලබා ගන්නා ලෙසයි. ඇගේ විචාර බුද්ධිය කෙසේදයත්, විභාගය අවසන් වූ වහාම උත්තර පත්‍ර පරීක්ෂා කොට තමන්ට හිමි ලකුණු ඉතා කෙටි කලකින්ම විභාග දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන අතර එම ලකුණු මට්ටම “අද්භූත බලයකින්” ප්‍රතිඵල නිකුත් වන මොහොත වනවිට වාසිදායක ලෙස වෙනස් විය යුතුය.

මීට අමතරව රටම දන්නා එක්තරා ප්‍රකට පුද්ගලයෙක් විභාගයට පෙර සිසු-සිසුවියන්ට විභාගය හොඳින් සමත් වීමට ආශීර්වාදය ගෙනෙන  “ජප කරන ලද පෑන්” බෙදා දීමේ කටයුත්තක් සිදුකරනු ලබයි. එනයින් ඔහු ළමයින්හට අවිඥානිකව දී ඇති මඟ පෙන්වීම නම්, දක්ෂතාවයෙන් හා උත්සාහයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නා ශිෂ්‍යයා අභිභවා යෑමට තමන්ගේ ජීවම් කරන ලද පෑන්වල ආනුභාවය උපයෝගී කරගන්නා ලෙසයි. උප්පරවැට්ටියක් මඟින් ජයග්‍රහණයක් සොරා ගැනීම යහපත් දෙයක්ද? එය සිසු දරුවන්ට දිය යුතු ශිෂ්ට ආදර්ශයක් වේද යන්න ඔහු විසින්ම පැහැදිලි කළ යුතුවෙයි.

විභාගයට පෙරාතුව සමහර පාසල්වල නිල කටයුත්තක් වශයෙන්ම සිසු-දරුවන් බෝධි පූජා හෝ වෙනත් ආගමික පූජා කටයුතුවලට යොමු කිරීම් සංවිධානය කරනු ලබයි. අපගේ පාසල් අවධියේ නොතිබූ අලුත් මෝස්තරයකි මේ.

දැන් ගුරුවරුන් මෙන්ම සිසු දරුවන්ද තමන් ලද විභාග ප්‍රතිඵලය එසේ ලද ආශීර්වාදයේ මහිමයෙන් ලද එකක්ද එසේ නැත්නම් තම මහන්සියේ හා දක්ෂතාවයේ ප්‍රමාණයට ලද එකක්ද යන්න සමාලෝචනය කළ හැකිය. අඩුම තරමේ ඉන් යම් අතිරේක වාසියක් හෝ හිමිවීද යන්න පසු විපරමක් මතින් විමසා බැලිය හැකිය.

ජප කරන ලද පෑන් බෙදු රටම දන්නා පුද්ගලයාට (පාසල් ඉදිරිපිට තම පාසලේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ සිසු-සිසුවියන්ගේ ඡායාරූප හා ලකුණු ප්‍රමාණය ප්‍රදර්ශනය කරන පරිද්දෙන්) තම පෑනේ ආනුභාවයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දරුවන්ගේ ලේඛනය තම ප්‍රදේශයේවත් ප්‍රදර්ශනය කළ හැකිය.

ජයග්‍රාහී විභාග ප්‍රතිඵල ලබාදීමේ කර්තව්‍යය පමණක් නොව රටේ සමස්ත අධ්‍යාපනයේ යම් අර්බුදයක් වේ නම් ඒවාද මේ ආකාරයේ සරල හා පහසු ක්‍රමවේද මඟින් විසඳා ගැනීමට විසඳුම් යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ගෙන ආ හැකිය. ඒ මතුද නොව ආර්ථික ප්‍රශ්න ඇතුළු අනෙකුත් සමාජ-දේශපාලන ගැටලුද ඒ ආකාරයෙන් විසඳා ගැනීමේ ක්‍රමවේද අධ්‍යයනය කිරීමට ඉහළ මට්ටමේ කට්ටඩිවරුන්ගේ කවුන්සිලයක් පත්කිරීමටද එලෙසින්ම යෝජනා කළ හැකිය.

විටෙක අපි ලෝකයේ වඩාත් යහපත් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මහත් අනුරාගයෙන් කතා කරමු. කරුණු වනපොත් කිරීමේ පැරණි නීරස ක්‍රමවේදය වෙනුවට ළමයින්ගේ බුද්ධිමය කුසලතා ඔප්නංවන හා ගැටලු/අභියෝගවලට ප්‍රවේශ වන ආකාරය මත පදනම් වන අලුත් ක්‍රමවේදය වඩා යෝග්‍ය බව සාකච්ඡා කරමු. එහෙත් ඊට පටහැනිව සිටින තැනිනුත් පල්ලම් බහින ආත්මාර්ථකාමී විභාග අභිලාෂයන් වෙනුවෙන් සිසු දරුවන් මිථ්‍යාවන් පසුපස මෙහෙයවන පසුගාමිත්වය පෙරදාටත් වඩා සමාජය තුළ පැලපදියම් වෙමින් ඇත. ඊට ව්‍යාපාරික ජනමාධ්‍ය විසින් මෙන්ම දේශපාලඥයන් විසින්ද විශාල අනුග්‍රහයක් හා ප්‍රචාරයක් ලබා දෙයි.

ලෝකයේ නූතන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ අනාගත පරම්පරාව ගොඩනඟන දියුණු රටවල් ඒ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත්තේ හුදෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම වැනි වාණිජවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මතින් නොව නිර්මාණශීලීත්වය මොළවන ඉගැන්නුම් ප්‍රතිපත්ති මතිනි.

තාරක වරාපිටිය