රුසියාවේ ‘ලව් මැෂිම’  රස්පුටින් යක්‍ෂයෙක්ද, සාන්තුවරයෙක්ද?

0
1063

බොනියම් සංගීත කණ්ඩායමේ රස්පුටින් ගීතය කවුරුත් අහල ඇති. ඒකෙන් කියැවෙන්නේ රස්පුටින් පියතුමා ගැන. අධික කාමුක ඒ වගේම මායාකාරී පුද්ගලයෙක් හැටියට තම‍යි බොහෝ දෙනා රස්පුටින් පියතුමාව හඳුනන්නේ. ඔහුව රුසියාවේ ආදර යන්ත්‍රය එහෙම නැත්නම් ‘Love Machine’ කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. රස්පුටින් උපදින්නේ 1869 ජනවාරි 21. සයිබීරියාවේ ටොබොල්ස්ක් ප්‍රදේශයේ ප්‍රොකොව්ස්කෝව් කියන ගම්මානේ. ඔහුගේ පියා ගොවියෙක්. ඒ වගේම රුසියානු ඕර්තඩොක්ස් පල්ලියට සම්බන්ධ කෙනෙක්.

රස්පුටින් කියන්නේ එනිග්මැටික් එහෙමත් නැත්නම් ප්‍රෙහේලිකාත්මක ඉතිහාසයකට අයත් තැනැත්තෙක්. ඔහුගේ ප්‍රසිද්ධිය නිසාවෙන්ම ඔහු පිළිබඳව මිථ්‍යාවන් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔහුගේ මේ ප්‍රබන්ධගත ජීවිත කතාව පිළිබඳව විමසා බලන විට යථාර්ථීය ලෝකයක විශ්වාස නොකළ හැකි කතාන්දර බොහෝමයකින් පිරිල තිබෙනවා. මීට අවුරුදු සිය ගණනකට පෙරත් මිනිස්සු ඒවා විශ්වාස කරපු විදිහටම, අදත් ඒවා විශ්වාස කරන මිනිස්සු ඕනෑ තරම් ලෝකේ සිටිනවා. මේ කතාවෙහි සත්‍යතාව පිළිබඳව අපි මඳක් විමසා බලමු.

රස්පුටින් රුසියානු අධිරාජිනියගේ පෙම්වතාද?

ඇලෙක්සැන්ඩ්‍රා අධිරාජිනිය සමඟ රස්පුටින්ගේ අනියම් සබඳතාවක් තිබුණා. මේ පිළිබඳ කටකතා අදටත් සත්‍ය ලෙස ඉදිරිපත් කරනවා. එවකට පැවැති රාජාණ්ඩු විරෝධී මාධ්‍ය, මෙම යුවළට වෛර කළා සේම  බොහෝ විට දරුණු විවේචන සහ ඔවුන් සිපගන්නා කාටූන් පවා පළ කරනවා. සුප්‍රසිද්ධ බොනියම් සංගීත කණ්ඩායම පවා මේ පිළිබඳව ගීතයක් ගායනා කරනවා. සැබැවින්ම රස්පුටින් රුසියානු රැජනගේ පෙම්වතා නොවේ. රස්පුටින් සහ ඇලෙක්සැන්ඩ්‍රාගේ සම්බන්ධය ප්ලැටෝනික ආලයක් මිස අන් කිසිවක් යැයි යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත. ඇයට අභියෝගාත්මක කාලයකදී රස්පුටින් ඇලෙක්සැන්ඩ්‍රාට ලබා දෙන්නේ ආධ්‍යාත්මික මිත්‍රත්වයක්. ඇලෙක්සැන්ඩ්‍රා වෙත එල්ල වූ සියලු විවේචන තිබියදීත් ඇය තම ස්වාමිපුරුෂයාට ආදරයෙන් සලකන, ගැඹුරු ලෙස ආගමිකව පක්ෂපාතී කාන්තාවක් ලෙසින් දිවි ගෙව්වේය. ඇය සමඟ ඔහු ලිපි පවා හුවමාරු කරගත් අතර රස්පුටින්ගේ සියලු රහස් අෑ දැන සිටි බවද පැවසෙනවා.

රස්පුටින් විකෘති ලිංගික ආශාවන් ඇත්තෙක්ද?

රස්පුටින් අධිකව නිදාගත්තෙකි. නිරන්තර ඉවසිල්ලෙන් හා අවබෝධයෙන් කටයුතු කළ ඔහුගේ බිරිය කීවේ රස්පුටින් යනු ලිංගිකත්වයේදී දඩබ්බරෙක් කියාය. ඔහුගේ බොහෝ අනුගාමිකයන් කාන්තාවන් විය.  එමෙන්ම ඔහු නිරන්තරයෙන් කාන්තාවන් සමඟ කාලය ගත කළා මෙන්ම ගණිකා මඩම් නැරැඹීමට යෑමේ පුරුද්දකින්ද පෙළුණු තැනැත්‍තෙකි. ඔහු සයිබීරියානු ලිංගික සංස්කෘතික සමාජයේ සාමාජිකයකු බවත් බොහෝ අය කියා තිබේ. ඔහු රොමානොව් වංශයේ දියණියක් දූෂණය කළ බවත් තමන්ගේ අනුගාමිකයන් දූෂණය කළ බවත් ප්‍රසිද්ධියේ සිය ලිංගික ජීවිතය හෙළි කළ පුද්ගලයෙක් බවත් කටකතාවකි. එකල විශ්වාසය වූයේ ඔහුගේ පුරුෂ ලිංගය දෙවියන් වෙතට යන මාර්ගය කියාය. සැබෑව නම් ඔහු කල දුටු කල වළ ඉහගත් පුද්ගලයෙක් බවය. ඔහු ඇතැම් වංශාධිපති බිරින්දෑවරුන්ගේ පහස ලැබූ බව සත්‍යයකි.

අඟල් දහතුනක රහසඟ

තවත් එක් මිථ්‍යාවක් වන්නේ රස්පුටින්ගේ ලිංගය අඟල් දහ තුනක් දිගු බවය. එසේම ඔහුගේ මරණින් පසු පූජනීය වස්තුවක් ලෙස සලකා වංශවත් කාන්තාවක් එය කපාගෙන පූජාසනයක තබා රකිනා බවද, එය කෞතුකාගාරයක සුරැකිව තියෙන බවද වසරින් වසර යළි යළිත් ඉහළට එන ප්‍රවෘත්තියක් විය. ඔහු සමඟ යහන්ගත වූ කාන්තාවන් ක්ලාන්ත වූයේද මේ නිසා බව ඇතමුන් පවසයි. 1994දී එය ඉතා ප්‍රචලිත සිද්ධියක් විය. මේ පිළිබඳව පර්යේෂණය කරන විට දැනගන්නට ලැබුණේ එය විජලනයට ලක්කරන ලද මුහුදු පිපිඤ්ඤාවක් බවය. ඔහුගේ මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ ලිංගය අතුරුදන් වූවායැයි ලැයිස්තුගත කර නැති බැවින් එය සම්පූර්ණ මිථ්‍යාවක් යැයි විශ්වාස කළ හැකිය.

රස්පුටින් ජර්මානු ඔත්තුකරුවෙක් ද?

පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මානු විරෝධය රුසියාව තුළ කෙතරම් ඉහළ මට්ටමක පැවැතියේද යන්න සඳහා හොඳම නිදසුන වන්නේ ජර්මානු භාෂාවට සමාන ශබ්දයක් පිටකරන පීටර්ස්බර්ග් නගරය එහි නම පොට්‍රොග්‍රෑඩ් ලෙස වෙනස් කිරීමයි. ඇලෙක්සැන්ඩ්‍රාගේ උපත සිදුවූයේ ජර්මනියේය.  දෙවැනි සාර් නිකලස් පෙරමුණේ හමුදාවන්ට අණ දීමට රස්පුටින් උපදෙස් ලබා දුනි. ඔහු එයට නිතිපතා මැදිහත් විය. එමෙන්ම රජයේ උසස් තනතුරු පත් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් දුන්නේද යෝජනා කළේද ඔහුය. මේ හේතුවෙන් රදලයන් තුළ රස්පුටින්ට එරෙහිව වෛරයක් හට ගත්තේය. මෙහි සැඟවුණු අරුත වූයේ රස්පුටින් ගොවියෙක් වීමයි. මේ හේතුවෙන් රැජිනගේ ජාතිකත්වය පිළිබඳ ගැටලුව පැනනැඟුණි. රස්පුටින් හිතාමතා යුද පිටියේදී රුසියානු හමුදාව අසාර්ථකත්වයට පත් කළ බවට කටකතා පැවැතිණි. බුද්ධි අංශ නිරන්තරයෙන් රස්පුටින් ලුහුබැන්දේය. ඔහු ජර්මානුවන් වෙනුවෙන් හෝ කිසිදු අයෙක් වෙනුවෙන් සේවය කළ බවට සාක්ෂි නැත.

ඔහු අද්භූත බලයක් ඇති ආධ්‍යාත්මිකව රෝග සුව කරන්නෙක්ද?

සාර් නිකලස්ගේ සහ ඇලෙක්සැන්ඩ්‍රාගේ එකම පුත්‍රයා ඇලෙක්සෙයි කුමාරයාය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල විය. තම මවගේ පාර්ශ්වයෙන් ඔහුට හිමොෆීලියා රෝගය උරුම විය. ඔහු වැඩිහිටි වියට පැමිණි පසු දිගු කලක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා නොකළේය. නමුත් වසර 300ක් ඉපැරණි රොමානොව් රාජවංශයේ බලාපොරොත්තු සහගත උරුමක්කාරයා ඇලෙක්සෙයි කුමාරයා විය.

කුමාරයා බිමට පෙරළීම හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවිය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අසාධ්‍ය විය. වෛද්‍යවරු පැවැසූයේ කුමාරයා බේරාගත නොහැකි බවය. නමුත්, රස්පුටින් නිරන්තරයෙන්ම පැමිණ දරුවා ජීවත් කරවීමට උත්සාහ දැරුවේය. ඔහු පළමුවරට රාජකීය පවුල හමුවීමට පෙර සිටම ඇදහිලි සුව කරන්නෙක් ලෙස රුසියාව පුරා ප්‍රසිද්ධියට පත් වූ කෙනෙකි. ඔහු කුමාරයා සුව කළේය. ඒ සියල්ල තවමත් අබිරහසක් ලෙස පවතී. එය නිසැකවම ආධ්‍යාත්මික සුව කිරීමක් නොවන බව පසුකාලීන වෛද්‍යවරු පවසයි. එකල හිමොෆීලියාව සඳහා පොදු ප්‍රතිකාරයක් වූයේ ඇස්ප්‍රීන්ය. වර්තමානයෙහි අපි දන්නා පරිදි ඇස්ප්‍රීන් නිසා රුධිරය තුනී කරන අතර එය හිමොෆීලියා රෝගය සඳහා ලබා දිය හැකි නරකම ඖෂධයකි. ඔහු ඔහුගේ බලතල පාවිච්චි කරමින් නිරන්තරයෙන් කුමාරයා සමඟ සිටි අතර වෛද්‍යවරුන් කුමාරයාට ඖෂධ ලබා දීම තහනම් කළේය. කුමාරයා සුව විය. එය ඔහුගේ යාඥා බලයෙන් සුව වූයේ ද ගුප්ත ක්‍රමයකින් සුව වූයේ ද යන්න පිළිබඳ මතවාද පවතී.

ඔහු යතිවරයෙක්ද?

“උමතු යතිවරයා” යන නාමය සිත් ඇදගන්නා සුලුය, නමුත් රස්පුටින් බොහෝ විට උමතු පුද්ගලයෙක් නොවූ අතර යතිවරයෙක් ද නොවීය. ඔහුගේ ආගමික ජීවිතය ආරම්භ වන්නේ ඔහුට වයස අවුරුදු 27දී ආරාමයකට ගිය වන්දනා ගමනකින් පසුවය. ඔහු වෙනස් පුද්ගලයෙක් වී ආපසු පැමිණිය ද රුසියානු ඕර්තඩොක්ස් පල්ලිය ඔහුව පැවිදි කිරීම ප්‍රතික්ෂේප  කළේය. “ස්ට්‍රැනික්”වරයෙක් (ශුද්ධවරභාවය වෙනුවෙන් ඉබාගාතේ යන්නකු) ලෙස සයිබීරියානු පාළුකරයේ ගමින් ගමට ඇවිද ගිය ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගිය අතර අවසානයේ ඔහු අධිරාජ්‍ය මාලිගයේ ‍ෙදාරකඩට පැමිණියේය.

අගනුවරදී ඔහු දේවභක්තික ගොවියන්ගේ හැඟීම්බර අදහස් තුළට නවමානයන් එක් කළේය. කම්මැළි සහ ආධ්‍යාත්මික කුසගින්නෙන් පෙළෙන රදල පැළැන්තියට රස්පුටින් ඇතුළු වී කොක්ක ගැසුවේය. ඔහු යතිවරයෙක්ගේ සිවුරු පැලඳ විශ්වාසයෙන් යුතුව ඔවුන් අතර ජීවත් විය. ඔහුගේ ආගමික නිකාය ඔහුම උපකල්පනය කරමින් නිර්මාණය කළ එකකි. එය නීත්‍යනුකූල ද නොවීය.

ඔහු මළවුන්ගෙන් උත්ථානය ලැබුවේද?

1916 දෙසැම්බර් 30 වැනිදා රස්පුටින් ඝාතනය විය. ෆීලික්ස් යූසුපොව් කුමරු කියා සිටියේ රස්පුටින් තම මාලිගයට පැමිණි විට සයනයිඩ් මිශ්‍ර කළ කේක් සහ වයින් ආහාරයට දුන් බවය. රස්පුටින්ට කිසිදු බලපෑමක් සිදු නොවීය. එවිට තුවක්කුවකින් ඔහුගේ පපුවට වෙඩි තැබීමට ද අණ දුනි. ඉන්පසු ඔහු මිය ගොසින් ඇතැයි සිතා නාඩි පරීක්ෂා කළ විට ඔහුට පණ තිබුණු බවද ඔහු පොර බැදූ බවද කට කතාවකි. ඔහුගේ හිසට වැදුණු වෙඩි පහරින් ඔහු මියගොසින් තිබිණි.

රස්පුටින් මියගියේ දියේ ගිලී ද?

ඔහුගේ මරණය පිළිබඳ තවත් පොදු වැරදි මතයක් නම් ඔහුගේ මරණ පරීක්ෂණයේදී ඔහුගේ පෙණහලුවල ජලය හමු වූ බවයි. එයින් හැඟවෙන්නේ ඔහුගේ දේහය වෙඩි තැබීමෙන් පසු බැහැර කරන විටත් ඔහු ජීවතුන් අතර සිටි බවය. කෙසේ වෙතත් ඔහුගේ සිරුර ජලයෙහි පාවෙමින් තිබියදී සොයාගත්තේය. ඔහුගේ පෙණහලුවලට ජලය ගොස් ඇති බවද ඉන් මරණයට පත්ව ඇති බවටද ව්‍යාජ කටකතා ඉක්මනින් පැතිර ගියේය. නිල මරණ පරීක්ෂණයෙන් ඔහුගේ මරණයට හේතුව ලෙස පෙන්වා දුන්නේ ඔහුගේ නළලෙහි වූ වෙඩි උණ්ඩ තුවාලයයි. නමුත් පුවත්පත් සඳහා මෙය යුසුපොව් පැවැසූයේ වෙනත් ආකාරයකටය. එය ඉතා අද්භූත මෙන්ම ගුප්ත ලෙස පුවත්පත් තුළ ලියැවී තිබිණි.

ඔහුගේ ඝාතනයට බි්‍රතාන්‍යයන් සම්බන්ධද?

යුද්ධය උග්‍ර වන විට, බිඳ වැටෙමින් තිබූ රුසියානු අධිරාජ්‍යය යුද්ධයෙන් ඉවත් වී රුසියානු රාජ්‍යය ශක්තිමත් බවට පත්වීම වැළැක්වීමට බි්‍රතාන්‍යයෝ උනන්දු වූහ. දෙවැනි නිකලොස් සාර්ට යුද්ධයෙන් ඉවත් වන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටි සාමවාදී පුද්ගලයෙක් වූ රස්පුටින් බරපතළ අනතුරක් ලෙස බි්‍රතාන්‍ය බුද්ධි අංශ හඳුනා ගත්තේය. රස්පුටින්ගේ අවසාන කාලයේදී රුසියාව පුරා ඔහුව බි්‍රතාන්‍ය බුද්ධි අංශ ලුහුබැඳ තිබිණි. රස්පුටින් ඝාතනය බි්‍රතාන්‍ය බුද්ධි අංශ සැලසුම් කළ බවට කටකතා පවතී. රස්පුටින් මියයන අවස්ථාවේද එතැන බි්‍රතාන්‍ය බුද්ධි අංශ නියෝජිතයෙක් සිටි බවද වාර්තාවල සඳහන් වේ.

ඔහු යක්ෂයෙක්ද?

මෙම සියලු මිථ්‍යාවන් බැහැර කිරීමෙන් පසුවත් පොදුවේ ගත්විට පවතින මතය නම් රස්පුටින් නපුරු මනුෂ්‍යයෙක් බවය. බටහිර මාධ්‍ය මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරමින් මිථ්‍යාවන් ගොඩනඟා ඇත. රස්පුටින් වසර ගණනාවක් පුරා රූපවාහිනියේ සහ සිනමාවේ භාවිත කිරීමට හොඳ ප්‍රතිරූපයක් විය. විශ්වාසදායක මෙන්ම නපුරු පුද්ගලයෙක් වූ රස්පුටින් ඓතිහාසික චරිතයකට වඩා ප්‍රබන්ධ චරිතයක් බවට පත් කළේ මාධ්‍ය ආයතනයි. රුසියානු රජ්‍යයේ කඩා වැටීමට පවා රස්පුටීන්ගේ මරණය බලපෑ බවට එය ඔඩු දිවූ මිථ්‍යාවක් විය. සාන්තුවරයෙක් නොවූවද ඔහුගේ ඉතිහාසය පිළිබඳ ප්‍රබන්ධය ඉතා අමානුෂිකය. රස්පුටින් ගණිකාවන් බැලීමට ගියේ සහ ප්‍රභූ භාර්යාවන් සමඟ යහන්ගත වූයේ ද දෙවියන් වහන්සේට සමීප වීමට පාපය අත්‍යවශ්‍ය පියවරක සැබෑ විශ්වාසයෙන් යැයි කිව හැකිද?  (ප්‍රසිද්ධ කතුවරුන් වන තෝල්ස්ටෝයි සහ පිය‍ෙදාර් ‍දොස්තොව්ස්කි මීට සමීප අදහස් ලියා ඇත).

ඔහු මිනිසුන්ට ආදරය කළ තැනැත්තකි. විශේෂයෙන්ම ඔහු ගොවියන්ට ආදරය කළේය. ඔහු එය පෙන්වීමට බිය නොවීය. ඔහු රොමානොව් දරුවන්ට බොහෝ සේ ආදරය කළේය. එමෙන්ම ඔවුන් ද රස්පුටින්ට පෙරළා ආදරය කළේය. රුසියානු ජාතිය නොවැළැක්විය හැකි යුද්ධයක් කරා ඇදී යන අතරතුර ඔහු නිකලස්ට පවසා සිටියේ තමා යුද්ධය ගැන පසුතැවිලි වන බවයි. රුසියානු මිනිසුන් පරම්පරා ගණනාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද අනාගත දරුවන්ට පියවරුන් නොමැතිව ඉතිරි කාලය ගත කරන්නට වීම පිළිබඳවද ඔහු දුක් විය.

රස්පුටින් සංකීර්ණ මිනිසෙකි. නමුත් ඔහු නපුරෙක් ලෙස හංවඩු ගැසීම යනු ඔහුගේ සතුරන් ඔහුව අවමානයට ලක් කිරීම සඳහා නිර්මාණය කරන ලද, සියවස් ගණනක් පැරණි මිථ්‍යා විශ්වාස රස්පුටින්ගේ ජීවිතයට මිශ්‍ර කිරීමකි. අවසානයේ කියන්නට ඇත්තේ රස්පුටින්ගේ ඉතිහාසය මෙන්ම ජීවිතයද මෙලෙස දූෂ්‍ය කිරීමෙන් රස්පුටින් සියවස් ගණනාවක් පුරා සදා නොමියෙන මතකයක් බවට පත්ව ඇති බවය.

ගිහාන් සචින්ත