රට වනසන හොර නඩයේ රෙදි ගලවපු අනුරගේ හෙළිදරව්ව

0
138

මෙරට පාලනය කළ ඉහළ දේශපාලනඥයන්ගේ සිට පහළ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් සිදුකළ වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 560කට ආසන්න ප්‍රමාණයක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍යයට ඉදිරිපත් කළේය. මෙරට ප්‍රභූ පෙළැන්තියේ දේශපාලනඥයන් විසින් වංචා කරන ලද මහජන මුදල් හා පොදු දේපළ සම්බන්ධ ලිපිගොනු අතිවිශාල ප්‍රමාණයක් තමන් සන්තකයේ ඇති බව ඔහු විසින් මෙයට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබිණි.  ඒවා ජනතාවට ඉදිරිපත් කළ යුතු බවට  සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබිණි. ජවිපෙ නායකයා විසින්  යථෝක්ත ෆයිල් රට හමුවේ තබන ලද්දේ ඊට පිළිතුරු වශයෙනි.

ජවිපෙ නායකයා එහිදී මෙසේ අදහස් දැක්වීය.

“අපේ රට දුප්පත් වී තිබෙනවා. රටේ පාලකයන් පොහොසත් වී තිබෙනවා. දූෂණ විරෝධී හඬ කියලා කුඩා කණ්ඩායමකින් අපි මේ වංචා – දූෂණ හෙළි කරන්න පටන් ගත්තේ. අද වනවිට මේ සම්බන්ධයෙන් ජනතාව අතර විශාල උදේ‍යාගයක් මතුවී තිබෙනවා. ජනතාවගෙන් කොල්ලකෑ ධනය යළි පවරා ගන්න කියා හඬක් නැඟෙනවා. අද අප හෙළි කරන වංචා – දූෂණ සාගරයේ ගිලුණු මහා හිම කන්දක මතුපිටට පෙනෙන කුඩා කොටස පමණයි. සමහර වංචාකරුවන් පවා දන්නේ නැහැ ඔවුන් ඊට කොතෙක්දුරට සම්බන්ධද යන්න. විශාල ලිපිගොනු ප්‍රමාණයක් අතරින්  අපි ඉතා පරිස්සමෙන් මේ ලිපිගොනු තෝරා ගත්තා.

අද ඔබ හමුවේ තබන වංචාවලට අදාළ සමහර ලිපිගොනු විමර්ශනයට යොමු කළ ඒවා. තවත් සමහරක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරපුවා. ඒ වගේම අධිකරණයේ නඩු පවරපු බැංකු ලිපි ගොනුත් තිබෙනවා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හංගපු ඒවා. සමහර නඩු අධිකරණය තාක්ෂණික හේතු ඉදිරිපත් කර යටපත් කරපු ඒවා. තවත් සමහරක් විභාගයට නොගෙන බහා තබන ලද නඩුවලට අයත්. ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටි නිසා අපි මේවා ඉදිරිපත් කරනවා.

මේ වංචා සිදුකර තිබෙන්නේ ජනතා පරමාධිපත්‍යය සහිතව බලය ලබාගත් කණ්ඩායම් විසින්. මේ අපරාධ හුදු තනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වයන් නොවේ. ඒ සඳහා  රාජපක්ෂවරු වටා දූෂිත වළල්ලක් නිර්මාණය වී තිබෙනවා. දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්, මාධ්‍ය හිමිකරුවන්, පොලිසියේ හා අධිකරණයේ ඉතා සුළු කොටසක් මේ චෞර වළල්ලට අයත්. ආණ්ඩුවක් මාරු වූ විට දූෂිත වළල්ල චුට්ටක් හෙල්ලෙනවා. ඊට පසු නැවතත් ශක්තිමත් වෙනවා. හුදු ආණ්ඩු පෙරළියකින් මේ දූෂිත වළල්ල පරාජය කරන්න බෑ. දූෂිතයන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍යව තිබෙනවා.

සඳහිරු සෑය මුවාවෙන් සිදු කළ රන් කොල්ලය

නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී රත්රන් කිලෝ 45ක් අත්අඩංගුවට ගන්නවා. නාවික හමුදාව මේ සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා රේගුව දැනුවත් කරනවා. මෙම රත්රන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පැය 24ක් යෑමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් නාවික හමුදාපතිවරයාට දැනුම් දෙනවා සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා එම රත්රන් අවශ්‍ය බව.

එවිට නාවික හමුදාපති විසින් ශ්‍රී  ලංකා රේගුවට  ලිපියක් යොමුකර සඳහිරු සෑයේ නිදන් වස්තු වශයෙන් තැන්පත් කිරීම සඳහා නාවික හමුදාව භාරයේ දැනට තිබෙන එම රත්රන්වලින් කිලෝග්‍රෑම් 8ක් ආරක්ෂක අමාත්‍යාංශයට නිදහස් කිරීමට අවසර  ඉල්ලනවා.

ඊට පිළිතුරු ලිපියක් යවමින් ශ්‍රී  ලංකා රේගුව දැනුම් දෙන්නේ, අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ සඳහා හිමිකරුවකුට තිබෙන අයිතිය කියා පෑමට ලිත් මාසයක් කාලය ලබා දිය යුතු හෙයින් එම කාලය ඉකුත් වන තුරු රත්රන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිදහස් කළ නොහැකි බවයි. නමුත් මෙම ඉල්ලීම නැවත නැවතත් ඉදිරිපත් වීම නිසා කලින් අත්අඩංගුවට ගෙන නාවික හමුදාව භාරයේ තිබූ රත්රන්වලින් කිලෝ 8ක් නාවික හමුදාව විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත  නිකුත් කර තිබෙනවා.

සඳහිරු සෑයේ නිදන් කිරීමට බව පවසමින් ලංකා බැංකුවෙන් තවත් රත්රන් කිලෝ 3.5ක් ඔවුන් ලබා ගන්නවා. ඒ අනුව මුළු රත්රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 11.5ක්.

වැලිසර නාවික හමුදා කඳවුරේදී   මෝල්ඩ් අච්චුවක් සකස් කර සඳහිරු සෑයේ නිදන් කිරීම සඳහා බව සඳහන් කරමින් අඩියක් උස රත්රන් බුදු පිළිමයක් නිර්මාණය කර තිබෙනවා. දෙවැනුව එම අච්චුවම යොදා ගනිමින් පිත්තල ලෝහය යොදා තවත් බුදු පිළිම දෙකක් නිර්මාණය කර ඇත. ඉන්පසුව පිළිමතලාවේදී එම පිත්තල ලෝහයෙන් නිර්මිත බුදු පිළිම දෙකෙහි රන් ආලේප කර තිබේ.

ඉන්පසුව රනින් නිමැවූ බුද්ධ ප්‍රතිමාව අතුරුදන් වී ඇති අතර සඳහිරු සෑයේ තැන්පත් කරන බවට බෞද්ධ ජනතාවට ප්‍රදර්ශනය කර තිබෙන්නේ රන් ආලේපිත පිත්තල බුද්ධ ප්‍රතිමා වහන්සේලාය. මේ අතර රනින් නිමවූ බුද්ධ ප්‍රතිමාව හදිසියේ අතුරුදන් වෙනවා. රන් ප්‍රතිමාව අතුරුදන් වී තිබෙන්නේ හමුදා ආරක්ෂාව යටතේ තිබියදීය. එම අතුරුදන් වීම සම්බන්ධව විමර්ශන වාර්තාවක්ද තිබෙනවා. දැන් අපට මතුවන ප්‍රශ්නය තමයි  සඳහිරු සෑයේ තැන්පත් කරන ලද්දේ බුදු පිළිමවලින් කවරක්ද යන්න. අනිවාර්යයෙන්ම එය පිත්තල ප්‍රතිමාව විය යුතු බවට සාධාරණ  සැකයක් මතු වී තිබෙනවා.

හිටපු සංස්කෘතික ඇමැති

සජිත් ප්‍රේමදාස  මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 3ක මුදල් අවභාවිතය හිටපු සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැය ශීර්ෂ 136ක් මුදල් බිලියන 3ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කර තිබෙනවා. සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මෙහි සාක්ෂි දී තිබෙනවා. ඔවුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව ඇමැතිවරයා විසින් මෙම මුදල් වැය කරන ලද බව පරීක්ෂණවලදී සනාථ වී තිබෙනවා.

මේ වියදම් කිරීමත් ගිං-නිල්වලා ව්‍යාපෘතියට සමානයි. 2019 මැතිවරණය තිබුණේ නොවැම්බර් 18 වැනිදා. නොවැම්බර් 15 වැනිදා ඇමැතිවරයා විසින් වියදම් වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනවා. කවුද මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස, මනෝ ගනේෂන්, බර්නාඩ් ප්‍රියන්ත, දඹර අමිල හිමි. මේ වියදම් ලැයිස්තුවට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාදී නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එස්.එස්. ඒකනායක අස්සන් කර නැහැ. දඹර අමිල හිමියන් අස්සන් කරලා නැහැ. අකිල විරාජ් කාරියවසම් අස්සන් තබා නැහැ. ඒ අනුව මැතිවරණ ව්‍යාපාරය තුළ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස විසින් අරමුදලේ මුදල් වියදම් කිරීම අනුමත වී නැහැ.

ජාලිය වික්‍රමසූරියගේ ඇමෙරිකන් නඩුව

ජාලිය වික්‍රමසූරිය කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා. ඔහු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී  ලංකා තානාපති. ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී ඔහු විශාල වංචාවක් සිදුකර තිබෙනවා. ගොඩනැඟිල්ලේ වටිනාකම ඩොලර් මිලියන 625ක් බව සඳහන් කරමින් තමයි මේ ගනුදෙනුව සිදුකර තිබෙන්නේ. නමුත් සත්‍ය වටිනාකම එය නොවේ. ජනපති කාර්යාලය ගොඩනැඟිල්ල මිලදී ගැනීමේදී ජාලිය වික්‍රමසූරිය විසින් ඩොලර් මිලියන 33ක් වංචා කර තිබේ. මෙම සොරකම පිළිබඳව ශ්‍රී  ලංකාවේ නඩු පවරන ලද නමුත් නඩුව විභාග වෙමින් තිබියදී ඔහු අධිකරණයේ අවසරය ඇතිව රටින් පිටව ගිය අතර නැවත ලංකාවට පැමිණියේ නැත.

නමුත් ඇමෙරිකාව තුළ සිදු වූ මෙම වංචාව සම්බන්ධයෙන් එරට අධිකරණය මඟින් නඩු පවරන ලදී. එම නඩු විභාගයේදී ජාලිය වික්‍රමසූරිය විසින් තමා  මූල්‍ය වංචාවක් සිදු කළ බව අධිකරණය හමුවේ පිළිගෙන ඇති අතර ජාලිය වික්‍රමසූරියට මෙම මැයි මාසයේ ඇමෙරිකානු අධිකරණයක් විසින් දඬුවම් නියම කිරීමට නියමිතය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ ඩොලර් බිලියන 16.17ක මූල්‍ය වංචාව

ලන්ඩන් මහාධිකරණයේ නඩුවක් විභාග වුණා. එංගලන්තයයි, ප්‍රංශයයි, ඇමෙරිකාවයි ඒකාබද්ධව කළ විමර්ශනයක් පදනම් කරගෙන ප්‍රංශ සමාගමක් විසින් බලපෑම් කර විශාල එයාර් බස් ප්‍රමාණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන්. එම නඩුව තිබුණේ එයාර් ලංකා සමාගම ප්‍රංශ සමාගමකින් එයාර් බස් මිලදී ගැනීම සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් කර නඩුවක් ගොනු කර තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුවේදී කප්පම් ගැනීම ඇතුළු සියලු පාඩුව ඩොලර් බිලියන 16.17කි. එය ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මිලදී ගැනීම වශයෙන් සැලකේ. එයාර් බස් 14ක් කල්බදු ක්‍රමයට මිලදී ගැනීම සඳහා ප්‍රථමයෙන් ඩොලර් මිලියන 2.2ක වියදමක් දරා ඇත. එයාර් බස් 14 මිලදී ගැනීම සම්බන්ධව ප්‍රංශ සමාගම සමඟ ප්‍රථම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ එවකට කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවෙසේදීය. ඊට හේතුව  චමල් රාජපක්ෂගේ පුත්‍රයකු ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීමය.

මේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක තනතුර දරන ලද්දේ කපිල චන්ද්‍රසේන විසිනි. ඩොලර් මිලියන 2ක අත්තිකාරමක් ගෙවා බස් ගනුදෙනුවේ මූලික කටයුතු අවසන්ව තිබියදී 2015දී මහින්ද රාජපක්ෂගේ රජය පරාජය වීම නිසා එයාර් බස් මිලදී ගැනීම ඇනහිටියේය. නමුත් ඒ වන විටත් ප්‍රංශ සමාගම අදාළ ගුවන් බස් නිර්මාණය කිරීම ආරම්භ කර තිබිණි.

දින 52 ආණ්ඩුවේ  අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ නැවත පත් වූ අවස්ථාවේ ඔහු විසින් වහාම  කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන්  නැවත පත් කළේය.

මේ පිළිබඳ විමර්ශන ආරම්භ වූ විට sabar vision holding නමැති නිමල් පෙරේරාට අයත් සමාගමේ ගිණුමට ඩොලර් මිලියන 2ක් කප්පම් වශයෙන් ගෙවා ඇති බව හෙළි විය. එම මුදල් කපිල චන්ද්‍රසේනගේ සහ ඔහුගේ බිරියගේ නම සඳහන් ගිණුම්වලට බැර වී තිබිණි.

එයාර් බස් 14 මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා රජයට විශාල මුදලක් වැය කරන්නට සිදුවිය. මෙම කුප්‍රකට ගනුදෙනුවේ පාඩුව බිලියන 16.17 වූයේ එබැවිනි.

දියගම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ලලිත් කොතලාවල දුන් මිලියන 100 වංචා කිරීම

දියගම ක්‍රීඩාංගණය ඉදිකරන ස්ථානය පෙන්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලලිත් කොතලාවල  හෙලිකොප්ටර් යානයකින් එහි කැටුව ගියේය.  ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳව සතුට පළ කළ ලලිත් කොතලාවල ජනාධිපතිවරයාට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කර තිබේ.

ක්‍රීඩාංගණය වැඩ ආරම්භ කිරීමට ප්‍රථම ඔහු විසින් මිලියන 100ක මුදල ප්‍රදානය කර ඇති අතර එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයට ලලිත් කොතලාවලගේ නම තබන බවටද මහින්ද රාජපක්ෂ පොරොන්දු  වී තිබේ. දියගම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මහභාණ්ඩාගාරයේ මුදල් යොදවා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලදී. ලලිත් කොතලාවල විසින් දුන් මිලියන 100ක මුදලට කුමක් සිදුවීදැයි දැනගන්නට නැත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මුවාවෙන් මිලියන 688ක් සොරකම් කිරීම

පොදු රාජ්‍ය මණ්ඩලයීීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලංකාවට ලබා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2011දී උත්සාහයක් ගෙන ඇත. ඒ සඳහා වියදම් දැරීමට C.W.G. HAMBANTHOTA නමින් සමාගමක් පිහිටුවා ගෙන ඇත. එම සමාගම සඳහා විවිධ ආධාරකරුවන්ගෙන් මුදල් එකතු කර තිබේ. මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරයේ එවකට අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැදිහත්ව ඇති අතර ඔහු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රථමයෙන් ලබාදී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 100ක්, අපනයන සංවර්ධන මණ්ඩලයෙන් මිලියන 8ක්, ටෙලිකොම් සමාගමෙන් මිලියන 10ක්, සම්පත් බැංකුවෙන් මිලියන 5ක්, ඔරෙක්ස් ලීසිං සමාගමෙන් මිලියන 10ක්, ඩී.එන්.එක්ස් ෆයිනෑන්ස් සමාගමෙන් මිලියන 35ක්, හම්බන්තොට නැෂනල් බැංකුවෙන් මිලියන 25ක්, මොබිටෙල් සමාගම මිලියන 5ක්,  සොෆ්ට්ලොජික් මිලියන 10ක්, ලංකා ඔරෙක්ස් ලීසින් නැවත මිලියන 10ක් ආදී වශයෙන්  පෞද්ගලික සමාගම් ගණනාවක් මුදල් ලබාදී තිබේ. එකතු වූ මුළු මුදල මිලියන 688කි. එම මුදලට සිදුවූයේ කුමක්දැයි කිසි තැනක සඳහන් නොවේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ප්‍රවර්ධනය සඳහා බව සඳහන් කරමින් බටහිර ඉන්දීය කොදෙව්වලට අයත් දිවයිනක් වන සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් හි පැවැති සමුළුවක් සඳහා පිටත්ව ගොස් ඇත. නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් සහ සිනමා නිළි අනර්කලී ආකර්ෂා එම සංචාරයට එක්වූ  බව එවකට පුවත්පත්වල පළ විය.

කොළඹ කොටුවේ ක්‍රිෂ් හෝටල් ව්‍යාපෘතිය

ක්‍රිෂ් හෝටල් ව්‍යාපෘතිය සඳහා රජයට අයත් භූමිය පවරාදීමේ කප්පම් මුදල් වශයෙන් ඩොලර් මිලියන 80ක් නාමල් රාජපක්ෂ ලබාගෙන තිබේ. එම මුදල් ලැබී තිබෙන්නේ නිමල් පෙරේරා නමැති ව්‍යාපාරිකයාගේ සිංගප්පූරුවේ තිබෙන බැංකු ගිණුමකිනි. එම බැංකු ගිණුම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේදී සිංගප්පූරුවේ ඇති sabar vision holdings නමැති ගිණුමට අයත් එම කම්පැනිය ලියාපදිංචි කර තිබෙන්නේ British virgin island හිදීය. එම ගිණුම හරහා  නාමල් රාජපක්ෂට  මුදල් එවා ඇත. මේ සම්බන්ධ නඩු විභාගයේදී නාමල් රාජපක්ෂ එම මුදල් තමා ලබා ගත් බව පිළිඅරගෙන තිබෙනවා. ඔහු සඳහන් කර තිබෙන්නේ එම මුදල තමා විසින් රග්බි  සම්මේලනයට දුන් බවයි. නමුත් රග්බි සංගමයේ නිලධාරි මණ්ඩලයේ කට උත්තරවල සඳහන් වන්නේ එවැනි මුදලක් නොලැබුණු බව හා රග්බි ප්‍රවර්ධනය සඳහා එවැනි මුදලක් වියදම් කර නොමැති බවයි.

මේ සම්බන්ධව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හමුවෙනවා හම්බන්තොට සහ නුවරඑළියේ රෝහල්වල ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් කොන්ත්‍රාත් ලබා දී තිබීම ගැන.  නෙදර්ලන්තයේ E N project සමාගමට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවත් ඕස්ට්‍රේලියාවේ ASCON medical සමාගමට වෛද්‍ය උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුවත් ලබාදී තිබෙනවා. මේ සමාගම් දෙක අවස්ථා දෙකකදී යුරෝ මිලියන 4.4ක්  ඉහත සඳහන් සර්බ විෂන් එකවුන්ට් එකට බැරකර තිබෙනවා. ඒවගේම ඇස්කොට් ලිමිටඩ් එකත් එම ගිණුමට ඩොලර් මිලියන 5.5ක් දමා තිබෙනවා. එසේ සල්ලි ගෙවීමට හේතුව සොයා යන අවස්ථාවේ අහුවෙනවා මේ කොන්ත්‍රාත්තු ලබාදීම සඳහා කප්පම් මුදල් වශයෙන් මෙම මුදල් හුවමාරු වී තිබෙන බව. එයාර් බස් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිය නමට මුදල් දමා තිබුණෙත් මෙම මුදල් හුවමාරු වූ ගිණුමටයි. මේ ගිණුම සඳහා විමර්ශන ආරම්භ කිරීමට 2019 අධිකරණය අවසරය ඉල්ලා ඇතත් තවම ලැබී නැත. එය මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනය කළ යුතු බරපතළ සිදුවීමකි.

තිරුනඩේෂන්ගේ සහ නිරූපමා රාජපක්ෂගේ පැන්ඩෝරා පේපර්ස්

ඔවුන් දෙදෙනා සතුව ඩොලර් කෝටි 3,200ක වත්කම් ඇති බව  පැන්ඩෝරා  පේපර්ස්වලින් හෙළිවුණා. මේ පිළිබඳව සමාලෝචනය කිරීමේදී තිරුනඩේෂන්ගේ හොංකොන් හි ඇති බැංකුවක ඩොලර් මිලියන 22ක් තිබූ බව හෙළිවිය. මේ සම්බන්ධ පරික්ෂා කිරීම සඳහා F C I D එකට භාර කරන ලදී. ඔවුන් හොංකොං ගොස් තොරතුරු රැගෙන පැමිණියත් පරීක්ෂණ ඉදිරියට ගියේ නැත. තිරුනඩේෂන්ට අයත් රෙඩ්රූත් සමාගම එම මුදල් රටවල් කිහිපයකට මාරු කර තිබෙන බව.

ශ්‍රී  ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර  තිබෙනවා ඔහු බැඳුම්කර වංචාවට සම්බන්ධයක් නැති බව. අපි ප්‍රශ්න කරන්නේ ඔහු විසින් බැ¾දුම්කර විමර්ශන වාර්තාවේ පිටු 106 සැඟවීමට තිබූ හේතුව කුමක්ද යන්නය. එසේ කරන ලද්දේ කවුරු ආරක්ෂා කිරීම සඳහාද යන ප්‍රශ්නය මතුවෙනවා. තමන්ට අවාසියක් වන අවස්ථාවේ සාක්ෂි හංගනු ලබන බව සාක්ෂි  ආඥා පනතේ සඳහන් වෙනවා. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මිලියන 250ක් බෙදපු ලැයිස්තුව ඇතුළත් පිටු 106ක් මේ අන්දමින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉවත් කර තිබෙනවා.

උදාහරණයක් ලෙස රවි කරුණානායකට  නිවෙසක් මිලදී ගැනීම සඳහා බිලියන 165ක මුදලක් ලබාදුන් බවට නඩුවක් අධිකරණයේ විභාග වෙනවා. දයාසිරි ජයසේකරට ලක්ෂ 20ක් චෙක්පත් මඟින් ලබාදුන් බව නඩුවේදී තහවුරු වුණා. අර්ජුන් ඇලෝසියස්ට සහ ඔහුගේ පියාට අයත් මෙන්ඩිස් සමාගමට අයත් ගිණුමකින් චෙක්පත් 168ක් මිලියන 1090ක් සන්තෝසම් වශයෙන් පිරිසකට බෙදා දී තිබෙනවා. එහි විස්තරවලට අදාළ පිටු 106 හැංගිලා. මේ ගැන අපට සාධාරණ සැකයක් තිබෙන නිසා අපි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නා මේ පිටු ටික මහජනයාට දැනගැනීම සඳහා එළියට දමන්න කියා. පසුගිය අවුරුදු දෙකහමාර තුළ ලිපි 4ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපි ලබා දී තිබෙනවා මේ පිටු එළියට දමන ලෙස ඉල්ලමින්. නමුත් ඔහුත් ඒවා සඟවාගෙන සිටිනවා. මේ පිටු 106 එළියට ආවා නම් මහ බැංකු බැ¾දුම්කර ගනුදෙනුවෙන් මුදල් ප්‍රතිලාභ ලැබූ සියල්ලන් ජනතාවට හෙළි වෙනවා.

ගිං – නිල්වලා ව්‍යාපෘතියේ මිලියන 4100ක වංචාව

මේ සිදුවීම වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ එවකට වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා. වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා. සාමාන්‍යයෙන් මැතිවරණයක් වෙලාවේදී රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍යම කාරණාවකදී හැර  සෙසු සියලු මිලදී ගැනීම් ගෙවීම් සියල්ල නවත්වනවා. නමුත් 2014 දෙසැම්බර් 24 වැනිදාත් 2015 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 6 වැනිදාත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා විසින් මිලියන 4100 china national merchant  සමාගමට මුදල් ලබා දෙනවා. එම මුදල් ලබාදෙන්නේ ගිං – නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන්. නමුත් ගිං – නිල්වලා ව්‍යාපෘතියේ එක පස් පිඩැල්ලක් කපා නැහැ.

ඔවුන් හොංකොංවල පිහිටි තමන්ගේ ගිණුමක මේ මුදල් තැන්පත් කරනවා. පසුව එම ගිණුමෙන් රූත් ඉන්ටර්නැෂනල් සමාගමේ ගිණුමට ඩොලර් මිලියන 5ක් ලබා දෙනවා. මේ සමාගම තිරුනඩේෂන්ගේ සමාගමක්. එමඟින් කොල්ලුපිටියේ පිහිටි බැංකුවකට එම මුදල් එවනවා. ඒ බැංකුවේ මුදල්වලින් තමයි මල්වානේ ඉඩමක් ගන්නේ. මේ ගනුදෙනු පැන්ඩෝරා පේපර්ස්වලින් එළියට එනවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇමෙරිකන් මධ්‍යම ඔත්තු සේවයේ පුද්ගලයකුට ඩොලර් මිලියන 6.5ක් ලබා දීම

ඇමෙරිකා එක්සත් ජනපදය සුබේරු නමැති සීඅයිඒ නියෝජිතයෙක් හදිසියේ අත්අඩංගුවට ගන්නවා. එම පුද්ගලයා විසින් ඩොලර් මිලියන 12කට වැඩි ප්‍රමාණයක් උපයා ගත් අන්දම හෙළි නොකිරීම තමයි ඔහුට විරුද්ධව නැඟෙන චෝදනාව. එම චෝදනාව පිළිබඳ නඩු විභාගයේදී එම පුද්ගලයා වරදකරු වෙනවා. ඔහු  සිරදඬුවම් නියමව  මේ වන විට සිටින්නේ සිර ගතවයි.

සුබේරුගේ ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරද්දී ශ්‍රී  ලංකාවේ හිටපු මහ බැංකු අධිපති විසින් ඩොලර් මිලියන 6.5ක් සුබේරුගේ ගිණුමකට ලබා දී ඇති බව ඇමෙරිකානු පොලිසිය සොයා ගන්නවා. මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී හිටපු මහ බැංකු අධිපති ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව තුළ ශ්‍රී  ලංකාවේ ප්‍රතිරූපය නැංවීම  සඳහා එම මුදල් අනුමැතිය ඇතුව යෙදවූ බව. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ ශ්‍රී  ලංකාවේ ප්‍රතිරූපය මෙම සිදුවීම් නිසා තවත් කිලිටි වීමයි.

යෝෂිත රාජපක්ෂ නමින් ඇති ඉඩම් කිහිපයක්

සී.එස්.එන්. ටෙලිවිෂන් ආයතනය පිහිටි බත්තරමුල්ල ඉඩම මිලියන 200යි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් “රාජපක්ෂ පදනම” නමැති පුණ්‍ය ආයතනයට පවරන ලද්දකි.

සී.එස්.එන්. නාළිකාවේ ඉදිකිරීම් ලිපි ගොනුව. මිලියන 200යි.

හම්බන්තොට කාල්ටන් ස්පෝර්ට්ස්.

ඕ බී ට්‍රක් රථය. මිලියන 80

ඔප්පු අංක 4129, 4130, 4132, දරන සිරිබෝපුර කැලය. මිලියන 48යි.

ඇවන්ගාඩ් ගනුදෙනුව

ජාත්‍යන්තර මුහුදු මාර්ගය පසුකර යන නෞකා සඳහා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන පටන් ගන්නා ලද්දේ නාවික හමුදාව විසිනි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී ඇවන්ගාඩ් සමාගමට ජාත්‍යන්තර මුහුදේ නෞකා ආරක්ෂාව පැවරුවා. එහිදී ඇති කරගත් ගිවිසුමට අනුව ආදායමෙන් 25%ක් රජයට ලබාදිය යුතුව තිබුණා.

එක් නාවික හමුදාපතිවරයකු 25% සියයට 23% දක්වා අඩු කළා. ඔහු විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් සමාගමේ රැකියාවට ගියා. ඊළඟට පත්වූ නාවික හමුදාපතිවරයා 17% දක්වා ගිවිසුම සංශෝධනය කළා. ඔහුත් විශ්‍රාම ගියාට පසු  ඇවන්ගාඩ් සමාගමේ උපදේශකවරයකු ලෙස සේවයට යනවා.

මේ අනුව ඉතා පැහැදිලි සැකයක් ඇතිවෙනවා මෙම නාවික හමුදාපතිවරුන් ඇවන්ගාඩ් ව්‍යාපාරිකයාට අයුතු ලෙස ධනය උපයා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නාද කියා. එහි විශාල පරීක්ෂණ ගොනුවක් තියෙනවා. මේ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාත් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා තිබුණා. මහෙස්ත්‍රාත් අධිකරණයට එම පුද්ගලයන් කැඳවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කෝපයට පත් වුණා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එදා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිනි දිල්රුක්ෂි ඩයස්ට ඉවත් වන්න කියලා බරපතළ චෝදනාවක් එල්ල කළා.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා මෛත්‍රිපාල සිරිසේන 2015 ජනවාරි 9දා ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් වහාම ඔහු යනවා ඇවන්ගාඩ් ලොක්කා හම්බ වෙන්න. වජිර අබේවර්ධන තමයි ඔහු එක්ක යන්නේ. මේ ගනුදෙනු නිසා තමයි ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන්ද විමර්ශන ඉදිරියට යනවට ඔහු හරස් වෙන්නේ.

පරීක්ෂණ කරන ආයතන නිසි පරිදි පරීක්ෂණ පවත්වා ඔවුන් මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කළාට පස්සේ ජනාධිපතිවරයා කෝප වෙනවා. ජනාධිපතිවරයා කෝප වෙලා නිලධාරීන්ට ගෙදර යන්න කියනවා. ඒ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ මේ අය දූෂිතයන් ආරක්ෂා කරන බව. පරීක්ෂණය අඩපණ කළා පමණක් නොවෙයි පරීක්ෂකයන් බියවැද්දුවා. සමහර අය සිරගත කළා.

ඩිලාන් පෙරේරා වංචනික අන්දමින් බිල් යොදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ලබාගැනීම

විදේශ සේවා නියුක්ති කාර්යංශයට අයත් ලිපි ගොනුවක් මෙහි තිබේ. මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටද පැමිණිලි කර ඇත. ඩිලාන් පෙරේරා විදේශ සේවා කාර්යාංශය භාර ඇමැතිවරයා වශයෙන්  සිටියදී ගාලු දිස්ත්‍රික්කයේ පවත්වන ලද මැයි දින රැලියක් සඳහා සහභාගි වූ තැනැත්තන්ට ආහාරපාන ලබාදීම වෙනුවෙන්  බිල්පත් ඉදිරිපත් කොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මුදල් ලබාගෙන තිබේ. එම කාර්යය කිසිසේත්ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අයත් වන්නක්ද නොවේ. ගාල්ලේ පැවැති මැයි දින රැලියට ආහාර ගෙනැවිත් තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හාලිඇළ සහ ඇල්ල ප්‍රදේශයේ හෝටල් දෙකකිනි. මෙම වංචාව පිළිබඳ විමර්ශන සිදුකරන අතර එම හෝටල්වලින් විස්තර වාර්තා ලබාගෙන ඇත. ඔවුන් එවැනි ආහාර ලබා දීමක් සිදු නොකළ බව හෝටල් දෙක විසින්ම පිළිගෙන තිබිණි.

උදේනි සමන් කුමාර