මුහුද යට තිබිලා හොයා ගත්තු මිලියන ගාණක් වටිනා කුරුසය රැජින එන්න කලින් අතුරුදන් කළේ කවුද?

0
386

මේ ලෝකයේ අබිරහස්ම ප්‍රදේශය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් එකපාරම අපේ හිතට එන උත්තරය තමයි බර්මියුඩා ත්‍රිකෝණය. ඒ තරම්ම අබිරහස්වලින් පිරුණු අබිරහස් සම්බන්ධව අතීතයේ ඉඳන්ම බොහොම කතා බහට ලක්වෙන තැනක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය. අපේ පොල් ත්‍රිකෝණයේ පොල් අතුරුදන් වෙන්නේ නැති වුණාට මේ ත්‍රිකෝණයේ නම් ගුවන් යානා, නැව් අතුරුදන් වෙනවා කියලා අපි අහලා තිබෙනවා. කොහොමත් ගුවන් යානයක්, නැවක් අතුරුදන් කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ බර්මියුඩා ත්‍රිකෝණෙද දන්නේ නැහැ කියලනේ. ඒ තරම්ම අබිරහස් එක්ක බැඳුණු නමක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය. මෙතැන සැඟවුණු රහස් ප්‍රමාණය නම් කොච්චරක්ද කියන්න බැරි තරම්.

ලෝක සිතියමක් අරගෙන ඒක කැරිබියන් මුහුදේ පිහිටලා තිබෙන පියුටෝ රිකෝ දූපත්, උතුරු ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවල මියාමි නගරය වගේම බර්මියුඩා දූපත් එකිනෙකට යා කළාම බටහිර අත්ලාන්තික් සාගර කලාපේ ත්‍රිකෝණාකාර ප්‍රදේශයක් දකින්න පුළුවන්. අන්න ඒ ප්‍රදේශය තමයි බර්මියුඩා ත්‍රිකෝණය නැත්නම් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s Triangle) කියලා හඳුන්වන්නේ. මේ ප්‍රදේශයට වර්ග කිලෝමීටර් දහස් ගණනක් අයිති වෙනවා.

මේ ත්‍රිකෝණාකාර ප්‍රදේශයෙදී 1945 ඉඳලා නැව්, ගුවන් යානා විශාල ප්‍රමාණයක් වගේම දහස් ගණනක් මිනිස්සුත් අතුරුදන් වෙලා තිබෙන නිසා මුහුදු ගමන්වල, ගුවන් ගමන්වල යෙදෙන අය වගේම මේ ගැන දන්න අය තුළත් ඇති වෙන්නේ චකිතයක්. විවිධ මතිමතාන්තර, උපකල්පන පළවෙලා තිබුණත් ලෝකයේ තවමත් නොවිසඳුණු අබිරහස්වලින් එකක් විධියට තමයි බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස සැලකෙන්නේ. ලෝකයේ තියෙන අස්වාභාවික ස්ථානයක් විධියටත් මේක හඳුන්වන්න පුළුවන්.

මේ කලාපය ගැන ලෝකයේම අවධානය යොමු වුණේ 1950 සැප්තැම්බර් 16 එඩ්වඩ් ජෝන්ස් කියන මාධ්‍යවේදියා මේ ප්‍රදේශයේ අතුරුදන්වීම් සිදුවුණ අවස්ථාව පදනම් කරගෙන “ඇසෝසියේටඩ් ප්‍රෙස්” වෙත ලියපු ලිපියකින් පසුව.

ඔහු සඳහන් කරන විධියට මේ කලාපයේ සිදු වුණ මුල්ම අතුරුදන් වීම විධියට සලකන්නේ 1945 දෙසැම්බර් 05 ඇමෙරිකාවේ නාවික හමුදාවේ බෝම්බ හෙළන ගුවන් යානා 05ක් අතුරුදන් වීම. පුහුණු වීම් කටයුතු කරමින් සිටි මේ යානා ගුවන්ගත වුණ මොහොතේ ඉඳලාම මැදිරියත් එක්ක රේඩියෝ සම්බන්ධතා පවත්වලා තිබුණත් එක පාරටම ඒවා නැවතිලා තිබෙනවා. රේඩියෝ උපාංගවල ‍ෙදා්ෂයක් කියලා හිතලා මේ යානා නැවත එනකන් බලන් හිටියත් මේ යානා නම් ආපහු ඇවිත් නැහැ. ඒ වනවිටත් ඒ ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩ කළත් මේ යානා ගැන කිසිම හෝඩුවාවක් හම්බවෙලා නැහැ. ගුවන් යානා පහක් එකවර විනාශ කරන්න පුළුවන් මිසයිල නොතිබුණු මේ කාලේ ප්‍රහාරක යානා පහක් එකවරම අතුරුදන් වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

කොහොම වුණත් හිතාගන්න බැරි විධියට අතුරුදන් වුණ යානා හොයන්න තවත් ගුවන් යානයක් ඔවුන් යවලා තිබෙනවා. පුදුමය කියන්නේ ඒ ගුවන් යානයත් පිටත් වෙලා විනාඩි කිහිපයකට පස්සේ පාලක මැදිරියත් එක්ක තිබුණු රේඩියෝ සම්බන්ධතා ටික ටික නැවතිලා තිබෙනවා. හැබැයි මේ යානයේ ගුවන් නියමුවා එකපාරටම පාලක මැදිරියට පණිවුඩයක් එවල තිබෙනවා.

“මගේ ගුවන් යානයට උඩින් අහසේ අමුතු හැඩයේ විශාල යමක් මට පේනවා. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට ඇදෙනවා කියලා.”

මේක තමයි ගුවන් නියමුවාගේ අන්තිම පණිවුඩය විධියට සටහන් වෙලා තිබෙන්නේ. පස්සේ මේ ගුවන් යානා ගැන විශාල පරීක්ෂණ කරලා තිබුණත් ගුවන් යානාවල ගියපු ගුවන් නියමුවො ගැනවත් ගුවන් යානා ගැනවත් කිසිවක් හොයාගන්න ලැබිලා නැහැ. එතකොට ඒ ගුවන් යානාවලට මොකද වුණේ? ඒකත් ප්‍රශ්නයක්.

ගුවන් යානා වගේම අඩි 400ක් විතර දිග විශාල භාණ්ඩ ප්‍රවාහනය කරපු නැවක් ඒකෙ නැවියෝ, සේවකයෝ එක්කම අතුරුදන් වෙලා තිබෙනවා. මේ නැව ගැන පරීක්ෂණ කරපු අය කියලා තියෙන්නේ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියලයි. නමුත් ඒක තවමත් අබිරහසක්.

මෙහෙම අතුරුදන් වුණ සිය ගණනක් නැව්, ගුවන් යානා අතර 1948 ජනවාරි 29 අතුරුදන් වුණ “ Star Tiger ගුවන් යානය, 1963 අගෝස්තු 28 අතුරුදන් වුණ KC – 135 වර්ගයේ ගුවන් යානා දෙක, 1999 අප්‍රේල් 14 අතුරුදන් වුණ ටොන් 450ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව, 1999 ජුනි 14 අතුරුදන් වුණ “Cessna 210 “ ගුවන් යානය ආදියත් දක්වන්න පුළුවන්.

බර්මියුඩා ත්‍රිකෝණයේ සිදු වුණ අතුරුදන් වීම් සංඛ්‍යාව කොච්චරක්ද කියනවා නම් වර්තමානය වෙනකොට ලෝකයේ බොහෝ රටවල් තම ගුවන් යානා සහ නැව්වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවලත් තිබෙනවා. එපමණක් නෙවෙයි ලෝකයේ ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම වගේ මේ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් සහ මුහුදු ගමන් රක්ෂණය කිරීමත් අත්හිටුවලා තිබෙනවා. එතරම්ම අවිනිශ්චිත ගමන් මාර්ගයක් විධියටයි ලෝකයා බර්මියුඩා ත්‍රිකෝණය හරහා යන ගමන් සලකන්නේ. මෙහි විශේෂත්වය වෙන්නේ ගුවන් යානා සහ නැව් අතුරුදන් වීමම නෙවෙයි. ඒ අතුරුදන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වීමයි. මෙතෙක් සිදු වුණ සෑම සිද්ධියකටම ඉදිරිපත් වෙලා තිබෙන්නේ අනුමාන කිරීම් විතරයි. ඒත් ඒ අනුමානයන් වුණත් එකින් එකට පරස්පර විරෝධීයි. මේ මත අතර ප්‍රසිද්ධ මත කිහිපයක්ම තිබෙනවා.

ඉන් එක මතයක් තමයි “සල මීතේන් සිද්ධාන්තය” (Methane Gas Hydrates Theory). එම එමඟින් පවසන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පතුලේ විශාල මීතේන් නිධියක් ඇති බවයි. මීතේන් කියන්නේ සරල ඇල්කේනයක්. මුහුදු පතුලේ මීතේන් නිධිගත වෙලා තිබෙන්නේ මලු විධියට නිසා සමහර අවස්ථාවලදී අධික පීඩනය නිසා මේ මලු පිපිරිලා මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය එක්ක මිශ්‍ර වෙනවා.ඒ නිසා අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසිනවා. ඒ අවස්ථාවෙ මුහුදේ යාත්‍රා කරමින් තිබෙන ඕනෑම බෝට්ටුවක්, නැවක් තත්පර 10ට අඩු කාලයකදී ගිලී යන බව තමයි පවසන්නේ. ඒ වගේම මීතේන් වායුව විශාල වශයෙන් වාතය එක්ක මුසුවීමෙන් වායුගෝලයේ ඝනත්වය අඩුවෙලා අහසේ පියාසර කරමින් තිබෙන ගුවන් යානා කඩා වැටෙනවා වගේම වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩිවී ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීම නිසා ගුවන් යානාවල එන්ජින් අක්‍රිය වෙන්නත් පුළුවන් බව සඳහන් වෙනවා.

තවත් ජනප්‍රිය මතයක් තමයි “කළු කුහර” සංකල්පය. ප්‍රායෝගිකව තාමත් මෙවැන්නක් නිර්මාණය කරන විදිහක් සොයාගෙන නැති වුණත් මේවා තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් තර්ක කරනවා. මේ හරහා කාල තරණයක් වෙන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නේ. මේ මතය උද්දීපනය කරන්න සමත් වෙන විදිහෙ ප්‍රබල සිදුවීමක් 1964 ජුනි 07 බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත කලාපයේදී සිදු වෙලා තිබෙනවා. ඇමෙරිකාවේ, කොලරාඩෝ විශ්වවිද්‍යාලය මේ පිළිබඳ ඉදිරිපත් කරන සුවිශේෂී මතය දැනට වඩාත් පිළිගත් මතය ලෙස සැලකේ. පිළිගන්න මොනතරම් අමාරු වුණත් ඔවුන් මේ පරීක්ෂණයේදී බර්මියුඩා ත්‍රිකෝණය ගැන තිබෙන සෑම පැහැදිලි කිරීමක්ම ඉතා සියුම්ව විශ්ලේෂණය කරන්න කටයුතු කරනවා. එල්ෆාරෝ නැවෙත්, 2007දී අතුරුදන් වුණ කුඩා යානාවලත් අවසන්වතාවට පටිගත වුණ පණිවුඩ විශ්ලේෂණය කරන ඔවුන් අදාළ දවස්වල චන්ද්‍රිකා ඡායාරූප එක්ක ඒව සන්සන්දනය කරනවා.

පිටසක්වළ ජීවීන් වගේ අස්වාභාවික මත අයින් කළාට පසු ඔවුන් සියලු දෙනාගෙම ඒකමතික තීරණය වන්නේ “යම් ආකාරයක සුවිශේෂී කාලගුණික තත්ත්වයක් නිසා මේ අනතුරු සිදු වෙන්න ඇති කියන කාරණයයි. ඒ අනුව කාලයක් පුරා මේ ප්‍රදේශයේ කාලගුණික දත්ත විශ්ලේෂණය කර බලන ඔවුන්ට වෙන කොහෙදීවත් දකින්න නොලැබෙන විදිහේ ෂඩාස්‍රාකාර වලාකුළු සැකැස්මක් දකින්න ලැබෙනවා. අතුරුදන්වීම් සිදු වුණ සෑම දවසකම මේ වලාකුළු විශේෂය දකින්න ලැබිලා තිබෙනවා. ඔවුන් කියන විධියට මේ ෂඩාස්‍රාකාර කෙළවරක පැයට සැතපුම් 170ක් තරම් වේගයෙන් පහළට හමන තද සුළං පහරක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එහෙම සුළං පහරක් මුහුදු පෘෂ්ඨයේ වැදුනොත් අඩි 45ක් විතර උස රැලි ඇති වෙන්න පුළුවන් කියලත් ඔවුන් කියනවා. ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන මේවගේ තත්ත්වයකදී නැව්වලට වගේම ගුවන් යානාවලටත් කිසිසේත්ම කිසිම දෙයක් කරගන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. පුදුමය කියන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ මේ ප්‍රදේශයේ පමණක් වීමයි. එහෙම වෙන්නේ කොහොමද? ඒ ඇයි? ඒකට පිළිතුරක් දෙන්න සමත් කෙනෙක් නම් තවමත්  හමුවෙලා නැහැ.

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස ගැන දැනට තිබෙන වඩාත්ම පිළිගත් මතය තමයි මේක. අන්න ඒ නිසාම තමයි බර්මියුඩා අබිරහස විසඳුවා කියලා ඔවුන් කියන්නේ. කොහොම නමුත් සාක්ෂි සහිතව ඔප්පු වෙනකන් එහෙමත් නැත්නම් වඩා හොඳ මතයක් ඉදිරිපත් වනතුරු අපිට පිළිගන්න වෙන මතය මෙයයි.

ඇමෙරිකානු වෙරළ ආරක්ෂණ ඒකකයේ ගණනය කිරීම්වලට අනුව මේ කලාපය ආශ්‍රිතව වසරකට සිදුවන අනතුරු සංඛ්‍යාව 8,000ට ආසන්නයි. 20 වැනි සියවස තුළ පමණක් මේ ආශ්‍රිතව ජීවිත දහස් ගණනක් බිලිගෙන තිබෙනවා. හැබැයි මේ භයානක අනතුරුවලින් ජීවිත ගලවගත්ත සුළු පිරිසකුත් ඉන්නවා. ඒ අතර “බෘෘස් ගර්නන් ( Bruce Gernon ) කියන ගුවන් නියමුවා ප්‍රධානයි. මොකද ඔහුට තමන් මුහුණදුන් ඒ සිදුවීම බොහොම පැහැදිලිව මතකයේ තිබෙනවා.

කොහොමහරි බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස විසඳුණා හෝ නැතිවා හෝ අද අපි මේ ලිපිය හරහා ඔබට තොරතුරු කියන්නට සූදානම් වන්නේ නම් බර්මියුඩා අබිරහස ගැන පමණක්ම නෙවෙයි. ඒ හා සබැඳි ඊට වඩා බොහොම වෙනස් සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළට යන නැව්, ගුවන් යානා එකපාරටම අතුරුදන් වුණාට කාලයත් එක්කම සමහර නැව්වල කොටස් මේ මුහුදු ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා. අන්න එහෙම හම්බවෙන රත්තරන්, රන්කාසි වගේ වටින කියන දේවල් අතරේ හම්බවෙනවා එක්තරා කුරුසයක්. එය නිකන්ම කුරුසයක් නෙවෙයි. දියමන්ති හතක් ඔබ්බවලා කැරට් 22 රත්තරනින් හදපු ගොඩක් වටින වගේම බොහොම ලස්සන කුරුසියක්.

1955 මේ කුරුසය සොයා ගන්නේ “ටෙඩ් ටකර්” කියන පුද්ගලයා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ බර්මියුඩා රජය තීරණය කරනවා තමන්ගේ මුහුදු සීමාව අතුරුදන් වුණ නැව්වල කොටස් එකතු කරලා කෞතුකාගාරයක් හදන්න. මේ ව්‍යාපෘතිය භාර දෙන්නේ මේ කියන ටෙඩ් ටකර්ට. බර්මියුඩා දූපත කිව්වට මේකේ දූපත් 181 තිබෙනවා. ඒ කියන්නේ විශාල මුහුදු සීමාවක් ඔවුන් සතුයි. ටෙඩ් ටකර් තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ සීමාවෙ දිගටම කිමිඳුම් කටයුතු කරනවා. අවුරුදු ගාණක් ඔවුන් මේ කටයුත්තේ නිරත වෙලා තිබෙනවා. ඔහු මෙහෙම කිමිඳිලා ගෙනත් දීපු දේවල් විකුණලා රජය තමන්ගෙ රජයේ ණය පවා පියවලා තියනවා කියලයි කියන්නේ. ඒ තරම් දේවල් ඔහු රජයට මේ බර්මියුඩා මුහුදු පත්ලෙන් සොයා දී තියෙනවා.

මෙහෙම කටයුතු කරගෙන යන අතරතුරේ 1951 දවසක බෝට්ටුවකින් යද්දී එක ප්‍රදේශයක වෙනසක් ඔහුට තේරෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම දැනුණ හැම අවස්ථාවකදීම ඔවුන්ට ඒ ඒ තැන්වලින් සෑහෙන දේවල් ලැබිල තිබෙනවා. ඒත් ඒ අවස්ථාවේදී යහපත් කාලගුණයක් නොතිබුණ නිසා කිමිඳුම් කටයුතු කරන්නේ නැහැ. නැවත අවස්ථාවක සොයා බලන්න හිතන් හිටියත් අවුරුදු 04ක් පමණ යනකන්ම ඔවුන්ට මේ ගැන නැවත මතක් වෙන්නෙත් නැහැ. ඒත් 1955 දවසක එකපාරටම ටෙඩ්ට මේ ගැන මතක් වෙනවා. ඊට පස්සෙ ටෙඩ් ටකර් එයාගේ කණ්ඩායමත් එක්ක මේ ප්‍රදේශයෙ කිමිඳුම්  කටයුතු කරනවා. පළමුවැනි පාරම ඔවුන්ට රත්තරන් හම්බවෙනවා. ඊළඟට රන් කාසි වගේ කෝටි ගාණක් වටින බඩු හොයාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. මේ විදිහට හය වතාවක් මේ කණ්ඩායම කිමිඳුම් කරනවා. හත් වැනි වතාවේදී ටෙඩ් තීරණය කරනවා තනියම කිමිඳෙන්න. අන්න ඒ අවස්ථාවෙදී තමයි ඔහුට මේ වටිනා රත්තරන් කුරුසය හම්බවෙන්නේ.

මේ කුරුසය හොයාගත්තට පස්සේ ඔවුන් තමන් ළග තිබෙන වාර්තාත් එක්ක හොයලා බලනවා මේ ප්‍රදේශයේ අතුරුදන් වුණ නෞකාවක් තිබෙනවද කියලා. එතනදී ඔවුන්ට දැනගන්න ලැබෙනවා “සැන් පෙඩ්‍රෝ” කියලා ස්පාඤ්ඤයේ නැවක් මේ ප්‍රදේශයේදී අතුරුදන් වෙලා තිබෙනවා කියලා. ස්පාඤ්ඤයේ ඒ කාලේ භාවිත කරපු කාසි වගේ දේවල් ඔවුන්ට හමුවුණු නිසා මේ හමුවුණේ ඒ නැවේ කොටස්ම තමයි කියලා සියයට සියයක්ම තහවුරු වෙනව.

මේ කුරුසය හොයාගත්තට පස්සේ ටෙඩ් ඡායාරූපත් එක්කම ඒ ගැන මාධ්‍යයට දැනුම් දෙනව. ඒ හෙළිදරව්වත් එක්ක ස්පාඤ්ඤයෙන් විතරක් නෙවෙයි මුළු ලෝකෙම ටෙඩ්ගෙන් මේ කුරුසය ගැන අහනවා. ඒ විතරක් නෙවෙයි එක්දහස් නවසිය පනස් ගණන්වල පවා මේ කුරුසය ඩොලර් ලක්ෂය, ලක්ෂ දෙක, ඩොලර් ලක්ෂ තුන වගේම, ඩොලර් මිලියන ගණන්වලට පවා ටෙඩ්ගෙන් ඉල්ලලා තිබෙනවා. ඒත් ටෙඩ් ටකර් අවසානේදී මේ කුරුසය බර්මියුඩා රජයටම භාර දෙන්න තීරණය කරනවා.

එහිදී රජයෙන් ටෙඩ්ට විශාල මුදලක් ලැබුණු බව වාර්තා වුණත් ඒ මුදල කොපමණද කියලා නම් සඳහන් වන්නේ නැහැ. පස්සෙ මේ කුරුසයත් මුහුදු පතුලෙන් සොයා ගත්ත අනිත් දේවල් එක්ක තැන්පත් කරනව. ලෝකෙ හැමතැනින්ම මේ කුරුසය බලන්න පිරිස එන අතරේ අවුරුදු ගණනාවකට පස්සේ එක විශේෂ අමුත්තියක් මේ කුරුසය බලන්න එනවා කියලා බර්මියුඩා රජයට දැනුම් දීමක් කරනවා. ඒ තමයි “එළිසබත් රැජින.” 1975 පෙබරවාරි 16 තමයි ඇය මේ ගමන එන්න නියමිත වෙලා තිබුණේ. මේ විශේෂ අමුත්තියගේ පැමිණීම නිසාම බර්මියුඩා රජය තීරණය කරනවා දැන් තිබෙන තැනට වඩා හොඳ තැනකට මේ කෞතුකාගාරය ගෙනියන්න.

මීට වඩා හොඳ, විශාල, අලංකාර කෞතුකාගාරයක් හදලා නැව්වලින් හමුවුණ දේවලුයි, මේ කුරුසයයි ඒක තැන්පත් කරලම පෙබරවාරි 16 එළිසබත් රැජිනට ආරාධනා කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ. ඉතිං ඔවුන් මේ හැම දෙයක්ම එකින් එක පෙට්ටිවල අහුරලා සීල් කරලා අලුත් කෞතුකාගාරයට ගෙනිහින් තිබෙනවා. පරණ කෞතුකාගාරයෙන් අරන් එන මේ පෙට්ටි ඇරලා ඒවගේ තියෙන භාණ්ඩ අලුත් කෞතුකාගාරේ අදාළ තැන්වලින් තියන්න භාරවූවේ එහි රාජකාරි කළ “වෙන්ඩි” නම් කාන්තාවටයි. ඇය වෙන කවුරුත් නෙවෙයි. මේ කුරුසිය හොයාගත්ත ටෙඩ් ටකර්ගේ දියණියයි. අනිත් පෙට්ටි වගේම මේ කුරුසය තිබෙන පෙට්ටියත් ඇරලා බලන වෙන්ඩිට මේ තියෙන්නේ ඇත්තම කුරුසයද කියලා සැකයක් එනවා. ඒ නිසාම ඇය මේක අතට අරන් බලනවා.

හැබැයි එහෙම අරන් බලද්දී කැරට් 22 රත්තරනින් හදලා දියමන්ති 07ක් අල්ලපු කුරුසය වෙනුවට එතන තිබෙන්නේ ප්ලාස්ටික්වලින් හදපු ඒ විධිහෙම ව්‍යාජ කුරුසයක්. මේකෙන් කලබලයටත් පුදුමයටත් පත්වෙන වෙන්ඩි හැකි ඉක්මනින්ම ටෙඩ් ටකර්ව මෙතැනට ගෙන්නනවා. මේ කුරුසය බර්මියුඩා මුහුදු පතුලෙන් හොයන් ආව ටෙඩ්ට ඉක්මනින්ම මේක තමන් හොයන් ආව කුරුසය නෙවෙයි කියලා පැහැදිලි වෙනවා.

කුරුසයේ අතුරුදන් වීම ගැන දැනගන්න බර්මියුඩා රජය පොලිස් පරීක්ෂණ, CID පරීක්ෂණ වගේ හැම දෙයක්ම කරලා මේ කුරුසිය හොයාගන්න ලොකු උත්සාහයක් දරනවා. හැබැයි ඒ කාටවත්ම මේ ගැන පොඩිම හෝඩුවාවක්වත් හොයාගන්න නම්  ලැබෙන්නේ නැහැ. ඇත්තටම එතකොට මේ කුරුසයට මොකද වුණේ? පරණ කෞතුකාගාරයෙන් අලුත් කෞතුකාගාරයට අරන් එන අතරතුරේදී පෙට්ටිය මාරු කළා කියලා නිගමනය කළත් ඒක කළේ කොහොමද? එංගලන්තේ මහ රැජින බලන්න එන්න නියමිතව තිබුණ කැරට් 22 රත්තරනින් හදලා දියමන්ති 07 අල්ලපු මේ කුරුසෙ ඇතුළු වටිනා භාණ්ඩවලට බර්මියුඩා රජය කොහොම නම් ආරක්ෂාවක් දෙන්න ඇතිද? එහෙම ආරක්ෂාවක් තිබියද කොහොමද මේ කුරුස මෙහෙම හෝඩුවාවක්වත් නැතුව අතුරුදන් වුණේ? කවුරු හරි මේක හොරකම් කළාද? ඒත් ඒ කොහොමද කියන එක විශාල ගැටලුවක්.

කොහොම වුණත් බර්මියුඩා රජය අවසානේදී  මේ කුරුසිය අතුරුදන් වූ බව ප්‍රකාශයට පත් කරනවා. ඒ ප්‍රකාශයෙන් පස්සේ එළිසබත් රැජින පවා ඇයගේ ඒ ගමන සම්පූර්ණයෙන්ම අවලංගු කරලා දාලා තිබෙනවා. මොකද ඇයගේ ගමනේ අරමුණ වෙලා තිබුණෙම අතුරුදන් වුණ කුරුසිය සියැසින් දැකබලා ගැනීමයි. අද තිබුණා නම් ඩොලර් කෝටි කීයක අගයක් දේවිද කියලා හිතාගන්නවත් බැරි තරම් වටිනාකමක් තිබෙන මේ කුරුසයට ඇත්තටම මොකද වුණේ? ඒක නම් අදටත් ලෝකයා ඉදිරියේ තිබෙන නොවිසඳුණු අබිරහසක්.

නදීරා හඳුගල