මිනිස්සුන්ට කන්නත් නෑ ඡන්දෙකට කොහොමද වියදම් කරන්නේ?

0
67

රටේ පවතින වර්තමාන අර්බුදය හුදු ආණ්ඩු පෙරළියකින් විසඳිය නොහැකි බවත් ඒ සඳහා මුලින්ම සාමාන්‍ය මහ ජනතාවට බලපාන මූලික අවශ්‍යතා සපුරාලන අතර ආර්ථික හා දේශපාලනික විසඳුමකට සමගාමීව ගමන් කිරීමකින් පමණක් විසඳා ගත හැකි වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය ගැන ඔබට තිබෙන විග්‍රහය කෙබඳුද? අද මේ තියෙන තත්ත්වයට රට ඇද වැටීමට මූලික වූ හේතුව ඔබ දකින විධියට මොකක්ද?

මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවට රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි විස්තරයක් කළා. ඔහු පැවැසුවා රජය විසින් බදු පහළ දැමීමට ගත් තීරණය වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) එකට යන එක ප්‍රමාද කිරීම මේ තත්ත්වයට හේතු වුණා කියලා. දැන් මේ වෙද්දී මේවා  අහල අහලාම ජනතාවට එපා වෙලා ඇත්තේ. ඒ නිසා අර්බුදය නිර්මාණය වීම ගැන මුදල් ඇමැති කියපු දේවල් ගැන එකඟ වන අතර කාබනික පොහොර ගැන කියලා මේ රටට පෝර නොගෙනෙන්නට ගත් තීරණය අද මේ තියෙන තත්ත්වය ඇති වීමට විශාල වශයෙන් බලපෑවා කියල මම හිතනවා. ණය පොලී අනුපාත 12%ක් 13%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඩොලර් සංචිත පහත වැටිලා. අනෙක් පැත්තෙන් ඉන්ධන, ගෑස් ගෙන්වන්න විධියක් නෑ. පොහොර ගෙන්වන්න විධියක් නෑ. එහෙම වුණාම ආහාර අර්බුදයක් ඇති වෙනවා. මේ ප්‍රශ්නේ තව ඔඩුදුවන්න ඉඩ තියෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුව තුළ මේ ගැන කළ හැකි යමක් තිබෙනවාද?

ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ 20 වැනි සංශෝධනය යටතේ ඉඳලායි. මෙය ගේනකොට අපි විරුද්ධ වුණා. දැන් 20 වැනි සංශෝධනය අහෝසි කරලා 21 වැනි සංශෝධනය ගේන්න යනවා. ඒක හොඳයි. මම ඒකට කැමැතියි. හැබැයි ඒක ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. මිනිස්සු හුඟාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. රැකියා අහිමි වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. ආර්ථිකය ගැන අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. 21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික විසඳුමක් නැතිනම් ජනතාව අපිට විරුද්ධව නැඟී සිටිනවා. මම කියන්නේ මේ දෙකම එකට යන්න ඕනෑ කියලායි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ආදී සියලු දේවල් ගැන කතා කරන්න කලින් රටේ දැන් තියෙන ආර්ථික අර්බුදය විස¼දාගෙන ඉන්න ඕනේ. මොකද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ. ඒ නිසා මුලින්ම තියෙන්නේ ආර්ථික ප්‍රශ්නය විස¼දා ගැනීමයි. ආර්ථික ප්‍රශ්නය විසඳුවාට පස්සේ ඒ ගැන කතා කරන්න පුළුවන්.

ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් හැම තැනම දකින්න තියෙනවා. ඉන්දියාව අපිට තවත් ඩොලර් මිලියන 200ක් ඉන්ධන ගේන්න දීලා තියෙනවා. ඉන් ඔබ්බට මොකක්ද වෙන්නේ?

ඔව්. මම හිතන්නේ ඉන්දියාව දුන්න තෙල් ප්‍රමාණය ඉවරවෙනකොට තවත් මිලියන 500ක ඉන්ධන ණයක් ආණ්ඩුව ඉල්ලලා තියෙනවා. සමහර විට එය ලැබෙයි. අනෙක් භාණ්ඩ ගෙන්වා ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලා තියෙනවා. ඒ දෙකම ලැබුණත් ජුනි මාසය වන විට එය අවසන් වෙනවා. ඒ නිසා ජුනි මැද වෙනතුරු ඉන්ධන තිබෙයි. අනෙක් භාණ්ඩ ජුනි මසය අවසන් වනතෙක් තියෙයි. එතැනින් පස්සේ මොකද වෙන්නේ කියලා තමයි බලන්න ඕනේ. දැන් තියෙන ඉන්ධන හිඟයට ඩොලර් මිලියන 500 ප්‍රමාණවත් නෑ. දැන් තියෙන ඉන්ධන හිඟය අවසන් කරගන්න අපට නැව් 4ක්වත් එකවර ගන්න ඕනේ. ඩොලර් මිලියන 500කින් අපට ගන්න විධියක් නෑ. ඉන්දියාවෙන් ලැබෙන අනෙක් බිලියනයෙන් අපට අවශ්‍ය සියලු දේ ගන්න බෑ. අපට ඕන හැමදේම ඉන්දියාවේ නෑ. ආහාර, බෙහෙත් පොහොරවලට මුදල් යොදවන්න තියෙනවා.

අගමැතිවරයාට ඉවත් වෙන ලෙස යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. එතැනින් එහාට මොකක්ද වෙන්නේ?

විපක්ෂය කියන්නේ අගමැතිටයි, ජනාධිපතිවරයාටයි දෙන්නටම යන්න කියලායි. ජනතාව කියන්නේත් ඒකමයි. ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් පාර්ලිමේන්තුවට. මොකද මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.

ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. එහෙත් චීනය ඊට එකඟ වෙලා නැති බවට තමයි වාර්තා වෙන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ?

මුලින්ම පාර්ලිමේන්තුවෙන් මධ්‍යම කාලීන හා දිගුකාලීන රාමුවක් සකස් කරන්න ඕනේ. අපි මොකද කරන්නේ කියන එක පෙන්වන්න ඕනේ. නමුත් මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා චීන තානාපතිතුමා සමඟ කතා කළා කියලා. චීනයත් දැන් මෙයට සහභාගි වෙන්න එකඟතාව පළ කළ බව තමයි එතුමා දැනුම් දුන්නේ. එක එක රටවලට එක එක අදහස් තියෙනවා. ඉතින් ඒවා විසඳා ගන්නත් කල් යනවා. සැම්බියාවේ මාස 5ක් 6ක් විතර ගියා එයාලගේ ණය ගැටලුව විස¼දා ගන්න. එක මේසයේ සාකච්ඡාවට වාඩිවුණා කියලා එය විසඳුමක් කියලා හිතන්න බෑ.

විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ මතය මොකක්ද?

අපි මුලින්ම කිව්වා TNA එකේ සුමන්තිරන් මන්ත්‍රිවරයා හදපු ජනාධිපතිවරයට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන බව. එතුමා ඒක  සජබට දුන්න කිව්වා. ඒකට අපේ සම්පූර්ණ සහාය තියෙනවා. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් පස්සේ ගන්නා පියවර මොකක්ද කියලා තමයි දැන් බලන්න තියෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස විපක්ෂයේ කණ්ඩායම් ඉල්ලනවා. ප්‍රශ්නය විස¼දා ගන්න තියෙන මාර්ගය එය කියලා හිතෙන්නේ නැද්ද?

ආර්ථිකය ඇත්තටම නරක අතට හැරෙමින් පවතින නිසාත් ආර්ථිකය ස්ථාවර කළ යුතු නිසාත් අපට දැන් මැතිවරණයකට යා නොහැකියි. පසුගියවර මැතිවරණය පැවැත්වීම සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 10. මේ පාර රජයට දෙගුණයක් වියදම් වෙයි. මිනිසුන්ට කෑම වේල පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ අපි රුපියල් බිලියන 20 සිට 25 දක්වා වියදම් කරන්නේ කොහොමද ඡන්දෙකට.

අපේක්‍ෂකයන් 266කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වන අතර ඔවුන්ගේ වියදම රුපියල් බිලියන 30, 40 දක්වා වැඩි වෙනවා. මේ වෙලාවේ කිසිම ව්‍යාපාරිකයකුටවත් බැහැ අපේක්ෂකයන්ට අනුග්‍රහය දක්වන්න මැතිවරණ ව්‍යාපාරයකට. දේශපාලන පක්ෂවලට ලැබෙන ආධාරවලින් තමයි මේවා දුවන්නේ. ඉතින් මේ වෙලාවේ පක්ෂවලට කවුරුත් එහෙම මුදල් දෙයි කියලා හිතන්න බෑ. එහෙම බැලුවාම මේ ආර්ථිකයත් එක්ක ඡන්දයකට යන එක ඉතා අමාරු වැඩක්.

රටේ ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ගෝලීය භූ දේශපාලන අර්බුදය තුළ ‍ෙදා්ලනය වෙනවා. මෙය කළමනාකරණය කරගන්නේ කොහොමද?

ආණ්ඩුව මුල සිටම මෙය කළමනාකරණය කරගත්තේ නැති නිසා තමයි අද එය අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. සෑම රටක්ම මිත්‍ර රටක් ලෙස සලකා කටයුතු කරන්න ඕනේ. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය එකම තලයක ඉන්නේ. ඉතින් මේ සියලුදෙනා අමනාප කරගෙන ඉන්නේ. එතැනදී රටක් ලෙස අපි හිර වෙනවා. ජනාධිපතිතුමා මෑතකදී තීරණය කරලා තියෙනවා සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව යළිත් ජපානයටම ලබා දෙන්න. ඒක හො¼දයි. මොකද අපිට ඒ රටවල් තරහ කරගෙන මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.

ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යන බව ලෝක ආර්ථික කළමනාකරණ සංවිධාන විසින් පෙන්වාදී තිබෙනවා. ඔවුන් කියන්නේ උද්ධමනය ඉහළ යෑම අතින් ලංකාව මේ වන විට තුන්වන තැන සිටිනා බවයි. මේ ගැන මොකද හිතන්නේ?

උද්ධමනය වේගයෙන් ඉහළ යෑම පටන් ගත්තා විතරයි. සෞභාග්‍යයේ දැක්මේ මාර්ගය මේක වෙන්න පුළුවන්. මේ යන වේගය බැලුවාම අපට ලෙබනනය අල්ලන්න පුළුවන්. එහෙම බැලුවාම මේ ආණ්ඩුව අනෙක් ආණ්ඩු නොකරපු දේවල් කරනවා. ලෝකයේ තිබෙන උද්ධමනය වැඩිම රට වෙන්න මේ යන විධියට වැඩි කාලයක් යයි කියලා මම නම් හිතන්නේ නෑ. මාස 6ක් ඇතුළත තුන්වැනි තැනට ආවා කියන්නේ පළමුවැනි තැනට එන්න එච්චර කාලයක් ගත වෙයි කියලා හිතන්න බෑ. දේශීයත්වය කියන්නේ ඕක තමයි.

අන්තර්වාර පාලනයක් ගැන කතා කරනවා. එවැනි දෙයකට ඔබ එකඟද?

ඒ ගැන මම දන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් පාලන ආණ්ඩුවක් ගැන සඳහන් වෙන්නේ නෑ. එතැනින් එහාට මොකක්ද කරන්න පුළුවන් කියලා මම දන්නේ නෑ. ආණ්ඩුවක් අවසන් වෙලා තව ආණ්ඩුවක් පත් වෙන එක ගැන තමයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ආණ්ඩුවක් අවසන් වෙලා තවත් ආණ්ඩුවක් පත් වෙන්න ගැටලුවක් මතු වුණොත් භාරකාර ආණ්ඩුවක් පත් කරන්න ප්‍රතිපාදන තියෙනවා. එතැනින් එහාට දෙයක් ගැන මම දන්නේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවන පක්ෂයට ආණ්ඩු බලය හිමිවෙනවා.

මුදල් ඇමැතිවරයා කියලා තිබුණා රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කරපු එක ඓතිහාසික වරදක් කියලා?

ඒක එතුමාගේ මතය මිසක් මගේ මතය නොවෙයි. ජනතාවගේ පැවැති ආර්ථික බර සැහැල්ලු කිරීම වෙනුවෙන් තමයි අපි එය කළේ. ඒ වගේම ඒ අවස්ථාවේදී අපි බඩු මිල පවා අඩු කෙරුවා. රාජ්‍ය සේවක පවුල් ඉන්නවා. දෙන්නෙක් වැඩ කළා නම් 20,000ක් එතැනම හම්බ වෙනවා. ඒ වෙලාවේ අපි පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්නත් කටයුතු කළා. එහෙම කරලා තමයි අපි ඉදිරියට ගියේ. ඊට පස්සේ අපි ඉන්ධනවලට මිල සූත්‍රයක් ගෙනාවා. මිල අඩු වුණාම වාසිය ආවා. වැඩි වුණාම අවාසියක් ආවා. 2020 හා 2021 ඉන්ධන මිලේ වාසියක් ආවත් එය ජනතාවට දුන්නේ නෑ. මිල වැඩිවීමේ අවාසිය පමණක් දුන්නා.

නිසි කළමනාකරණයකින් යුතුව වැඩකළොත් කොපමණ කාලයකින් අර්බුදය ජය ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?

ඒක බලන්නේ අපේ ප්‍රතිපත්ති මතයි. හරි ප්‍රතිපත්තියක් තිබුණොත් අවුරුදු දෙකකින් නිසි මාර්ගයට ගන්න පුළුවන්. ජනතාවට අවුරුදු දෙකක් තුළ සහනයක් අරන් දෙන්න නම් හැකි ඉක්මනින් ඊට අදාළ වැඩ ටික කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයට ඒ හැකියාව තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට යන්න ඕනේ. එදා අපි ටැබ් දෙන්න ගියාම කෑ ගහලා ඒක නැවැත්තුවා වඳ වෙනවා කියලා. සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමකට යන්න හැදුවාම ඒක නැවැත්තුවා රට විකුණනවා කියලා. ඉන්දියන් තෙල් සමාගම ඉවත් කරන්න කියලා කිව්වා. ඉන්දියානු තෙල් සමාගම මෙරට තිබුණේ නැතිනම් අපට මේ තරමට හරි තෙල් ලැබෙනවාද? ඉන්දියානු තෙල් සමාගම ලංකාවට ගෙනාවා කියලා අපිට කොච්චර බැන්නද? දැන් එයාලා තමයි අපිට තෙල් දෙන්නේ.

වත්මන්  තත්ත්වය දිගටම පැවැතුණහොත්, 2025දී ශ්‍රී ලංකාව කෙබඳු වනු ඇත්ද සහ ඔබට අනුව වෙන්න පුළුවන් හොඳම සහ නරකම දේවල් මොනවාද?

පවතින අර්බුදය දිගටම පැවැතුණහොත් ආර්ථිකය බිඳ වැටීමට පටන් ගන්නා අතර යථා තත්ත්වයට පත්වීම ඉතා අපහසු වෙනවා. අධි උද්ධමනය තවම පැමිණ නැති නිසා නරකම තත්ත්වය තවම පැමිණ නෑ. නමුත් හොඳම තත්ත්වය වනු ඇත්තේ මෙය දැන්ම විසඳා ගත හැකි නම්. එවැනි පියවරක් දැන්ම අරගත්තොත් 2023 වන විට තත්ත්වය ස්ථාවර කර ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන අතරම ආර්ථිකය ඉදිරියට ගෙනයන්න පුළුවන් වෙනවා.

නරකම අවස්ථාව නම්, අර්බුදය වසර දෙකකට වැඩි කාලයක් පවතිනු ඇතැයි විශ්වාස කිරීම. ඊට වැඩි කාලයක් ගත වන විට, ව්‍යවසායකයන්  සහ සමාගම් කඩාවැටීමේ වැඩි වීමක් සිදුවනු ඇති අතර රැකියා විරහිතයන්ගේ සංඛ්‍යාව සහ කුසගින්නෙන් පෙළෙන සහ මියයන සංඛ්‍යාව වැඩි වෙයි. එවැනි අවස්ථාවක් එනවා කියන්නෙම පාලනයෙන් තොර වන එක. එවිට මෙය නිරාකරණය වීමට වැඩි කාලයක් ගතවනු ඇත.

ඔබේ නායකත්වය සහ කළමනාකරණ කුසලතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මෙම අවුලෙන් ගොඩ ගැනීමට ඔබ යම් වගකීමක් ගත යුතු බවට ලොකු ඉල්ලුමක් තියෙනවා. අන්තර්වාර ආණ්ඩුවේ නායකත්වය සඳහා ඔබව අගමැති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය එකඟ වන්නේ නම් එය භාර ගැනීමට ඔබ සූදානම්ද?

ශ්‍රී ලංකාව දැන් අගමැතිවරයකුගේ පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය සුදුස්සකු සෙවීමට දැන්වීම් පළ කරන මට්ටමට පැමිණ තියෙනවා. විපක්ෂයේ සියලුදෙනාගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්විය යුතු බව. එවැන්නක් සිදුවනතුරු හෝ ආණ්ඩුවයි විපක්ෂයි ඉදිරි පාලන කටයුතු කරන්නේ කොහොමද කියන දේට එකඟතාවකට පත්වන තුරු මෙයට විසඳුමක් දකින්න බැහැ. එසේ නොවන තත්ත්වයක් තුළ විපක්ෂය කිසිසේත්ම ආණ්ඩුව සමඟ හවුල් පාලනයකට එයි කියලා මට විශ්වාස කරන්න අමාරුයි. 

මේ වෙද්දී මත එහෙමත් නැත්නම් සිදුවිය යුතු බවට විශ්වාස කරන කරුණු තුනක් සමාජය තුළ මතු වෙලා තියෙනවා. ඒ, රාජපක්ෂලා දෙන්නම යන්න ඕනේ කියන එක, රාජපක්ෂලා දෙන්නම ඉන්න ඕනේ කියන එක සහ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ ඇති වෙලා තියෙන ජනාධිපති රාජපක්ෂ බලයේ සිටිය යුතු නමුත්  අගමැති රාජපක්ෂ යන්න ඕනේ කියන එක. මේ සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ එකඟතාවක් ඔවුන් සාකච්ඡා මඟින් ඇති කරගත යුතු වෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥයන් සහ අනෙකුත් වෘත්තිකයන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ඔක්කොම අතරින් හැමෝටම පොදුවේ පිළිගත හැකි විසඳුම් මොනවද කියන එක අපිට තෝර ගන්න සිදු වෙනවා.

ඔබ බලයේ  සිටියා නම් පවතින විරෝධතා විසඳන්නේ කෙසේද? ඔබ පොලිසිය භාවිත කරනවාද නැතිනම් උසාවි නියෝග ලබා ගන්නවාද නැතිනම් ඔවුන් සමඟ සාකච්ඡා කරනවාද?

මම ආණ්ඩුවේ හිටියා නම් උද්ඝෝෂණ ඇති වෙන්නේ නැහැ. මොකද මම ආර්ථිකය ක්‍රියාත්මක වන බවට සහතික වෙනවා.

වත්මන් අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් අනාවැකි පළ කළාද?

අපි 2020 වත්මන් තත්ත්වය ගැන අනාවැකි පළ කළා. 2021 සහ 2022 සඳහා අපට ඩොලර් බිලියන 7ක් අවශ්‍ය බව සහ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට  ගොස්  මිත්‍ර රටවල සහාය ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා. නැවතත් මම 2021දී පාර්ලිමේන්තුවට පැමිණි  විට මම එය සඳහන් කළ අතර 2021 අය-වැය විවාදයේදී මම එය නැවත ඉදිරිපත් කළා. මේවා ලිඛිතව වාර්තාගත වෙලා තියෙනවා.

විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉවත් වන ලෙසයි, එය කළ හැකිද සහ ප්‍රායෝගිකද?

මාව ගෙදර යැව්වා. මම ආපහු ආවා. අනෙක් අය ගැන මම දන්නේ නැහැ. සියලුම මන්ත්‍රිවරුන් ගෙදර යැව්වොත් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් 29 දෙනා පත් වෙනවා. අනෙක් 196 දෙනා අයින් වුණාම ලැයිස්තුවේ ඉන්න ඊළඟ නම තියෙන කෙනා ඉබේම පත් වෙනවා නීතිය අනුව. එතකොට එහෙමනම් ඒ ලැයිස්තුවත්  අවසන් කරන්න.

ඇත්තටම මේ ප්‍රකාශය එන්නේ මේ පවතින ගැටලුවලට පාර්ලිමේන්තුව විධියට සම්බන්ධ නොවීම නිසා ජනතාවට දැනෙන කලකිරීම නිසා. එම තත්ත්වයට මැදිහත් වී විසඳුම් සෙවීමට අසමත් නම්  ඉවත් නොවන්නේ ඇයි කියලයි ඔවුන් අහන්නේ.  අපි මේ තත්ත්වය පිළිගත යුතුයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය ප්‍රශ්නය, මන්ත්‍රිවරුන් ඉවත් වුවහොත්, ඔවුන් සෑම විටම ප්‍රතිස්ථාපනය කළ හැකියි.

ඔබ විශ්වාසභංගය  ප්‍රමාද කළාද?

ඒක ගෙනාවා නම්, IMF එක මුදල් ඇමැතිතුමා එක්ක ඒක සම්මත වුණත් නැතත් සාකච්ඡා නවත්වනවා. කොහොමහරි ඒ පාර්ලිමේන්තු සතියේදී අපිට කොහොමත් NCM එක භාර ගන්න බැරි වුණා. ඒක මේ සතියේ ඉදිරිපත් කරන්න තිබුණා. ඒක ලෑස්ති වෙලා නෑ. මේ සතියෙ තමයි භාර දුන්නෙ. ඒක නිසා අපි හැමෝම එකඟ වුණා මිසක් ඉබ්ඕ එක පැමිණිලි කරලත් නෑ. කිසිම විදිහකින් කල් දැම්මෙත්  නෑ.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට නව අගමැතිවරයකු පත් වුවහොත් අපට අපේක්ෂා කළ හැකි වෙනස කුමක්ද?

අපි දන්නේ නැහැ. අලුත් අගමැති කවුද ගේන්නේ මොන හවුලද කියලා බලන්න ඕනේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබේ යෝජනා මොනවාද?

මුලින්ම තිරසර ණය මට්ටමක් පවත්වා ගත යුතුයි. බැංකු ආරක්ෂා කළ යුතුයි. ජනතාවට සහන ලබා දිය යුතුයි. විදේශ රටවල් සමඟ එකතු වී අපට උදවු කිරීමට සම්මේලනයක් ලබා ගත යුතුයි. මෙය අභ්‍යන්තර තත්ත්වයක් නිසා ඊළඟ උද්ධමනය සඳහා සූදානම් විය යුතුයි.  යුක්රේන යුද්ධය නිසා ඇති වූ එරට උද්ධමනය මඟින් අපට පහර වදින්න පුළුවන්.

අධි උද්ධමනය සහ මෙය සම්බන්ධ වෙනවා ඉදිරියේදී. ආහාර හිඟයක් ඇති වේ. මේ තත්ත්වය තවමත් ඇවිත් නැහැ. නමුත් එන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර සඳහා ඉහළ මිලක් නියම වෙනවා. මිනිසුන්ට වේල් දෙකක්වත් කන්න බැරි වෙන තත්ත්වයක් එන්න තියෙන ඉඩ වැඩියි.

ගගනි වීරකෝන්

ඡායා – අමිත තෙන්නකෝන්