මහරහතුන් වැඩ සිටි  අරන්කැලේ

0
114

ඔබත් ඔබගේ අවිවේකී ජීවිතයෙන් මඳකට මිදී නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් කරා ගමන් කිරීමට කැමැති අයෙක්ද? එසේ නම් මෙවර සංසාර අතිරේකය තුළින් අප ඔබ වෙතට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මනසට නිදහස් සහ ආධ්‍යාත්මික සුවයක් ගෙන දිය හැකි අපූරු ස්ථානයක් පිළිබඳවයි.

මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ “අරන්කැලේ ආරණ්‍ය සේනාසනය” යනුවෙනි. නිදහස් නිස්කලංක සිල්වත් හරිත වර්ණයෙන් හෙබි සුන්දර වටපිටාවකට හිමිකම් කියන අරන්කැලේ ආරණ්‍ය සේනාසනයට පියනඟන ඔබට ඔබගේ ජීවිතයේ විඩාබර බව සම්පූර්ණයෙන්ම දුරු කොට සිසිල් ප්‍රබෝධමත් බවක් නිසැකයෙන්ම ළඟා කරගත හැකි බව අපගේ විශ්වාසයයි.

රක්‍ෂිත වනාන්තරයකට මායිම්  වූ මෙම පුරාණ ආරණ්‍ය සේනාසන භූමිය හුදෙකලා භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටින සිල්වත් ස්ථානයක් ලෙස  ප්‍රකටය. එමෙන්ම මෙම භූමියේ දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටබුන් නිසා ඓතිහාසික වටිනාකමක්ද මෙම ස්ථානයට එක්වී තිබීම තවත් සුවිශේෂී කරුණකි.

අරන්කැලේ යන වචනය තුළම සුවිශේෂී අර්ථයක් ගැබ්ව ඇතැයි ඔබට පැහැදිලි වේවි. ඇත්ත වශයෙන්ම අරහත් වූ භාවනානුයෝගී භික්‍ෂුන් වැඩ සිටින ප්‍රදේශයක් ලෙසින් ප්‍රකට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අරන්කැලේ ආරණ්‍ය සේනාසනයට මෙම නම පටබැඳී ඇති ආකාරය කියැවෙන ජනප්‍රවාදයේ අදහස්ද දෙවිධියක් පවතී.

අරහත් යන වචනය උපුටාගෙන අරං යන්නත් අරහතුන් රැකදුන් කැලය යන්නෙන් කැලය ලෙසද රැගෙන එක් නමක් පටබැඳී ඇත.

ආරාමය යන වචනයෙන් ආරාමය යන වචනයද වනාන්තරය යන වචනයේ ඇති කැලය යන අර්ථය අනුවර්තනය වී අරන්කැලය යන ලෙසින්ද මෙම නම පටබැඳී ඇත යන්න එම ජනප්‍රවාද දෙකයි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම ස්ථානයට අෑත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා සඳහා ඉදිකළ ආරණ්‍ය සේනාසන අතර ප්‍රධානතම තැනක් හිමි වේ. කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව නගරයට පැමිණ මඩගල්ල මාර්ගයට පිවිසීමෙන් පසුව කුඹුක්ගැටේ මංසන්ධියට පැමිණ වාරියපොළ මාර්ගයේ කි.මී. 2ක් පමණ දුරක් ගමන් කළ පසු මෙම ස්ථානයට ළඟා විය හැකිය. එමෙන්ම මේ සඳහා ප්‍රවේශ වීමට තවත් විකල්ප මාර්ගයක්ද පවතී. එනම් වාරියපොළ නගරයේ සිට කුඹුක්ගැටේ මාර්ගයේ කි. මී. 12ක් පමණ ගමන් කළ පසු මෙම ස්ථානයට ළඟා විය හැකියි.

එසේම මීට ශතවර්ෂ ගණනාවකට පෙර මෙම වනය තුළ මලියදේව නම් රහතුන් වහන්සේ නමක් වැඩ වාසය කළ නිසාවෙන් මෙම භූමියේම පිහිටා තිබෙන ආරණ්‍ය සේනාසනය මලියදේව ආරණ්‍ය සේනාසනය නමින් නම් කොට ඇති බවත් පුරාවෘත්තවල සඳහන්ය.

මෙම ආරණ්‍ය සේනාසනය තුළ වැඩ වාසය කරන භික්‍ෂුන් වහන්සේලා අල්පේච්ඡතාව ප්‍රගුණ කළ භික්‍ෂුන් වහන්සේලා වන අතර ඔවුන් වනගත ගුහා ආශ්‍රිතව භාවනානුයෝගී ජීවිතයක් ගත කරති. ඉතා සරල අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කරන නිසා ඔවුන් දරා සිටින සිවුරු ආදිය පවා ඔවුන් විසින්ම කඩමලු වැනි රෙදි කැබැලිවලින් නිෂ්පාදනය කරගත් ඒවාය.

ක්‍රි. පූර්ව 6 වැනි සියවසේදී ඉදි කළ ආරාමයක් වන මෙහි එකල සිට භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා රැසක් වැඩ සිටි බව සඳහන් වේ.

මෙය ශ්‍රී ලාංකේය පුරාණ ගෘහ නිර්මාණ ශිල්පය මනාව පෙන්නුම් කරන ස්ථානයක් වන අතර භික්‍ෂුන් වහන්සේලාට භාවනානුයෝගීව වැඩ සිටීමට අවශ්‍ය ප්‍රධාන ඝර නොහොත් භාවනා කුටිද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.

ස්වාභාවික වන අරණකට මැදිව පිහිටා ඇති මෙම බෞද්ධ සංඝාරාමය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පඨානඝර නොහොත් ආරාම ගෘහයන්, ඡන්තාඝර, සක්මන් මළු, පොකුණු, දිය අගල් හා පැරණි ගෘහ ඉදිකිරීම් රාශියක්ම පිහිටා ඇත. එමෙන්ම මෙම සියලුම ඉදිකිරීම් මනා වූ ගෘහ නිර්මාණ සැලැසුමකට නැතිනම් පිළිවෙළකට ඉදිකර තිබීමත් තවත් විශේෂත්වයකි.

මෙම ස්ථානය තුළ භාවනානුයෝගීව වැඩ වාසය කරන්නාවූ භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදිකරන ලද පැරැණිතම සංඝාරාමයක් බවටත් හඳුනාගත හැකි ලකුණු තවමත් ඉතිරිව තිබේ. එනම් මෙහි පිහිටා තිබෙන ඉපැරණි ගොඩනැඟිලිවල නටබුන්

ක්‍රි. ව. 8-10 අතර සියවස්වලට අයත් බවටත් තහවුරු කොට ගෙන ඇති අතර කටාරම් කෙටූ ලිපි සහිත ලෙන්වලට අනුව මෙම සංඝාරාමය ක්‍රි. පූ. 2 වැනි සියවසේ සිට ක්‍රි.ව. 1 වැනි සියවස අතර කාලයේදී ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද දැනට හමුව ඇති ඓතිහාසික සාධකවලට අනුව මෙම සංඝාරාමයෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල් කාලයක් අයත් බවත් ගම්පොළ රාජධානි සමය වන විටදී මෙහි ආගමික වතාවත් ඇතුළු සියලුම ආගමික වත්පිළිවෙත් ආදිය සිදුවූ බවටත් සාධක හමුව තිබේ.

මෙම ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ඔබට ඔබගේ මනසට සුවයක් ගෙන දෙමින් මනස සුවපත් කර ගැනීම උදෙසා භාවනා කිරීමේ හැකියාවද ඇත.

දිවයින පුරා විසිරී පැතිරී සිටින සැදැහැවත් බෞද්ධ ජනතාව හට උතුම් ධර්මය ශ්‍රවණය කිරීම උදෙසා මෙම ස්ථානය ඉතාම ප්‍රසිද්ධය.

නමුත් දැනට මෙම ආරණ්‍ය සේනාසනය තුළ දුර බැහැර ප්‍රදේශයන්හි සිට පැමිණෙන ගිහි සැදැහැවතුන් සඳහා නේවාසිකව හිඳිමින් ධර්මානුයෝගීව කටයුතු කිරීම තරම් නේවාසික පහසුකම් නොමැති වීම විශේෂ අඩුපාඩුවකි. එසේ වුවද පොහොය දිනවලදී සුපුරුදු පරිදි අදාළ වත්පිළිවෙත් සහ දාන, ශීල,භාවනා වැඩසටහන් මෙම ආරණ්‍ය සේනාසනය තුළ නොනවත්වාම පැවැත්වේ. ඊට අමතරව දැනට මෙම ආරණ්‍යය සේනාසනය තුළ ස්වාමීන් වහන්සේලා 15 නමක් වැඩවාසය කරන අතර දිනපතා ධර්ම දේශනා සහ දාන, ශීල, භාවනා වැඩසටහන් ආදිය පැවැත්වෙන බවත් අප හට දැනගන්නට ලැබිණි.

එනිසා ඔබත් මෙම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය සමඟ සම්බන්ධ වීමට අපේක්‍ෂා කරන අයෙක් නම් සෑම පොහෝ දිනකදීම පැවැත්වෙන අදාළ වැඩසටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එනිසා සුදුසු පරිදි චාම් සුදු පැහැති ඇඳුමකින් සැරසී පොහෝ දින ධර්මදේශනා ආදියට සහභාගි වීමට පින් කැමැති ඔබටත් හැකියාව පවතී.

අරන්කැලේ මලියදේව ආරණ්‍ය සේනාසනයට සම්බන්ධ වී බණ භාවනා කටයුතු සිදු කිරීමට ඔබත් කැමැති නම් 0710891832 යන අංකය හරහා ඒ සඳහා ඔබට වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

දිනූෂා මනෝරි නිශ්ශංක

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.