මම දේශපාලන පක්ෂවලට කඩේ ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ

0
110

සංගීතය යනු විශ්ව භාෂාවකි. අපට සංගීතයෙන් පැහැදිලිව සමාජ ශෝධනයක් සිදුකළ හැකිය. දූෂණයෙන්, වංචාවෙන්, අධර්මයෙන් සහ නොමිනිස්කමින් පිළුණු වුණු සමාජයකට සංගීතයෙන් කළ හැකි දේ බොහෝය. බාචි සුසාන් රසිකයන් අතර ප්‍රසිද්ධ වී සිටින්නේ උච්ච ස්වර ගීත ගායනා කරන ශිල්පියෙක් ලෙසටය. නමුත් ඔහුගේ නවතම නිර්මාණ හරහා ඔහු උත්සාහ කරනුයේ යථාර්ථවාදී ජීවිතයේ පැති කිහිපයක්  රසික සිතට සමීප කිරීමෙන් ඔවුන්ව යහමඟට ගැනීමටය. ඉතින් මෙවර හදගැස්ම අතිරේකය වෙනුවෙන් බාචි සුසාන් සමඟ සුහද කතාබහක යෙදීමට අප සිතුවා.

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

අද රටේ තිබෙන තත්ත්වය පිළිබඳව ඕනෑම කෙනෙක් දන්නවා. ඒ නිසා අපි සෑම දෙනාම බොහොම අසීරු කාලයක් තමයි මේ ගෙවා දමමින් සිටින්නේ. මේ තත්ත්වය මත සංගීතඥයන්ට නිර්මාණ කටයුතු සිදු කරන්න නිදහස් මානසිකත්වයක් නැහැ. මිනිස්සුන්ට ගීත අහනවට වඩා මේ වෙලාවේ විසඳගන්න ප්‍රශ්න ටිකක් තිබෙනවා. ගතවන්නේ අඳුරු කාලයක් වුවත් මගේ නිර්මාණ කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබ සිදු කරන නිර්මාණ ගැන පැවසුවහොත්?

මගේ විනෝදාංශය වන්නේ සංගීත නිර්මාණ කටයුතු සිදු කිරීමයි. ඒ නිසා කුමන ප්‍රශ්න පැමිණියත් මගේ නිර්මාණ කටයුතු සිදුකරනවා. පසුගිය කාලයේදී මගේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකළා. ඒ නිසා ගීත ගායනා කරන්නට බැරි තත්ත්වයක් පවා උදා වුණා. නමුත් මම වෛද්‍යවරුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ක්‍රමානුකූලව ප්‍රකෘති තත්ත්වයට පැමිණියා. මම මේ වන විට නිර්මාණ 30ක්, 40ක් වගේ සිදු කරලා තිබෙනවා. එම ගීත මෙතෙක් මා සිදුකළ ගීතවලට වඩා තරමක් වෙනස් නිර්මාණයි.

මොකක්ද එම ගීතවල තිබෙන සුවිශේෂත්වය?

අද ලෝකය දෙස බැලූ පසු බලය වෙනුවෙන් රටවල් ආක්‍රමණය කරනවා. යුද්ධ කරනවා, එකිනෙකා මරා ගන්නවා. යුද්ධයක් නොමැති වුවත් ලංකාවේ තත්ත්වයත්් ඊට වෙනස් නැහැ. වර්තමානය වනවිට මිනිස්සු මනුෂ්‍යත්වයෙන් ගොඩක් ඈත්වෙලා සිටින්නේ. මිනිස්සු නිතරම උත්සාහ කරන්නේ අමතර දේවල් රැස් කරගෙන මරණය තෙක් රැගෙන යෑමට. ආගමෙන්, දර්ශනයෙන් පිට මිනිස්සු හැසිරෙන නිසා ඔවුන්ගේ සිත් යහමඟට ගැනීමට සංසාර චක්‍රය ගැන, ජීවිතය ගැන, යථාර්ථ ලෝකය ගැන තමයි ඒ ගීත නිර්මාණය කළේ.

ඇයි එවැනි නිර්මාණයක් කරන්නට සිතුවේ?

මම සිතනවා එය සංගීත ශිල්පියකුගේ වගකීමක්. අපට දැනුම වැඩිවන විට වැටහෙනවා සංගීතයෙන් ඇත්තටම ලෝකයට කරන්න පුළුවන් මොනවාද කියලා. එතැනදී වාණිජ අරමුණින් බැහැර වෙලා මානුෂීය ගුණධර්මවලට මූලිකත්වය දිය යුතුයි. මොකද එය සමාජ සේවයක්ද වෙනවා.

“මා නොවන මම” වැඩසටහනින් පසුව රසිකයන් ඔබ කෙරෙහි තබාගෙන සිටි ප්‍රතිරූපය වෙනස් වුණා කිව්වොත්?

මම කොහොමත් කැමැති ක්ලැසිකල් සංගීතයට. මම හදාරලා තිබෙන්නෙත් රාගධාරී සංගීතය. බොහෝ දෙනෙක් ගායනා කරන්නේ එකම Tone එකකින් එකම ශෛලියක ගීත. නමුත් මම එක විදිහට සිටින කෙනෙක් නොවෙයි. මට අවශ්‍ය කරන්නේ මගේ කටහඩින් වෙනස් රසයක් ලබාදීමටයි. ගීතයක් ගායනා කරන විට “ආ මේ බාචි සුසාන්ද” කියලා රසිකයා අසන තත්ත්වයට ගීත ගායනා කරන්න මම කැමැතියි. එලෙසින් පසුගිය දිනකදී මා නොවන මම වැඩසටහන තුළ ගායනා කළේ මට රසවිඳිය හැකි මම ආදරය කරන ගීතයි.

ඔබ සිතන විදිහට ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය යුතු නමුත් එලෙස ඇගයීමට ලක් නොවී සිටින ශිල්පීන් සිටිනවාද?

මම සිතන්නේ සිටිනවා. සංගීතය පිළිබඳ මනා දැනුමක් සහ අධ්‍යයනයක් තිබෙන ශිල්පීන් ක්ෂේත්‍රයේ ඉහළට පැමිණ නැහැ.

එයට හේතුව ලෙස දකින්නේ කුමක්ද?

රටක් විදිහට අපි කිසිම දිනයක සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්නේ නැහැ. සංගීත ක්ෂේත්‍රයට පමණක් නොවෙයි, ඕනෑම ක්ෂේත්‍රයක මෙය පොදු තත්ත්වයක්.  ගොඩක් අය අද මනුෂ්‍යත්වයට වඩා සලකන්නේ මිල මුදලට. ලංකාවේ තරම් අනෙක් මිනිස්සුන්ට අපහාස කරන ජාතියක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ. මම ආගම් නොමැති රටවලට පවා ගිහින් තිබෙනවා. ඒ රටවල තිබෙන්නේ System එකක් විතරයි. නමුත් ඔවුන් ඒ System එක ඇතුළේ අපට වඩා දියුණුයි. අපි හැමෝගෙම වැරැදි තිබෙනවා. වැරැදි තිබෙන අය තවත් කෙනකුගේ වැරැද්දක් සොයාගෙන ඔවුන්ව පීඩනයට පත් කරලා විනාශම කරලා දානවා. සිංහල ජාතිය හරි අමුතු ජාතියක් කියන්නෙත් ඒ නිසයි.

Little Star විනිසුරුවරයකු ලෙස කටයුතු කරන අත්දැකීම කොයිවගේද?

ඇත්තටම මම එය කරන්නේ මිල මුදලක්වත් බලාපොරොත්තු නොවී බොහොම ආසාවෙන්. අපේ රටේ සිටින දරුවෝ හරිම දක්ෂයි. නමුත් ඒ දරුවන්ට නිසි මඟපෙන්වීමක් අවශ්‍යයි. ඔවුන්ගේ මනස ගොඩනඟලා, ආකල්ප සංවර්ධනය කිරීම සමාජ මෙහෙවරක් කියලා මම සිතනවා.

කලාකරුවකු ලෙස අද සිටින තත්ත්වය ගැන තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම, මම මේතාක් අපක්ෂපාතීව මගේ රසිකයා වෙනුවෙන් ගීත ගායනා කරලා තිබෙනවා. මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ ගිහිල්ලත් නැහැ. අනාගතයේ යන්නෙත් නැහැ. ඇතැම් අවස්ථාවන්වලදී මම වෙනුවෙන්ම ගීත නිර්මාණය කරලා විශාල මුදලකට ඒවා ගායනා කිරීමට අවස්ථා ලැබිලා තිබෙනවා. නමුත් මම ඒ කිසි දෙයක් භාර ගත්තේ නැහැ. මම විශ්්වාස කරන්නේ ගායකයා ගයන්න ඕනෑ. දේශපාලනඥයා දේශපාලනය කරන්න ඕනෑ. ඔය දෙක පටලවා ගත්තොත් අවුලක් වෙනවා. අද ක්ෂේත්‍රයේ ඕනෑ තරම් සිටිනවා මුදලට තම ආත්මය පාවලා දුන් ශිල්පීන්. මම එහෙම නැති නිසා මම මගේ ගැන තෘප්තිමත් වෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

පළමුවැනි බලාපොරොත්තුව වන්නේ රටේ තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය යහපත් අතට හැරේවි යන්නයි. අද ලංකාව සිටින්නේ ඉතාමත් දරුණු තත්ත්වයක. අපි දේශපාලනික වශයෙන් නිවැරැදි සිස්ටම් එකකට වැටුණේ නැත්නම් ලංකාව නැවත කිසිදාක ගොඩනඟන්නට නොහැකි වේවි. අපි අපේම මිනිසුන්ට වළකපාගෙන යන මේ ක්‍රමය මුල සිටම වෙනස් වෙන්න ඕනෑ කියලා මම සිතනවා. රටට ඇත්තටම ආදරය කරන පිරිසක් මේ රට භාරගත යුතුයි. එවැනි ගුණ ධර්ම හෙබි සමාජයක ජීවත් වෙන්න ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.

දුමිඳු ලංකා බණ්ඩාර

ඡායාරූප – අශාන් ගමගේ