පාලකයන්-වෘත්තීය සමිතිි මේ අර්බුදයෙන් වාසි ගන්න හදනවා

0
99

වැඩ කරන ජනයා දිගුකාලීන වර්ජන වෙත යොමුවීමට ඉඩදීමෙන් පවතින ආර්ථික අර්බුදය තවත් දරුණු විය හැකි බැවින් දැන්වත් ජන හඬට කන්දෙන්නැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය (JAAF) ජනපති, අගමැති ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

රටේ ජනතාව දෛනිකව හෙම්බත් වන කිසිදු ගැටලුවකට පාර්ලිමේන්තුවෙන් හෝ පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයාගෙන් හෝ කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ඇති බව පෙනෙන්නට නැතැයිද අරගලයක යෙදෙන ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී  ලංකිකයන්ගේ පරමාධිපත්‍යයේ හඬට සවන්දෙනු මිස වෙනත් කිසිදු විකල්පයක් මේ මොහොතේ නැතැයිද එම සංසදය පවසයි.

එමෙන්ම දිගුකාලීන වර්ජනයක් වෙත තල්ලුවීම විනාශය ඉක්මන් කරන්නක්  මිස අර්බුදයට විසඳුමක් නොවන්නේ යැයි කියන එම සංසදය වෘත්තීය සමිති ව්‍යාපාරයට හෝ දේශපාලන පක්‍ෂයට අත්වන වාසියට අවධානය යොමු කරනු වෙනුවට පොදු යාන්ත්‍රණයක් වෙත යොමු වන්නැයි සියලු පාර්ශ්වයන්ට බල කරන්නේ යැයිද සිය නිවේදනය මඟින් පවසයි.

දිගුකාලීන වර්ජනයක් වෙත ජනතාව රැගෙන යන පාලන තන්ත්‍රය සහ වෘත්තීය සමිති ප්‍රජාවද මෙහි අනිටු ප්‍රතිවිපාක ජනතාවගෙන් සැඟවීම කිසිදු පලක් නොවන අතර සමස්ත ආර්ථික දේහය අඩපණ වීමෙන් තවත් දරුණු ප්‍රතිවිපාක වඩාත් ඉක්මනින් විඳ ගැනීමට සමස්ත රටේ ජනතාවට සිදුවනු ඇතැයි විදේශ විනිමය උත්පාදනය කරන ක්‍ෂේත්‍රයක් ලෙස තමන් තරයේ විශ්වාස කරන්නේ යැයිද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ජනාධිපති, අගමැති ඇතුළුව පාලන බලය හොබවන පිරිස ජනතා පරමාධිපත්‍යයේ හඬට සවන් දිය යුතු අතර තම පක්‍ෂයේ හෝ අනාගත බල ව්‍යාපෘතියේ පුද්ගල ප්‍රතිරූප නැංවීමට වඩා මහජන විශ්වාසයට හේතුවන යහපත් රාජ්‍ය පාලන ව්‍යුහයක් නොපමාව ගොඩනැංවිය යුතු යැයිද එහිදී ආණ්ඩුව අර්බුදයට පිළියම් සොයනු විනා අර්බුදයෙහි කොටස්කරුවකු නොවිය යුතු යැයිද එහි සඳහන් වේ.

රටේ ආර්ථික දේහය නිරෝගීව පවත්වාගෙන යෑම සඳහා අපනයන අංශය ඇතුළුව සමස්ත පෞද්ගලික අංශයට බාධාවකින් තොරව සිය දායකත්වය එලෙසම ලබාදීමට සහාය ලබාදිය යුතු යැයිද විධායකයේ විධාන ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවය කාර්යක්‍ෂම හා කඩිනමින් අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාවේ යෙදවිය යුතු යැයිද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පවසයි.

ආණ්ඩු ගණනාවක වැරැදි සමාජ ආර්ථික තීන්දු තීරණයන්හි දුර්විපාක කාලාන්තරයක් අප වෙත පීඩාකාරී අභියෝග එල්ල කරනු ඇති බැවින් ආර්ථික දැති රෝද ගලවා දැමීම වෙනුවට ඒවා පෙර නොවූ විරූ වේගයකින් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාලන තන්ත්‍රයට සමස්ත මහජනතාවටත් පැවරෙන්නේ යැයිද එම නිවේදනයේ කරුණු සඳහන් වේ.

එනිසා අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මාර්ගය රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්කර ගැනීම පමණක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය ලෙස යළි යළිත් අවධාරණය කරන අතරේම මේ සඳහා වන ආදර්ශය බලයේ සිටින නායකත්වය ලබාදිය යුතු යැයිද ඔවුන් ජනතා පරමාධිපත්‍යයේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බව අවසන් වශයෙන් අවධාරණය කරන්නේ යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බිඟුන් මේනක ගමගේ