නියෝජ්‍ය කථානායක නාඩගමේ තිරයේ පිටුපස ඇත්ත කතාව

0
68

කෝට්ටේ  ජයවර්ධනපුර ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව අවට මං මාවත්වල දහස් ගණන් සිසුන් පෙළපාළි දක්වද්දී ඔවුන්ට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර එල්ල කරමින් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා පත්කර ගැනීම සඳහා නැටූ නාඩගම සම්බන්ධයෙන් රටේ පුරවැසියන් තුළ මහත් කෝපාග්නියක් දැල්වී තිබේ.

ආර්ථික අර්බුදය මැද පුරවැසියන් මුහුණ දෙන ජීවන ගැටලු කිසිවකට විසඳුම් ලැබී නැති අතර තරුණ ජනයා දිවා රාත්‍රි වීදියෙහි ගෙනයන අරගලය දිනෙන් දින තීව්‍ර වෙමින් තිබේ. සැබෑ ලෙසම රට මුහුණදී සිටින අවාසනාවන්ත තත්වයට වගඋත්තරකරුවා වන ආණ්ඩුව අභ්‍යන්තරයේ සිදු වන්නේ කුමක්ද? පාර්ලිමේන්තු සැසි වාර තුනක්ම ජනතා ප්‍ර‍ශ්නවලට කිසිදු විසඳුමක් ඉදිරිපත් නොකළේ ඇයි? විපක්ෂය කරන්නේ කුමක්ද? දේශපාලන ලෝකයේ අභ්‍යන්තරයේ සිදු වෙන දේ පිළිබඳව පුරවැසියන්ට පැහැදිලි අවබෝධයක් නැත.

ආණ්ඩුව ජාතික වශයෙන් රට මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධව සෘජුව මැදිහත්වීමක් සිදු නොකරන බවත්, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පෞද්ගලික මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගේම් ගසමින් සිටින බව කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල රටට හෙළි කළේ මේ අතරය. එහි ප්‍රතිඵලය වූයේ 2022 මාර්තු 03 වැනිදා විමල් හා ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හැරීමය.

රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් පාර්ලිමේන්තුවට නොදන්වා, ආණ්ඩු පක්ෂයට නොදන්වා, කැබිනට් මණ්ඩලයට නොදන්වා, අත්තනෝමතික තීන්දු ගන්නා බව විමල් හා ගම්මන්පිල හිටපු ඇමැතිවරු රටටත්, ජනතාවටත් හෙළි කළහ. මේ තත්ත්වය ආණ්ඩුවේ ප්‍රබලයන් හා ඔවුන් අතර ප්‍රතිරෝධයන් උත්සන්න කිරීමට හේතු විය.

විමල් හා ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ 11 සන්ධානයේ මාධ්‍ය හමු සඳහා විශේෂ ජනතා අවධානයක් යොමු වෙමින් තිබියදී අප්‍රේල් 2 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පක්ෂ 11 නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා ඇරියුම් කළේය. එම සාකච්ඡාවට විමල්, ගම්මන්පිල හා ටිරාන් සහභාගි වූහ. මෙම හමුවේදී ඔවුන් විසින් ජනාධිපතිවරයාට දැඩි ලෙස අවධාරණය කළේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ තවදුරටත් කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටී නම් කිසිදු පදනමකින් තමන්ට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට එකඟතාව පළ කළ නොහැකි බවය.  මතුව තිබෙන තත්ත්වයට හොඳම විකල්පය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ඉවත්ව අන්තර්වාර පාලනයක් ගොඩනඟා ගැනීම සඳහා පසුබිම සකසා දීම බවය.

පසුදින එනම් 3 වැනිදා උදෑසන තේ පානය සඳහා අගමැති මහින්ද රාජපක්‍ෂ ඔවුන්ට ඇරියුම් කළේය. එහිදී කෙරුණු කතාබහද ඉතා සාධනීය තත්ත්වයක පැවැතුණි. අගමැති තනතුරෙන් ඉවත් වීමට මහින්ද කැමැත්ත පළ කළේය.

ඉදිරිපත් වූ කරුණුවලට ජනපතිගේ කැමැත්ත පළවූ අතර 3 වැනිදා එනම් ඉරිදා දින අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියද සකස් කෙරිණි.

එදින සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද හමුවූ අතර එම සාකච්ඡාවේදී තත්ත්වය සම්පූර්ණයෙන් වෙනත් අතකට පෙරළිණි. අගමැතිවරයා ඉවත් විය යුතු නැති බවත්, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අවකාශය ලබා දෙමින් තමන් ඇමැති තනතුරුවලින් ඉවත් වන බවත් ඇමැතිවරු ප්‍රකාශ කළහ. ඒ සමඟම ඉල්ලා අස්වීමේ ලිපිද සකස් වූ අතර අස්සන් තබන ලද ලිපි  ජනාධිපතිවරයා වෙත යොමු විය. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු දින දෙකක් ඇතුළත ජනපති විසින් අලුත් කැබිනට් මණ්ඩලයක් ද පත්කරන ලදී.

රට තුළ ඉන්ධන, ගෑස් අර්බුදය උත්සන්න වූ අතර රට පුරා ජනතාව පෝලිම්වල තැවෙන්නට විය. ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් විය යුතු බවට උද්ඝෝෂණ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තීව්‍ර වූ අතර ගෝඨා ගෝ ගමද බිහි විය. එහෙත් පක්ෂ 11ක සන්ධානය ඉදිරිපත් කළ අන්තර්වාර පාලනය පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වූයේ නැත.

පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරෙන බව ප්‍රකාශ කළද එය දිනෙන් දින පස්සට යමින් තිබිණ. මේ අතර අගමැති මහින්ද හිටි අඩියේ ප්‍රකාශ කළේ තමන් අගමැති තනතුරෙන් ඉවත් වන බව හා ඒ වන විටත් ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින මන්ත්‍රි කණ්ඩායමේද සහයෝගය ඇතිව විපක්ෂ නායක ධුරයට පත්වන බවය.

මහින්ද විපක්ෂ නායක වන බව ප්‍රකාශ වීමෙන් ඉතා බරපතළ අන්දමින් කලබලයට පත්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. ජනාධිපතිකම, අගමැතිකම, කෙසේ වෙතත් විපක්ෂ නායකකමද  අහිමිවී යෑමේ අවදානම නිසා ඔහු තැති ගැනී සිටියේය. මේ සිදුවීම වන විට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු දසදෙනකු වෙනම ස්වාධීනව සිටි අතර අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඔවුන්  සාකච්ඡාවකට කැඳවන ලදී.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු දහදෙනා සමඟ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද කළ සාකච්ඡාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතාබහ ඇති වූ අතර විපක්ෂ නායක සජිත් ඊට සහයෝගය නොදීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු විය. මේ අවස්ථාවේදී අගමැති මහින්ද ඔවුන් සමඟ පැවැසුවේ මම සජිත්ගේ අම්මා හේමා ප්‍රේමදාස සමඟ මේ ගැන කතා කරන්නම් එවිට සජිත්  ඇහුම්කන් දීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

අගමැති මහින්ද විපක්ෂ නායක සජිත්ගේ මව වූ හේමා ප්‍රේමදාස හමු වූ ප්‍රවෘත්තිය හිරු, දෙරණ මාධ්‍යවලද ප්‍රචාරය විය. මෙම සිදුවීමෙන් දිනකට පසු රාජපක්ෂ පවුලේ සහෝදරයන් හතරදෙනා වන චමල්, මහින්ද, ගෝඨාභය, බැසිල් ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේදී හමුවී තිබේ. එම සාකච්ඡාවෙන් පසු දිවා භෝජනය සඳහා රැඳී නොසිටි මහින්ද අරලියගහ මන්දිරයට ගොස් තිබුණේ තවත් විශේෂ සාකච්ඡාවක් සඳහාය. එම විශේෂ සාකච්ඡාව සඳහා අමුත්තන් දෙදෙනකු සහභාගි වී සිටියේය. ඔවුන් නම් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් සහ නීතිඥ සුමන්තිරන්ය.

මේ දිනවල දේශපාලන ලෝකයේ  තිරය පිටුපස සිදුවන රහසිගත හමුවීම් හා කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත්භාවයක නැත. අගමැති මහින්ද, සජබ සහ ටී.එන්.ඒ. කිසියම් සම්මුතියක පිහිටා ක්‍රියා කරන බවට සැක කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබේ.

ආණ්ඩුවට එරෙහිව මහ පාරේ පවතින විරෝධය පාර්ලිමේන්තුව තුළ කුළුගැන්වීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයටය. ඒ සඳහා ව්‍යවස්ථානුකූලව ගත හැකි ඉතාම නිවැරදි පියවර වන්නේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කොට එය ජයග්‍රහණයට පත් කිරීමය. පක්ෂය 11 සන්ධානයේ නියෝජිතයන් සහ ස්වාධීන  කණ්ඩායමේ නියෝජිතයනුත් එක්වී කථානායකවරයා වෙත භාරදීම සඳහා විශ්වාසභංගයක් සකස් කරන ලදී. එම විශ්වාසභංග යෝජනාව සජබ සමඟ මෙන්ම ජවිපෙ සමඟද සාකච්ඡා කොට එකඟතාවකට එළඹ තිබිණි.

මේ වන විට අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව කෙරෙහි රට තුළ දැඩි අවධානයක් යොමුව තිබූ අතර මහ නායක හිමිවරු වහාම අන්තර්වාර පාලනයට යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා තිබිණි. මැතිවරණ කොමසාරිස්වරයාද අන්තර්වාර පාලනයක් අනුමත කර තිබූ අතර කෙටි කාලයක් සඳහා අන්තර්වාර පාලනයකට ගොස් මහ මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කමද යෝජනා කර තිබිණි. ශ්‍රී  ලංකා නීතිඥ සංගමයද අන්තර්වාර පාලනයක් පිහිටුවීමේ වැදගත්කම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි. නමුත් ආණ්ඩුව විවිධ සාකච්ඡා කැඳවමින් දෙපැත්තට ‍ෙදා්ලනය වන ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස තිරසර විසඳුමක් වෙත යොමු වූයේ නැත.

මේ අතර තවත් අපූරු සිදුවීමක් වූයේය. එනම් සජබ මුල් එකඟතාවන්ට සම්පූර්ණයෙන් පිටුපා හදිසියෙන්ම ජනාධිපතිවරයාට එරෙහිවත්, අගමැතිවරයාට එරෙහිවත්, විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයාට භාරදීමය. ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් අතර සිටි නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ඉන් අනතුරුව සිදු විය. නියෝජ්‍ය කථානායකවරයා විසින් භාර දෙන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගැනීමෙන් පසු මැයි මස මුල් පාර්ලිමේන්තු සැසි වාරයේදී නියෝජ්‍ය  කථානායකවරයකු අභිනවයෙන් තෝරා ගැනීම සඳහා අවස්ථාව එළැඹියේය.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා එය මහඟු අවස්ථාව බව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් අතර පොදු තීරණයක් පැවැතියේය. පාර්ලිමේන්තුවේ වැඩි බලය තමන් සතු බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කර තිබූ තත්ත්වයක් හමුවේ විපක්ෂයේ බලය සහතික කිරීම සඳහා එම අවස්ථාව යොදා ගැනීමට හැම පැත්තකින්ම ඉඩකඩ තිබිණි.

විපක්ෂයේ පක්ෂවල නියෝජිතයන්ගේ හමුව යෙදී තිබුණේ මැයි 3 දිනය. ඒ සඳහා සජබ නියෝජනය කරමින් රාජිත, රංජිත්, හර්ෂ, එරාන්, ගයන්ත සහභාගි වූහ. අනෙක් පාර්ශ්වයෙන් විමල්, නිමල්, උදය, ටිරාන්, දයාසිරි  සහ නලින් ප්‍රනාන්දු සහභාගි වූහ.

මේ සාකච්ඡාවේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර නියෝජ්‍ය කථානායක ධුරය ශ්‍රී ලනිපයට අයත් තනතුරක්ව පැවැති හෙයින් ස්වාධීන කණ්ඩායම රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කරන බව දැනුම් දෙන ලදී. විමල් සහ දයාසිරි විසින් ඒ පිළිබඳව එකඟතාවක් තිබේද යන්න රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසන ලදුව ඊට සජබ කැමැත්ත පළ විය. නියෝජ්‍ය  කථානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කිරීමට සජබ එකඟතාව පළවූ  හෙයින් එදින එම ගැටලුව නිරාකරණය විය.

මැයි මස 4 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබිණි. 3 දා සහ 4 වැනිදා දෙදිනම විපක්ෂයේ පක්ෂ අතර රංජිත් සියඹලාපිටිය සඳහා බහුතර ඡන්ද එක්රැස් කිරීම ගැන සාකච්ඡා පැවැතියේය. නියෝජ්‍ය කථානායක ධුරයට සියඹලාපිටියගේ නම යෝජනා කිරීම  ස්වාධීන කණ්ඩායමට පැවරුණු අතර එය නිමල් සිරිපාල ද සිල්වා විසින් සිදු කිරීමට තීරණය විය. ස්ථිර කිරීම සජබ රංජිත් මද්දුමබණ්ඩාරට පැවරිණි. නාමයෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම රංජිත් විපක්ෂයේ අසුන් ගත යුතු බවට සජබ පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ අනුව මැයි 4 වැනිදා රංජිත් සියඹලාපිටිය විපක්ෂයේ අසුන් ගත්තේය. 4 වැනිදා රාත්‍රි 10.30ටත් නිමල් සිරිපාල ද සිල්වා රංජිත් මද්දුමබණ්ඩාරට කතා කොට සියල්ල යථා පරිදි සිදු වන බව නිරාකරණය කර ගත්තේය.

මේ මස පාර්ලිමේන්තු සැසි වාරයේ දෙවැනි දිනය වූ මැයි 5 තීරණාත්මක දිනයක් විය. කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණි දයාසිරි ජයසේකර උදේ 10.01ට රංජිත් මද්දුමබණ්ඩාර හමුවිය. එවිට ඔහු ඉල්ලා සිටියේ රංජිත්ගේ නම යෝජනා කිරීම සජබට දෙන ලෙසය. ස්ථිර  කිරීම ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා කිරීමටත් යෝජනා හුවමාරු කරගත්තේය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී තිබියදී පෙරවරු 10.30ට පාර්ලිමේන්තු ලොබියට පැමිණි රංජිත් මද්දුමබණ්ඩාරලා ස්වාධීන කණ්ඩායමෙන් ප්‍රශ්න කරන්නේ සියඹලාපිටිය වෙනුවට වෙනත් අයෙක් යෝජනා කළ නොහැකිද යන්නය. එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ සජබ පසුපෙළ පිරිසක් සියඹලාපිටිය යෝජනා කරනවාට විරුද්ධ බවය. ස්වාධීන කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් පවසන්නේ සාමූහිකව ගත් තීරණයක් ක්‍ෂණිකව වෙනස් කළ නොහැකි බවය.

අනතුරුව සජබ යෝජනා කළේ සියඹලාපිටියට ආණ්ඩුව සහයෝගය දෙන නිසා සජබ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවය. ඔවුන් ඉමිතියාස් බාකීර් මාකාර්ගෙ නම යෝජනා කිරීමට තීරණය කර තිබිණි.

එහිදී විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට මතු වූ සැකය වූයේ සජබ ආරම්භයේ සිටම වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කූට නිගමනයක සිටියාද යන්නය. ස්වාධීන කණ්ඩායම අපේක්ෂක සියඹලාපිටියට කැමැත්ත පළ කළේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්ද යන්නය.

එම සැකය තහවුරු වන හේතුවක් වූයේ සජබ හර්ෂණ රාජකරුණා දින දෙකකට ඉහත රූපවාහිනි සාකච්ඡාවකට සහභාගි වෙමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අපි ඉමිතියාස් බාකීර් මාකාර් ඉදිරිපත් කරනවා යැයි ප්‍රකාශ කර තිබූ හෙයිනි. හර්ෂණගේ ප්‍ර‍කාශය සම්බන්ධයෙන් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසූ කළ ඔහු ප්‍රකාශ කර තිබුණේ හර්ෂණ විහිළුවට එසේ කියන්නට ඇත කියාය. නමුත් අවසානයේ සත්‍ය වූයේ හර්ෂණගේ විහිළුවය.

මේ තීරණාත්මක මොහොතේ රට පුරා උද්ඝෝෂණවල නියැළෙන තරුණ ප්‍රජාවගේ ධෛර්යය හා ශක්තිය කුළුගැන්වෙන ආකාරයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවට බලපෑම් කළ යුතුව තිබේ. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට නැති ශක්තියක් ප්‍රදර්ශනය වන ආකාරයෙන් නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාව විපක්ෂ නායකයා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් යොදා ගත්තේ කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විසින් බව තීරණය කිරීමට හේතු සාධක තිබේ. මේ වන විට ශ්‍රී  ලංකාවේ විපක්ෂය මෙහෙයවන්නේද අගමැති මහින්ද රාජපක්ෂ විසින් නම් රටේ ජනතාවට අබ සරණය.

බුද්ධිසිරි ධර්මප්‍රිය