නාසා ආයතනය  බරටම වියදම් කරපු අභ්‍යවකාශ වැඩසටහන්

0
391

අපි වටා තිබෙන දේවල් නරඹන්න, ඒ ගැන ඉගෙනගන්න මිනිසා ආදි කාලයේ සිටම දැක්වූයේ විශාල කුතුහලයක්. පෘථිවියේ ආරම්භය සහ ජීවය ඇතිවීම, වෙනත් ග්‍රහලෝකවල ජීවය, මිනිසාගේ පරිණාමය, වෙනත් ග්‍රහලෝකවල වාසය කිරීමේ හැකියාව, විශ්වයේ ආරම්භය වගේ බොහෝ දේවල් පිළිබඳව අනාදිමත් කාලයක සිට මිනිසා පර්යේෂණ සිදු කරනවා. මේ ලිපියෙන් ගෙන එන්නේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව කටයුතු කරන ලෝකයේ ප්‍රමුඛතම ආයතනය වෙන නාසා ආයතනය මඟින් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කර ඇති මිල අධිකම අභ්‍යවකාශ වැඩසටහන් කිහිපයක් පිළිබඳවයි.

ගැලීලියෝ අභ්‍යවකාශ යානය (ඇස්තමේන්තුගත වියදම

ඇ.ඩො බිලියන 1.6)

දුරේක්ෂය ලෝකයට හඳුන්වා දුන්න සුප්‍රසිද්ධ ගැලීලියෝ ගැලීලිට ගෞරවය පිණිස වසර 1989 දී ආරම්භ කළ ගැලීලියෝ අභ්‍යවකාශ වැඩසටහනේ මූලික අභිප්‍රාය වුණේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය වන බ්‍රහස්පතිගේ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීමටයි. වැඩසටහන ආරම්භ කර වසර හයකින් පසු, එනම් වර්ෂ 1995 දී අභ්‍යවකාශ විද්‍යාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට බ්‍රහස්පති වටා කක්ෂගත වූ යානාව බවට පත්වීමට ගැලීලියෝට හැකිවුණා.

බ්‍රහස්පති පිළිබඳවත් ඔහුගේ චන්ද්‍රයන් පිළිබඳවත් ඉතා වැදගත් විස්තර රාශියක් ගොනු කරගැනීමට සමත් වුණ (විශේෂයෙන්ම බ්‍රහස්පතිගේ යුරෝපා නම් චන්ද්‍රයාගේ භූ අභ්‍යන්තරයේ ඝන අයිස් තට්ටු සහ සැඟවුණු සාගර පිළිබඳ තොරතුරු) ගැලීලියෝ යානය වසර අටක කාලයකින් පසුව සිය මෙහෙයුම් කටයුතු අවසන් කරමින් බ්‍රහස්පතිගේ වායුගෝලයට මුදා හැරුණා.

ඇල්ෆා චුම්බක වර්ණාවලිමානය

(ඇස්තමේන්තුගත වියදම

ඇ.ඩො බිලියන 2)

දීර්ඝ කාලයක් තිස්සේ තාරකා විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන්ට පවා අනාවරණය කරගැනීමට නොහැකි වුණ, විශ්වයේ අද්භූත සාමාජිකයෙක් පමණක් නොව විශ්වයේ වැඩිම ප්‍රමාණයක් අඩංගු පදාර්ථ කොටසක් විධියට සලකන අඳුරු පදාර්ථ පිළිබඳ කරුණු සහ දත්ත එකතු කරගැනීමේ අරමුණෙන් වසර 2011 දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කළ එන්ඩේව ෂටලය සමඟ පිටත් කළ වර්ණාවලිය තමයි ඇල්ෆා චුම්බක වර්ණාවලිය යනුවෙන් හඳුන්වන්නේ.

නෝබල් ලොරේට් සහ සැමුවෙල් ටින් යන පදාර්ථමය භෞතික විද්‍යාඥයන් දෙදෙනාගේ සංකල්පයක් අනුව ගොඩනැඟුණු ඇල්ෆා හි මූලික කාර්යය වුණේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවි වායුගෝලයට ඇතුළු වන කොස්මික් කිරණ පිළිබඳ තොරතුරු එකතු කිරීමයි. එවැනි කොස්මික් කිරණවල අඩංගු පදාර්ථවලින්, අඳුරු පදාර්ථ ගැන කිසියම් හෝ අදහසක් ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. ඒ අනුව විවිධ අන්තරීක්ෂ කිරණ බිලියන 175ක් පමණ සිය ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වුණ ඇල්ෆා නියමිත ආයු කාලයටත් වඩා වසර තුනක් පුරාවට අඳුරු පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ ගවේෂණයේ මිනිස් ප්‍රයත්නයට ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා.

හබල් දුරේක්ෂය

(ඇස්තමේන්තුගත වියදම

ඇ.ඩො බිලියන 2.5)

විසිවැනි සියවසේ බිහි වුණ ශ්‍රේෂ්ඨතම තාරකා විද්‍යාඥයෙක් ලෙස සැලකෙන එඩ්වින් හබල්ට ගෞරව කිරීමක් පිණිස නම් කළ හබල් දුරේක්ෂයේ ආරම්භය නම් එතරම් සාර්ථක වුණේ නැහැ. වසර 1990 දී දෝෂ සහගත ලෙස කක්ෂගත කිරීම හේතුවෙන් හබල් දුරේක්ෂයෙන් පෘථිවියට නිකුත් කරන ලැබූ අභ්‍යවකාශ ඡායාරූප අතිශය අපැහැදිලි වුණා. මේ හේතුව නිසාම අභ්‍යවකාශ ගගනගාමීන්ගේ උදවු ඇතිව, උඩු ගුවනේදීම හබල් දුරේක්ෂයේ ‍දෝෂ නිවැරදි කිරීමට නාසා ආයතනයට සිදුවුණා. (ඔවුන් දුරේක්ෂයේ දෘෂ්‍ය ක්ෂේත්‍රයට කුඩා දර්පණ සවි කළා)

නියමිත අලුත්වැඩියාවෙන් පස්සෙ අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක වීමට සමත් වුණ දුරේක්ෂය මීළඟ දශක දෙක පුරාවට පෘථිවියට නිකුත් කළ අභ්‍යවකාශයේ සැඟවුණු රහස් පිළිබඳ ඡායාරූපවලින් අනාවරණය කරගත් දෑ බොහෝයි.

කියුරියෝසිටි මෙහෙයුම

(Curiosity) – (ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො බිලියන 2.5)

අපේ අසල්වැසි රතු ග්‍රහයා – අඟහරු වෙත ගමන් කළ විවිධ යානාවලින් කියුරියෝසිටි කියන්නේ තාක්ෂණික අතින් ඉදිරියෙන්ම තැබිය හැකි ප්‍රෝබයක්. මිනිසාගේ මීළඟ නවාතැන වීමට අඟහරු සුදුසුද? යන පැනයට වඩා පුළුල් පිළිතුරු සෙවීමේ අටියෙන් සහ 2011 වසරේදී අඟහරුගේ කක්ෂය, එහි භූමිය සහ අඟහරුගේ කාලගුණය පිළිබඳ සවිස්තරාත්මක ගවේෂණයක් සිදු කිරීමේ අරමුණින් කක්ෂගත වුණ කියුරියෝසිටිට අඟහරුගේ භූමියේ සජීවී දසුන්, ඔහු අඟහරු මත මුහුණදෙන කාලගුණික තත්ත්ව පිළිබඳ ඉතා නිවැරදි දත්ත සහ එහි භූවිෂමතාව පිළිබඳ පුළුල් ආවරණයක් ලබාදිය හැකි තරම් දියුණු තාක්ෂණයක් තිබෙනවා.

මේ දක්වා කියුරියෝසිටිගේ සොයාගැනීම් අනුව නම් අඟහරු තවම මිනිස් වාසයට සුදුසුකම් නොදක්වන බවක් තමා පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ නමුත් අනාගතයේ අඟහරුගේ පරිසර තත්ත්ව අපිට ගැළපෙන විධියට වෙනස් විය හැකිද? කියුරියෝසිටි අපේ ඒ කුතුහලයට පිළිතුරු දෙනු ඇත.

කැසිනි හියුජෙන්ස්

(ඇස්තමේන්තුගත වියදම

ඇ.ඩො බිලියන 3.26)

සෞරග්‍රහ මණ්ඩලයේ දැකුම්කලුම සාමාජිකයා වන සෙනසුරු පිළිබඳ ගවේෂණය කිරීම අරමුණු කරගත් කැසිනි හියුජෙන්ස් යානය වසර 1997 දී ගමනාරම්භ කළා. ඉතාලි ජාතික ජියොවානි කැසිනි සහ නෙදර්ලන්ත ජාතික ක්‍රිස්ටින් හියුජෙන්ස් යන තාරකා විද්‍යාඥයන් දෙදෙනාට ගරු කිරීමක් ලෙස තමයි මේ ව්‍යාපෘතිය කැසිනි හියුජෙන්ස් කියලා නම් කළේ.

වසර හතක කාලයක් පුරාවට අභ්‍යවකාශයේ ගමන් කරපු කැසිනි අවසානයේ සෙනසුරු වෙත ළඟා වෙන්නේ වසර 2004 දීයි. එතැන් සිට සෙනසුරුගේ වායුගෝලය, එහි අරුම පුදුම ග්‍රාහක වළලු, සෙනසුරුගේ චන්ද්‍රයන් (සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා මතුපිට ජීවය පැවතීමේ සම්භාවිතාවක් ඇති බවට බොහෝ විද්‍යාඥයන් එවකට මත පළ කළා.) පිළිබඳ අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට කැසිනි සමත් වුණා.

වසර විස්සක් මුළුල්ලේම පෘථිවියට වැදගත් තොරතුරු සැපයූ කැසිනි, 2017 වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින සිය ජීවන ගමන නිමා කරමින් සෙනසුරුගේ වායුගෝලයට ගමන් කළ පසු අයිස් සහිත ග්‍රාහක වළලුවල ගැටීමෙන් සමුගත්තා.

ජීපීඑස් තාක්ෂණය අපිට ලබාදෙන Global Positioning System (GPS) – (ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො. බිලියන 12)

ජීපීඑස් කියන්නේ අද වනවිට ඔබ කවුරුත් දන්න තාක්ෂණයක්. තමන් ඉන්න ඉසව්ව පිළිබඳ කාටහරි දැනුම් දෙන්න, ඒ වගේම තමන් නොදන්න තැනකට යන විධිය දැනගන්න, විශේෂ කඩසාප්පු වගේ දේවල් තියන තැන් හරියටම බලාගන්න අපි මේ ජීපීඑස් තාක්ෂණය යොදාගන්නවා.

මේ තාක්ෂණය ඇමෙරිකානු ගුවන් හමුදාව සතු ඇමෙරිකානු රජය යටතේ පාලනය වන රේඩියෝ තරංග ඇසුරින් ක්‍රියාත්මක වෙන පද්ධතියක්. ඒ කෙසේ වුවත් ලෝකයේ පළමු අභ්‍යවකාශ ගමන වුණ ස්පුට්නික් යුගය දක්වාම ජීපීඑස් හි උපත් කතාව ගමන් කරනවා. ස්පුට්නික් යුගයේ, ඩොප්ලර් ආචරණය නම් භෞතික විද්‍යා සංසිද්ධිය ඇසුරු කරගනිමින් රේඩියෝ තරංග ආයාමවල විස්ථාපනය මාර්ගයෙන් යම් කිසි චන්ද්‍රිකාවක ගමන් මඟ පිළිබඳ අදහසක් ලබාගැනීමට එවකට පර්යේෂකයන්ට හැකි වීම ජීපීඑස් තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප ඉදිරිපත් වීමට තදින් බලපෑවා.

මේ වනවිට ජීපීඑස් තාක්ෂණය ලබාදෙන චන්ද්‍රිකා තිහකට ආසන්න ප්‍රමාණයක් පෘථිවිය වටා ගමන් කරනවා. මේ හැම චන්ද්‍රිකාවක්ම පැය විසිහතර පුරාමත්, දින හත පුරාමත් ක්‍රියාත්මකයි.

SLS සහ ඔරියන් – (ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො. බිලියන 23)

SLS ඔරියන් කියන්නේ නාසා ආයතනයේ අභ්‍යවකාශ මෙහෙයුම් පද්ධතියයි (Space Launch System)  අභ්‍යවකාශය වෙත ගමන් කරන රොකට් යානා පෘථිවියේ සිට කක්ෂගත කිරීමට යොදාගන්න මේ යෝධ ඉදිකිරීම 2022 වසරේ සඳ මත ගමන් කරවීමට අපේක්ෂිත රොකට් යානය කක්ෂගත කිරීමේ පහසුව ඇති එකම අභ්‍යවකාශ මෙහෙයුම් පද්ධතියද වෙනවා.

ලබන වසරේදී පෙරහුරුවක් ලෙස මේ SLS ඔරියන් පද්ධතිය තුළින් Artemis I නම් නියමුවන් රහිත රොකට්ටුවක් කක්ෂගත කිරීමට නාසා ආයතනය සූදානම් වෙනවා. රාත්තල් මිලියන 8.8 කට සමාන තෙරපුම් බලයක් ජනනය කිරීමට සමත්වෙන SLS ඔරියන් චන්ද්‍රයාගෙන් සැතපුම් 40,000කට එහා පෙදෙසකට Artemis I යානය ගමන් කරවීමට අපේක්ෂා කරනවා.

මෙම පෙරහුරුවේ සාර්ථකත්වය මත නියමුවන් සහිත Artemis 11 හා Artemis 111 (2024) යන ව්‍යාපෘති සඳහා SLS ඔරියන් පද්ධතිය උපයෝගී කරගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.

ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහන  (ඇස්තමේන්තුගත පිරිවැය

ඇ.ඩො. බිලියන 110)

1960 දශකය කියන්නේ ලෝකයේ බලවතුන් දෙදෙනෙක් පෘථිවියෙන් එහා ලෝකය ජය ගැනීමට ද්වන්ධ සටනක නිරත වූ අවධියක්. ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර තිබුණ මේ ඝට්ටනය ඒ රටවල් දෙකට විතරක් නොවෙයි, විද්‍යා ලෝකයේ උන්නතියටත් ආශිර්වාදයක් වුණා.

මේ සටන තවත් උණුසුම් වෙන්නේ වසර 1960 දී රුසියාවේ යූරි ගගාරින් උඩුගුවනට ගිය පළමු මිනිසා වීමේ භාග්‍යය හිමි කරගත් පසුවයි. උඩුගුවනින් පසු රුසියාවේ අවධානය සඳ ගවේෂණයට යොමු වෙද්දී, අමෙරිකාවත් ඔවුන්ගේ අවධානය සඳ තරණය සඳහා යොමු කළා.

මෙවන් පසුබිමක තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇපලෝ මෙහෙයුම ආරම්භ කරන්නේ.

ඇපලෝ මෙහෙයුම ආරම්භ කරමින් වසර 1966 ජූනි මාසයේදී ගගනගාමීන් රහිත “ඒඉ-201” යානය ගුවන්ගත වුණා. මුල් අදියරවලදී නියමුවන් රහිත යානා ගුවන්ගත කරමින් පර්යේෂණ කටයුතු සිදු කළ නාසා ආයතනය ඉන්පසුව ගගනගාමීන් කිහිපදෙනකුට ගමන් කළ හැකි කැප්සියුලයක් සහිත ඇපලෝ පාලක මොඩලයක් නිර්මාණය කළා.

AS ‐201 ගුවන්ගත වීමෙන් වසරක වගේ කාලයක් ඇතුළත ඇපලෝ 1 හෙවත් AS -204 ගස් ග්‍රිසම්, එඩ් වයිට් සහ රොජර් චැෆෙ යන ගගනගාමීන් තිදෙනා සහිතව ගුවන්ගත කිරීමට කටයුතු යෙදුවත් ගුවන්ගත කිරීමේ පෙරහුරුවකදී ඉතා අවාසනාවන්ත ලෙස මෙහෙයුම් මැදිරියේ ඇතිවූ ගින්නකින් ඔවුන් තිදෙනාම මියගියා.

මේ සිදුවීමෙන් වසරක් ගත වන විට තවත් පර්යේෂණ මට්ටමේ නියමුවන් රහිත යානා තුනක් ගුවන්ගත කළ නාසා ආයතනය 1968 දී ඇපලෝ viii නමින් පළමු වරට නියමුවන් සහිත යානයක් ගුවන්ගත කළා. මෙය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උඩුගුවනට මිනිසුන් සහිත යානයක් ගුවන්ගත කළ මංගල අවස්ථාව වුණා.

ඉන් නොනැවතුණු නාසා ආයතනය තවත් පෙරහුරු ගුවන්ගත කිරීම් කිහිපයකින් අනතුරුව 1969 දී ගගනගාමීන් දෙදෙනකු සහ එක් නියමුවකු සහිත ඇපලෝ යඪ යානය සඳ මතට ගොඩබැස්වීමට සමත් වූයේ ලොව පළමු වරට පෘථිවි චන්ද්‍රිිකාවට ගොඩ බෑමේ තරගයෙන් රුසියාව පරදවමිනි.

එදා සිට වසර හතරක් ඇතුළත විසි දෙනකුට වැඩි ගගනගාමීන් සංඛ්‍යාවක් සඳ මතට ගොඩබැස්වීමට සමත් වූ ඇපලෝ මෙහෙයුම වසර 1972 දී අවසන් කිරීමට (අවසන් ඇපලෝ මෙහෙයුම වුණේ ඇපලෝ යමඪඪ යානයයි) නාසා ආයතනය කටයුතු කළා.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය  (ඇස්තමේන්තුගත පිරිවැය

ඇ.ඩො. බිලියන 150)

නූතන තාක්ෂණයේ තවත් එක් විස්මිත නිමැවුමක්. ජාතීන් අතර එකමුතුවෙන් ගොඩනැඟුණු මිනිස් සංහතියේ ඉදිරි පිම්මක් විධියට හඳුන්වන්න පුළුවන් මෙහෙයුමක් තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. අභ්‍යවකාශයේ දැනට ස්ථාපිත කර තිබෙන විශාලම කෘත්‍රිම වස්තුව විධියට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරන්න පුළුවන්. (පැහැදිලි කාලගුණයක් ඇති දිනක පියවි ඇසෙන් පවා නැරඹිය හැකියි.)

විශ්වය, අභ්‍යවකාශය සහ ජීවය පිළිබඳ සිදු කරන විද්‍යාත්මක පර්යේෂණවල ඉදිරි ගමනට අවශ්‍ය දත්ත සපයමින් අතිවිශාල මෙහෙයක් ඉටුකරන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මූලික අඩිතාලම වැටෙන්නේ වසර 1998 දී රුසියාව විසින් ගුවන්ගත කරන ලද Zarya මොඩලයෙන්. ඉන් සති කිහිපයකට පසුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශගත කරන එන්ඩෙවර් ෂටලය රුසියානු Zarya මොඩලය සමඟින් ඉහළ අහසේ සම්බන්ධ කෙරෙනවා. දශක ගණනාවක් පුරා ශීතල තාක්ෂණික යුද්ධයක පැටලී සිටි රුසියානු – ඇමෙරිකානු සුසංයෝගය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යන සංකල්පය සැබෑවක් කරගැනීමට බෙහෙවින් ඉවහල් වුණේ ඒ විධියට.

රටවල් පහළොවක අභ්‍යවකාශ මධ්‍යස්ථාන පහක් (ඇමෙරිකාවේ NASA ආයතනය, රුසියාවේ ROSCOSMOS ආයතනය, ජපානයේ JAXA ආයතනය, කැනඩාවේ CSA ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ආයතනය – ESA) එකිනෙකට සම්බන්ධ වී වර්තමානයේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙහෙයවීම් කටයුතු සිදු කරනවා. මේ වනවිට විවිධ රටවල ගගනගාමීන් සියයකට වැඩි පිරිසක් මේ අභ්‍යවකාශ පෘථිවි ගිමන්හලට ගමන් කර තිබෙනවා. ඒ වගේම සත් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සෑමවිටම මේ මධ්‍යස්ථානයේ රාජකාරි කරනවා. පැයට සැතපුම් පහක ඒකාකාර වේගයකින් පෘථිවිය වටා සෑම මිනිත්තු අනූවකට වතාවක්ම භ්‍රමණය වන අභ්‍යවකාශ මධ්‍යස්ථානය දිනකදී දහසය වතාවක් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා.

කාමර හයක විශාල නිවෙසක ප්‍රමාණයක විශාලත්වයෙන් යුතු මධ්‍යස්ථානයේ නිදන කාමර හයක්, නානකාමර දෙකක් සහ ශරීර සුවතා මධ්‍යස්ථානයක් අඩංගු වෙනවා. අභ්‍යවකාශයේදී සිදුවිය හැකි මස්පිඬු සහ අස්ථි ක්ෂය වීම් නිසා මෙහි රාජකාරි සිදු කරන ගගනගාමීන් දිනකට පැය දෙකක් පමණ අනිවාර්යයෙන්ම ශරීර සුවතා කාර්යයන්වල නිරත වෙනවා. එක්වරකට අභ්‍යවකාශ යානා අටක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගාල් කළ හැකිය.

අභ්‍යවකාශ ෂටල මෙහෙයුම  (ඇස්තමේන්තුගත පිරිවැය

ඇ.ඩො. බිලියන 209)

70 දශකයේ මුල් භාගයේදී නාසා ආයතනය ආරම්භ කළ අභ්‍යවකාශ ෂටල මෙහෙයුම අභ්‍යවකාශයේ සැරිසරන විවිධ යානාවල ප්‍රාරම්භය කිව්වත් නිවැරදියි. එවකට තිබූ රොකට් යානාවල ඇති ප්‍රධානම ගැටලුව වුණේ එක් ගමන් වාරයකින් පසුව නැවත තවත් ගුවන්ගත කිරීමකට භාවිත කළ නොහැකි වීමයි. අභ්‍යවකාශ ෂටල හඳුන්වාදීමෙන් නාසා ආයතනය මේ අභියෝගය ජයගත්තා.

ඇතුළත ටැංකියක්, පිටතින් සම්බන්ධ වූ උත්ප්‍රේරක රොකට්ටු දෙකක් සහ ෂටලයේ හදවත බඳු ඕබීටර් යානයකින් සමන්විත ෂටලය නූතන ඉන්ජිනේරු විද්‍යාවේ එක් විශේෂ සන්ධිස්ථානයක් බව කිව යුතුයි. සාමාන්‍ය අභ්‍යවකාශගත වීමකදී මෙන් පෘථිවි වායුගෝලයෙන් නික්ම ගොස්, අභ්‍යවකාශයේ සැරිසරා, අවශ්‍ය දත්ත ගොනු කරගනිමින්, නැවත පෘථිවියට ග්ලයිඩරයක් ආකාරයෙන් භූමිගත වීම මෙම යානාවල මූලික කාර්යභාරයයි.

පුරා දශක තුනක් තිස්සේ මෙවැනි යානා පහක් අභ්‍යවකාශගත කිරීමට නාසා ආයතනය සමත් වුණා. ඇට්ලැන්ටිස්, එන්ඩෙවර්, ඩිස්කවරි, චැලෙන්ජර් සහ කොලොම්බියා යන නම් වලින් හැඳින්වූ එම යානාවලින් චැලෙන්ජර් සහ කොලොම්බියා යන යානා ද්විත්වයම මෙහෙයුම් අතරතුරදීම අනපේක්ෂිත ආකාරයෙන් විනාශ වුණා.

අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් වැඩසටහන යටතේ වියදම් වුණ මුළු මුදල නාසා ආයතන ඇස්තමේන්තුවට අනුව ඇ.ඩො බිලියන 196 සිට 209 දක්වා විය හැකි බවත් අභ්‍යවකාශගත වීම් 135ක් සිදු කළ බවත්, ඒ සෑම අභ්‍යවකාශගත වීමකදීම ඇ.ඩො බිලියන 1.5ක පිරිවැයක් දැරීමට සිදුවූ බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

2011 වසරේදී අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් වැඩසටහනට නැවතීමේ තිත තියන්න නාසා ආයතනය තීරණය කළේ එම මෙහෙයුම වෙනුවට වඩා වැඩි දියුණු කළ SLS – Space Launch System වැඩසටහන හඳුන්වාදීමත් සමඟයි.

නාසා ආයතනය විසින් වැඩිම පිරිවැයක් දරා සිදු කළ මෙහෙයුම් සහ වැඩසටහන් පිළිබඳ සැලකීමේදී සාර්ථකත්වයට පත්වූ අවස්ථා මෙන්ම ඒවා අසාර්ථක වූ අවස්ථාද තිබෙනවා. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂික අය – වැයෙන් විශාල මුදල් සම්භාරයක් මේ අභ්‍යවකාශ රහස් අනාවරණය සඳහා නාසා ආයතනයට යොමු වෙනවා. ගෝලීය දරිද්‍රතාව, ආහාර ගැටලු වගේ ප්‍රශ්න තිබියදී මෙවැනි දේවල්වලට අසීමිත වැය ශීර්ෂ වෙන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ පාර්ශ්වවලින් ඇමෙරිකාව ප්‍රමුඛ බලවත් රටවලට චෝදනා එල්ල වෙනවා.

අනෙක් කාරණාව වන්නේ දශක ගණනාවක් තිස්සේ සිදු කරන මෙම අභ්‍යවකාශ පර්යේෂණ මඟින් තවමත් පෘථිවියට සමාන හෝ ඊට වඩා බුද්ධිමත් ජීවීන් පිළිබඳ හෝඩුවාවකුදු සොයාගැනීමට නොහැකි වීමයි.

ඇත්තටම නාසා ආයතනය පිටසක්වළ ජීවී විශේෂ අනාවරණය කරගෙන ඇතිද? ඔවුන් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇත්ද? මේ විශ්වයේ අපි ඇත්තටම තනිවෙලාද? එහෙම නැත්තම් වෙනත් ජීවීන් කිසියම් හෝ කාලයකදී අපේ ග්‍රහලෝකයේ සංචාරය කරල ඇතිද? මේ හැම එකක්ම පිළිතුරක් නොමැති ප්‍රශ්නයක්.

සචින්ත අමරසේන