නාඩි වාක්‍ය විජ්ජාව ගැන  ආචාර්ය නරේන්ද්‍ර නායක්  සිදුකළ අපූරු පරීක්ෂණය

Date:

ඉන්දියානු හේතුවාදී ක්‍රියාධරයකු වන ආචාර්ය නරේන්ද්‍ර නායක් විසින් සිදුකළ පරීක්‍ෂණයක් ඇසුරින් ඔහු විසින්ම රචනා කළ ලියවිල්ලක සිංහල අනුවාදයයි මේ.

නාඩි වාක්‍ය (අනාගතයට අදාළව අනාවැකි, අතීතයට අදාළව පෙර වැකි) නම් ‘සෘෂි‘ වරුන්ගෙන් ලද ‘ශාස්ත්‍රය’ හඳුන්වනු ලබන්නේ නියම ‘විද්‍යාවක්’, නොවරදිනසුලු විද්‍යාවක් ලෙසිනි. එමඟින් යම් පුද්ගලයකු පිළිබඳව සියලු තොරතුරු ප්‍රකාශ කළ හැකි බවත් ඒ සඳහා තල්පත්ඉරු (පුස්කොළ පත්‍රිකා) පරිශීලනය කරනු ලබන බවත් කියැවෙනවා. පෘථිවි තලයේ අතීතයේ සිට විසූවන්, අද ජීවත් වන්නන් මෙන්ම අනාගතයේදී ජීවත් වීමට නියමිතවුන් ආදී වශයෙන් සියලුදෙනා සඳහා මෙවන් පත්ඉරු තිබිය යුතු වෙනවා.  

මේ කාරණය (එනම් වත්මන් ජනගහන වර්ධනයත් සැලකිල්ලට ගෙන එතෙක්-මෙතෙක්-මතුදාත් ජීවත් වන මනුෂ්‍ය වර්ගයාගේ සංඛ්‍යාත්ම එකතුව) සැලකිල්ලට ගත්විට එම පත්ඉරු තැන්පත් කර ඇති ස්ථානය තුළ එවායින් පිරී ඉතිරී ගොස් තිබිය යුතුය. නමුත් පුදුමයකට මෙන් එය එසේ නොවේ.

මෙයින්, වියහැකියාවන් දෙකක් අවධාරණය කෙරෙනවා;

1. අතීතයේ විසූ මේ සෘෂිවරුන්ට අනාගතය දැකීමේ හැකියාවක් තිබුණා විය යුතුයි. මෙවන් (නාඩි වාක්‍ය පවසන) ස්ථානවලට පැමිණෙන්නේ අසවල් පුද්ගලයන් පමණක්ය යන අවබෝධය හා ‘දුර දැක්ම’ අනුව එවන් අයගේ පත්ඉරු (තල්පත්‍ර ලේඛන) පමණක්, අවශ්‍ය මොහොතේ ලබාගත හැකි අයුරින් සංරක්‍ෂණය කොට තිබෙනවා විය යුතුයි.

2. එසේ නොමැති නම්, එක් එක් පුද්ගලයාගේ ජීව දත්ත හා වෙනත් තොරතුරු සමස්තය ටෙරා බයිට් ආකාරයෙන් සංයුක්ත තැටිගත (CD, DVD) කිරීම වැනි ක්‍රමවේදයකට අනුව අසුරා තිබිය යුතුය.

ඒවිට අවශ්‍ය මුද්‍රිත පිටපත ලබාගන්නේ තොරතුරු අපේක්‍ෂා කරන සේවාලාභියා එම ස්ථානයට පැමිණි පසුය.

කෙසේ නමුත් අවසාන වශයෙන් අපට ඒත්තු ගන්වන්නේ මෙම ‘විස්මිත ශාස්ත්‍රය’ ගොඩනැඟූ පැරැන්නන්ගේ ‘විස්මිත ඥානයයි‘.

කෙනකු මෙවැනි ස්ථානයකට පැමිණි පසු ඔහුගේ මාපට ඇඟිලි සලකුණ සහ උපන් දිනය ලබා ගන්නවා. අනතුරුව අදාළ පත්ඉරු පරම්පරාව පරීක්‍ෂා කරනු ලබනවා.

නාඩි පරීක්‍ෂාව ලෙස හඳුන්වන්නේ මෙයයි.

මෙහි සත්‍යතාව අගයමින් ලියූ දේවල්ද, අන්තර්ජාල බ්ලොක් අඩවිද, නාඩි වාක්‍ය තුළින් තොරතුරු විමසා ‘ප්‍රත්‍යක්‍ෂ’ කරගත් සේවාලාභීන්ගේ ප්‍රකාශයන්ද, වෘත්තාන්ත ද මේ සමාජයේ සුලබය.

ඉහත කී පරිදි අදාළ පත්ඉරුව තෝරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඇඟිලි සලකුණ හා උපන් දිනය පමණයි.

තමිල්නාඩුවේ චිදම්බරම් අසල වෛතීස්වර දේවාලය තුළ මෙම නාඩි පත්ඉරු (පුස්කොළ පත්‍රකා) වල මුල් (ඔරිජිනල්) පිටපත් තැන්පත් කොට ඇතැයි සලකනු ලබනවා. වරක් මිතුරන් පිරිසක් සමඟ මේ අසලින් යෑමට මට සිදු වුණා. මට ඒ මොහොතේ වුවමනා වුණා මේ කාරණය විමසා බලන්න. මා සමඟ තමිල්නාඩු විද්‍යා සමුළුවේ රාජේන්ද්‍රන් මහතා සහ මුරුගන් මහතා ද සිටියා.

රාජේන්ද්‍රන්ගේ හැඳුනුම්කමක් ඔස්සේ ලැබුණු උපදෙස් අනුව අප දුම්රියපොළ පාරේ සිව ස්වාමි මුණගැසීමේ අපේක්‍ෂාවෙන් පිටත් වුණා. ඔහු එවැනි අය අතරින් ‘හොඳම’ තැනැත්තා වන බවත් ඔහුගේ ගාස්තුව රුපියල් 500ක් වන බවත් දැන ගන්නට ලැබුණා.

එම ගමට ප්‍රවේශ වන පිවිසුම් ප්‍රදේශයේදී නියම නාඩි ශාස්ත්‍රකරුවන්, හොඳම විශේෂඥයන් තමන් වන බවත්, ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් සඳහන් දැන්වීම් පුවරු අපට දක්නට ලැබුණා. කෙසේ නමුත් එම ස්ථානය කරා ළඟාවීමේදී එවැනි සිව ස්වාමිලා බොහෝ දෙනකු භාවිත කරන ජනප්‍රිය නමක් බවත් අවබෝධ කරගත්තා. ඒ නිසා අපි ළඟම සිටින සිව ස්වාමි කරා ගියා. අප ඇතුළු වන විට අප පැමිණ ඇත්තේ නිවැරදි ස්ථානයට බව පවසා අප පිළිගනු ලැබුවා.

එනම් අගස්ත්‍ය මුනි විසින් තැන්පත් කර ඇති (ඔරිජිනල්) මුල් පිටපත් එකතුව ඇත්තේ එම ස්ථානයේය යනුවෙන් අප හට කියා සිටියා. එමෙන්ම මෙම ස්ථානය ආශ්‍රමයක් බවත්, ශුද්ධ ස්ථානයක් බවත්, අපට අවධාරණය කළා. (මේවා හඳුන් වන්නේ ‘මඩමි’ කියාය) එසේ නොමැතිව මෙය වාණිජමය කටයුතු කරන ස්ථානයක් නොවන බවද පවසා සිටියා. කෙසේ නමුත් විමසුම් ස්ථානයේදී අපගේ පිරිවැය කොපමණක් විය හැකිද කියා විමසූ විට අපට ප්‍රකාශ කොට සිටියේ, එය අප බලාපොරොත්තු වන කාර්යය, ලබාගන්නා සේවාවේ ප්‍රමාණය මත රඳා පවතින බවයි.

දෙමළ භාෂාවෙන් පමණක් තොරතුරු නිරූපණය අපේක්‍ෂා කරන්නේ නම් එය රුපියල් 200ක් (ඩොලර් 5ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් නම් 550ක් පමණ) වන බවත් වෙනත් භාෂාවකට පරිවර්තනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවිට එම ගාස්තුව තවත් ඉහළ යනු ඇති බවත් කියා සිටියා. හඬ පටිගත කළ පිටපතක්ද බලාපොරොත්තු වන්නේ නම් තවත් අමතර රුපියල් 50ක් අයවිය යුතු වනවා. මම මගේ පැත්තෙන් කොන්දේසියක් ඉදිරිපත් කළා, එනම් ගාස්තුව ගෙවනු ලබන්නේ ප්‍රකාශ කරනු ලබන දෑ නිවැරදි නම් පමණක් බව, පසුව ඔවුන් ඊට එකඟ වුණා.

කඩදාසියක් මත දකුණු අතේ මාපට ඇඟිලි සලකුණු දෙකක් තබා මගේ උපන් දිනයද එහි සටහන් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මගේ ජීවිත කතාව ලියැවී තිබෙන පත්ඉරුව තෝරා ගැනීමට අවශ්‍ය වන්නේ එපමණක් බවද පවසා සිටියා. කෙසේමුත් අදාළ පත්ඉරුව සංචිතයේ තිබීමට ඇති හැකියා මත පමණි එම තොරතුරු ලබා ගැනීමේ, දැනගැනීමේ හැකියාව ඇත්තේ. මිනිත්තු 10කින් නැවත පැමිණි ඔවුන් පවසා සිටියේ මගේ ‘වාසනාවට’ එහි අදාළ පත්ඉරුව තිබුණු බවයි. මම ඔවුන්ගෙන් විමසුවා එම පත්ඉරුවේ පිටපතක් ලබාගත හැකිද කියා. නමුත් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.

මගේ තොරතුරු කියවීම ආරම්භ කිරීමට පෙර මා වෙත අවධාරණය කර සිටියේ නිවැරදි තොරතුරු උකහා ගැනීමට තමන් උපරිම උත්සාහය දරන නමුත් පත්ඉරුවලින් ඒවා අර්ථ නිරූපණය කිරීමේදී යම් දෝෂයන් මතුවිය හැකි බවයි. මගේ ජීවන තොරතුරු ප්‍රකාශ කරගෙන යෑමේදී ඒවා සම්බන්ධයෙන් මා, ඔව් හෝ නැත අයුරින් ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා. මුලින්ම මගෙන් විමසා සිටියේ මා පැමිණියේ කොහිසිටද කියාය.

මම පිළිතුරු දුන්නා ‘උඩුපි‘ කියා, ඔහු කිව්වා ඒ බව නිවැරදිව පත්ඉරුවේ සඳහන්ව ඇතැයි කියා. දෙවැනි ප්‍රශ්නය වූයේ මා බ්‍රාහ්මණ වංශිකයෙක්ද නැතිද යන වගයි. මම ඇහුවා පත්ඉරුවේ සටහන්ව ඇත්තේ කෙසේද කියා. එවිට ඔහුගෙන් ප්‍රකාශ වූයේ බ්‍රාහ්මණයකු නොවේය කියාය. මම ඊට ඔව් යැයි ප්‍රතිචාර දැක්වූවා. ඉන් අනතුරුව ඔහු කීවේ මා එළවළු පමණක් ආහාරයට ගන්නා (වෙජිටේරියන්) කෙනකු බවයි. (එහෙත් එය අමූලික බොරුවක්).

මම එහිදී ඔව් හෝ නැත ප්‍රතිචාරය නොදක්වා දිගටම විස්තරය කියාගෙන යන ලෙස ඉල්ලා සිටියා. මගේ මවුපියන් ජීවතුන් අතර වේ යැයි කියූ නමුත් සැබෑව නම් ඒ දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නොමැති වීමයි. ඒ නිගමනයට, අනුමානයට එළැඹියේ ඇත්තෙන්ම ඒ දෙදෙනාගේ ආත්මයන් පොළොව මත පවතින නිසා යැයි ඔහු තවදුරටත් පැහැදිලි කළා. (අත්‍යවශ්‍ය වතාවත් මවිසින් සිදු නොකළ නිසා දිව්‍ය ලෝකයට යෑමට අවස්ථාව ඒ දෙපළට අහිමි වී ගොස් විය හැකිය?)

ඊට අමතරව මගේ පියා රජයේ සේවයේ සිට විශ්‍රාම ගොස් ඇති බව කියා සිටියා. (පියා ජීවත්ව සිටියේ නම් ඔහුට පැවැසීමට මෙය හොඳ පුවතක් වන්නට තිබුණා.) ඇත්තෙන්ම මගේ පියා ජීවිත කාලය පුරාවටම කිසිවකු යටතේ රැකියාවක් කළ අයකු නොවෙයි, ඊළඟට පවසා සිටියේ මමද රජයේ සේවයේ රැකියාවක නිරතව සිට විශ්‍රාම ගොස් ඇති බවයි. (මගේ වයස අනුමාන වශයෙන් තක්සේරු කිරීමෙන්, විශ්‍රාම වයසට එළැඹ ඇතැයි ‘අනාවැකි‘ කීම අරුමයක් නොවෙයි)

ඉන්පසු ප්‍රකාශ වූයේ මා සඳුදා දිනෙක මකර රාශියෙන් උපන් අයකු බවයි. එහෙත් ඒවා සත්‍යදැයි මා නොදන්නා බව පිළිතුරු වශයෙන් කියා සිටියා. එවිට මා වෙත පවසා සිටියේ මා මුස්ලිම් ජාතිකයකු බවයි. (ලග්න තොරතුරු නොදන්නේ යැයි කියූ නිසා එසේ අනුමාන කළා විය හැකියි.)

අනතුරුව පහත දක්වා ඇති දෑ ද මා වෙත ප්‍රකාශ කොට සිටියා.

i. දැනට මා පදිංචි නිවෙස මට හිමිකම ඇති බව (එය සත්‍යයකි)

මගේ පියාද වාසය කළේ එම නිවෙසෙහිමය බව (එය නිවැරදි නොවේ)

ii. මට භාර්යාවන් දෙදෙනකු සිටින බව (දෙවැනි භාර්යාව නම් තවම මට මුණගැසී නැත)

iii. මගේ පළමු භාර්යාවගෙන් දරුවන් දෙදෙනකු සිටී. (ඔහුට පින්සිදු වන්නට අනතුරුව මා දෙවැනි වතාවටද විවාහ වී ඇත.)

මා මෙහිදී ඔහු නොමඟ යැවීමට මගේ පළමු බිරිය මියනොගිය බවත් ඇගෙන් බලාපොරොත්තු ඉටු නොවූ නිසා දික්කසාද වූ බවත් කියා සිටියා. දරුවන් ලැබුණේ දෙවැනි භාර්යාවගෙන් යැයි කියා සිටියා. නාඩි ජේ‍යාතිෂකරු ඒ උගුලේ වැටුණු අතර ඒ අනුව ඔහු මා කීදේ සමඟ එකඟ වුණා. ඔහුගේ කියවීමේ සුළු ‍ෙදා්ෂයක් නිසා එලෙස වැරදි තොරතුරක් කියැවුණු බව ප්‍රකාශ කරනු ලැබුවා.

iv. මට සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකුත් සිටි බව අනතුරුව කියා සිටියා. එය ඇත්තක් නමුත් මම එය වැරදි යැයි පෙරළා ප්‍රතිචාර දැක්වූ විට එක් සහෝදරයෙක් හා සහෝදරියක් බවට ඔහු එය වෙනස් කරනු ලැබුවා.

v. මගේ පියාගේ නමේ ආරම්භක අකුර ලෙස තෝරා ගැනීමට අක්‍ෂර 12ක ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලැබුවා. මම ඊට නැතැයි ප්‍රතිචාර දැක්වූ කල තවත් එවැනි අකුරු දුසිමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඊටද නැතැයි ප්‍රතිචාර දැක්වූ විට ඔහු පුදුමයෙන් නිරුත්තර වූවා.

මිනිත්තු 30කට පමණ පසු මෙයින් වෙහෙසට පත්ව සිටි මා නාඩි කියවන්නාට ප්‍රකාශ කළේ ඔහු කියු බොහෝ දේ විකාරයන් බවයි. මෙයින් කෝපයට පත් ඔහු කියා සිටියේ, මා ඔහු වෙත අවංක වී නොමැති බවයි. මා ඊට පිළිතුරු වශයෙන් විමසා සිටියේ “අද දින මා මෙසේ පැමිණ මේ පත්ඉරුවල තිබෙන දෑ සත්‍ය දැයි පරීක්‍ෂා කිරීමේ අභිලාෂයෙන් මේ ආකාරයෙන් කටයුතු කරනු ඇතැයි යන බලවත් කාරණාවද පත්ඉරුවල ලියැවී තිබිය යුතු නේදැයි කියා” (මක් නිසාද මේවා ලියා ඇත්තේ සර්වඥාතා ඥානය ඇති අය විසිනි).

ඔහු කියූ සියලු කුණුකන්දල්වලට මා මුදල් ගෙවිය යුතු දැයි ඇසූවිට අපව එහි ඉතිරි කර පත්ඉරුද රැගෙන ඔහුගේම ආයතනයෙන් කලබලයෙන් බැහැරට ගියා. ඔහු ආපසු එතැයි මිනිත්තු කිහිපයක් රැඳී සිටීමෙන් අනතුරුව එසේ නොපැමිණි කල අප ඉන් පිටව ගියා.

ඉන් අනතුරුවත් මෙවැනි තැන් ගැන මම කරුණු එක්රැස් කරනු ලැබුවා. මෙම පත්ඉරුවල ලියැවී ඇත්තේ කුරුටු වැනි අර්ථ විරහිත, පිළිවෙළක් නැති සටහන්ය. ඔවුන් ඒවා තමන්ට කැමැති ආකාරයට නිරූපණය කොට අනාවැකි හෝ පෙර වැකි ලෙස අප හමුවේ කියා සිටිනවා.

සේවා ලාභියාගේ තොරතුරු ‘කියවීමට’ මෙම නාඩි ජේ‍යාතිෂකරුවන් යොදා ගන්නා උපක්‍රම ප්‍රධාන වශයෙන් පහත පරිදියි.

i. අදාළ පත්ඉරු සොයා ගන්නා තෙක් රැඳී සිටින්නට සිදුවන ස්ථානයේදී ඇතිවන දෙබස්වලට ඇහුම්කන් දීමට ඔත්තු බැලීමේ ශ්‍රව්‍ය ආධාරක සවිකොට තිබිය හැකියි.

ii. නාඩි කියවන්නා තම වෘත්තිය තුළින්ම වර්ධනය කරගත් ඥානාන්විත කුසලතාවක් සහිත අයකු වෙයි. ඔහු සේවා ලාභියාගේ සහ ඔහුගේ සහායකයන්ගේ ඉරියව්, ප්‍රතිචාර හා භාවමය ප්‍රතික්‍රියා අනුව අනුමානයෙන් හා නිරීක්‍ෂණයන් ඔස්සේ තම අනාවැකි සහ තොරතුරු ප්‍රකාශ කරනු ලබනවා.

iii. ඉලක්කගත ප්‍රශ්න මඟින් සේවාලාභියාගේ සමාජ පසුබිම, සංස්කෘතික පසුබිම, පවුල් පසුබිම පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇසුරින් තම අනුමානයන් එළිදක්වනවා.

iv. නම් සහ අනෙකුත් මූලික තොරතුරු වෙත ළඟා වීමට Process of elimination (අනුයාත වශයෙන්, නොගැළපෙන තොරතුරු එකින් එක බැහැර කිරීමේ ක්‍රියාදාමයක් ඔස්සේ අවශ්‍ය තොරතුරු කරා ආසන්න වීමේ ක්‍රමවේදය උපාය) භාවිත කරයි.

v. බොහෝ තොරතුරු එසේත් නැත්නම් ඊට අවශ්‍ය මූලාශ්‍රයන් ලබා දෙන්නේ සේවා ලාභියා විසින්මයි. ඔහුගේ ප්‍රතික්‍රියා, ඔව්-නැත පිළිතුරු, ඔහුගේ අවිඥානික ශරීර සංඥාවන් එසේ තොරතුරු ලබාදෙන කවුළු වෙයි.

මා එම ස්ථානය වෙත ගිය අවස්ථාවේදී මා ලබා තිබූ අත්දැකීම් අනුව කල්පනාකාරී වෙමින් මගේ අවබෝධයද සහිතව නාඩි කියවන්නා වෙත නොමඟ යවනසුලු ශරීර සංඥාවන් හා භාව ප්‍රකාශනයන් නිකුත් කළා. ඒ නිසා ඔහුගේ ක්‍රමවේදයට අනුව මා ගැන අනුමානයන් ලබා ගැනීමට ඇති හැකියාව මවිසින් ව්‍යාකූල කර ඔහුව උගුලක හෙළනු ලැබුවා.

ආචාර්ය නරේන්ද්‍ර නායක්

(දකුණු ඉන්දියානු හේතුවාදී ක්‍රියාධරයෙකි.)

අනුවර්තනය කරනු ලැබුවේ

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

යාපනයේ වෙළෙඳසලක ඩීසල් ලීටරය 1000ට විකුණලා

යාපනයේ - අලවෙඩ්ඩි ප්‍රදේශයේ වෙළෙඳසලක ඩීසල් ලීටර් 300ක් සඟවා...

බහුවිශ්ව සංකල්පය අනාගතයේදී සැබෑවක් වෙයිද?

මේ ලෝකයට පළමුවෙන්ම පැමිණියේ “කුකුළද? බිත්තරයද? අපි පුංචි කාලයේදී...

සිහින වෙනුවෙන් පයින් ගැසීමට සුදානම් වන Dream

අතිදක්ෂ, ඒවගේම ඉතාම කඩවසම් කොරියානු රංගන ශිල්පියෙක් වන Park...

දවස් 30යි ඝාතන 13යි නාඳුනන තුවක්කුවේ ඊළඟ බිල්ල කවුද

නාඳුනන තුවක්කුකරුවන් විසින් ඉකුත් දින 30 තුළදී පුද්ගලයන් 13...