දූෂණයට එරෙහිව නැඟිටිමු

0
168

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. වියවුලෙන් වියවුලට පත් වන ලාංකේය සමාජයේ පුරවැසියන් තුළ වංචාවට හා දූෂණයට එරෙහි මින් පෙර නොවූ විරූ උදේ‍යාගයක් මතුවෙමින් තිබේ.

එය වර්තමානයේ අපේක්ෂා නොකළ තරම් අසිරිමත් අත්දැකීමකි. අඳුර බිඳින රන් එළියකි.

අප එසේ සඳහන් කරන්නේ අද අප භුක්ති විඳින සකලවිධ ප්‍රශ්නවල පදනම පරම්පරා කිහිපයක් තිස්සේ දලුලා වැඩුණු දූෂණය හා වංචාව වීම නිසාය. දසක කිහිපයක් එක දිගට බලය අල්ලා ගෙන සිටින පාලක පවුල් විසින් මහජන දේපළ සොරා කා ඇති අන්දම පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් එළියට දැමූ දූෂණ වංචා ලිපිගොනුවලින් පැහැදිලි විය.

එම අතළොස්සක් ලිපි ගොනුවලින් යුක්තිගරුක පුරවැසියෝ විස්මයට පත් වූ අන්දම සමාජ කතාබහේදී දැක ගන්නට ලැබිණි. දූෂණය වනාහි තනි පුද්ගලයකුගේ ව්‍යායාමයක් නොවේ. එය සමාජයේ බලය අරා සිටින චෞර වළල්ලක පොදු ක්‍රියාදාමයකි. දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, රජයේ නිලධාරීන්, පොලිසිය ඇතුළු ඇතැම් විමර්ශන නිලධාරීන් සහ නීතිය පසිඳලන ආයතනවල ඇතැම් විනිසුරන් දූෂණ වළල්ලේ වරපට වෙති.

පුරවැසි සමාජය සිදු කරන බරපතළ වරද වන්නේ දූෂණය ඉවසා දරා සිටීමය. පරම්පරා කීපයක් දූෂණ ඉඩදී බලා සිටීමෙන් දූෂණය දැවැන්ත වෘක්ෂයක් සේ දලුලා ඉහළ නඟී. රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාවේ අපට ලබා දුන්නේ එම අත්දැකීමය. දූෂණයට සහ දූෂිතයාට එරෙහි වීම සෑම පුරවැසියකුම තමාටත් තමා අයත් ජන සමාජයටත් සිදු කරන පූජනීය මෙහෙවරකි.

දූෂණය සියලු රටවලට බලපාන සංකීර්ණ සමාජ, දේශපාලන හා ආර්ථික සංසිද්ධියකි. දූෂණය සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අඩපණ කරන්නේය. රටක ආර්ථික සංවර්ධනය මන්දගාමී කරන්නේය. දූෂණය විසින් නිලධාරිවාදී මඩගොහොරුවක් නිර්මාණය කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිඳ වැටෙන්නේය. දූෂණය දකුණු ආසියාව පුරාම වෙළා ගෙන ඇති අන්ධකාරයකි.

ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි මතවාදය 2005 සිට මේ දක්වා වඩාත් සාකච්ඡාවට භාජන වූවකි. නමුත් දූෂණය සම්බන්ධව සිදු කෙරෙන එළිදරව් කිරීම්වලට පුරවැසියන් විසින් දැක්වූ ප්‍රතිචාරය ඉතා උදාසීන විය. ඒ නිසාම මහජන නියෝජිත ආයතන කරා ඡන්ද බලයෙන් බොහෝවිට තේරී පත් වූයේ දූෂිතයන්ය, වංචාකාරීන්ය, සොරුන්ය. අපේ හොරා අපට හොඳා කියන තැනට මිනිසුන් පත්විය.

දූෂිත මහජන නියෝජිතයන් විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්වන මුදල් කිසිදු සංවර්ධන වැඩක් නොකරම තම සාක්කුවට දමා ගන්නා විට වින්දිතයා වන්නේ රටේ මහජනතාවය.

ජන ජීවිතයේ මූලික අවශ්‍යතාවලට කිසිදු ප්‍රවේශ මාර්ගයක් නැති, සාක්ෂරතාවක් නැති, කුසලතා නැති, දුප්පත් ජනයාට සේවය සපයනවා යැයි පවසමින් මේ දූෂණ වළල්ල මහ දවල් සොරකමේ යෙදුණහ.

දූෂිත පාලකයන් සිල් රෙදි බෙදීම වැනි ඉතා සිල්ලර කාරණයකින් දුප්පතුන් අන්දන්නට සමත් විය.

වර්තමානයේ මුවහත් වී ඇති පොදුජන අරගලයේදී රටේ ප්‍රශ්නවලට විසඳුම් නොදෙන අසමත් අගමැති, මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනතාව බල කර සිටියහ.   පසුගියදා  අගමැතිකමේ තවදුරටත් ඉන්න යැයි මහින්දගෙන් ඉල්ලා සිටියේ  ගම් මට්ටමේ ගස්, වැලි, ගල්, බිස්නස්වල යෙදෙන චෞර වළල්ල විසිනි. ඔවුන් කිසිසේත්ම ගමේ සංවර්ධනය අපේක්ෂා කරන්නෝ නොවෙති.

සාර්ථක දූෂණ විරෝධී මැදිහත්වීම් වනාහි ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී මෙවලමකි. එය ශක්තිමත් දේශපාලන ප්‍රවේශයකි. දූෂණයේ බරපතළකම හඳුනාගෙන අප විසින් කළ යුත්තේ දූෂිතයාට කිසිදු ඉඩක් නොදෙන අන්දමින් සමාජය සවිබල ගැන්වීමය. එය පවුලෙන්, ගමෙන්, නගරයෙන්, තමා සේවය කරන ආයතනයෙන්, ආරම්භ කළ හැකිය. දූෂිතයකුට, වංචාකාරයකුට පුරවැසියන් රැවැටීම සඳහා ඉඩක් නොදීමට  සමාජයේ සෑම පුරවැසියකුටම වගකීමක් තිබේ. දූෂණය හා දූෂිතයන් පිටුදකිමු.