අගමැති ඉවත් වෙන්නේ නැති නම් ජනාධිපතිවරයා ඒ ගැන තීරණයක් ගත යුතුයි

0
65

අපේ රටට මොකක්ද වෙන්නේ?

අපි රටක් විධියට ඉන්නේ ඉතාම බැරෑරුම් අර්බුදයක් ඇතුළේ. මේ අර්බුදයේ ඇත්තම පීඩනය තවම අපිට දැනුණේ නැහැ. අපිට දැනට මෙය පෙනෙන්නේ ඉන්ධන හිඟයක්, ගෑස් හිඟයක්, විදුලිබල කප්පාදුවක් විධියට පමණයි. නමුත් මෙය තවත් ඉදිරියට යෑමට ඉඩදී බලාගෙන සිටියහොත් මෙය බරපතළ ආහාර හිඟයක් වැනි දෙයක් දක්වා යා හැකියි. කර්මාන්තශාලා හා ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසේවි. ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වේවි. ඒ අතර ඒ හා සමගාමී අවිධිමත් ආර්ථිකයේ බොහෝ අංග බිඳ වැටේවි. එතැනින් තවත් ලක්ෂ ගණනකට ජීවනෝපාය මාර්ග නැති වේවි.

කවුද මේ තත්ත්වයට රට ඇද දැමුවේ කවුද වගඋත්තරකරුවෝ?

1977න් පසුව සිටි සෑම පාලන තන්ත්‍රයක්ම අඩු වැඩි වශයෙන් මේ අර්බුදයට වගකිව යුතුයි. අපේ ආණ්ඩුවට තිබෙන ප්‍රධානම විවේචනය තමයි මේ අර්බුදය උත්සන්න වීමට පෙර ගතයුතු නිවැරැදි තීරණ නොගැනීම. අපිට වගඋත්තරකරුවෝ කවුද කියලා නම් කරන්න පුළුවන්. නමුත් ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රිවරයකුටම වගකීමක් තිබෙනවා. වර්තමාන පාලකයන්ගේ අතට මේක භාරදීලා විසඳන්න කියලා කිව්වට මේක එහෙම පහසුවෙන් විසඳෙයි කියලා තවදුරටත් බලාපොරොත්තු වෙන්න බැහැ.

මේ අර්බුදය විසින් මුළුමහත් දේශපාලන තන්ත්‍රයම, රාජ්‍ය තන්ත්‍රයම බිඳවට්ටමින් තිබෙනවා. එය වළක්වන්න, එය බේරගන්න පියවර නොගෙන තවමත් කරමින් ඉන්නේ ඔළුව අතගගා ඔහේ බලාගෙන ඉන්න එක. දැන් මහජනතාවගේ විශ්වාසය සහ බලාපොරොත්තු නැතිවෙලා ඉවරයි. මහජනතාව දැන් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ මේකෙන් එළියට එන්න කවුරු හෝ පොටක් හදලා දෙයි කියන එක.

අද ඉවත් වෙනවා, හෙට ඉවත් වෙනවා කිව්වට අගමැතිවරයා ඉවත්වෙන පාටක් නැහැ වගේ නේද?

අගමැතිවරයා යන්න හිත හදාගන්නකොටම කට්ටියක් ගිහින් ඔහුගේ හිත වෙනස් කරනවා. ඒ පිරිසගෙන් ඇතැමෙක් රාජපක්ෂ පවුලේ අය. අනෙක් පිරිස ඇමැතිකම් එහෙම නැතිවෙලා හද්දා අනාථ වුණු අය. මේ හැමෝම අගමැතිවරයාගේ පිටුපසින් සිටගෙන ඉන්න ඒ සෙවණැල්ලෙන් රැකෙන පිරිසක්. මේ අය හිතනවා අගමැතිවරයා ඉවත් වුණොත් ඔවුන් සදා අනාථයි කියලා. හැංගෙන්න තිබෙන අවසාන තැනත් නැති වෙනවට ඔවුන් බයයි. ඒ නිසා අගමැතිවරයා ඉවත්වෙන්න හිත හදාගන්න සෑම මොහොතකම මොවුන් විවිධ කතා කියලා ඔහුගේ සිත වෙනස් කරවනවා. එතුමා එක අතකින් පව්. මොනතරම් රටක් ආදරය කරපු නායකයෙක්ද? සමහර පුත්තු මේ දවස්වල අගමැතිවරයාට රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්න දෙන්නෙත් නැහැලු. මොකද ප්‍රවෘත්ති බැලුවොත් මහ නායක හිමිවරු කියන ඒවයි, අනෙක් අය කියන ඒවයි දැක්කොත් ඔහුට ඉවත් වෙන්න හිතෙනවානේ. ඒ නිසා ඕක වුණා කියලා කියනකන්ම විශ්වාස කරන්න බැරි තත්ත්වයක තිබෙන දෙයක්.

ඒ කියන්නේ අගමැතිව ගෙදර යවන්න බලාගෙන හිටපු ඔබලා Fail?

අගමැති ප්‍රමුඛ වර්තමාන පාලනය විසුරුවා හැරලා ඇමැති මණ්ඩලයත් විසිරුවා හැරලා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන සර්වපාක්ෂික නියෝජනයක් සහිතව නව අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කොටගත යුතුයි. මේ අර්බුදය උත්සන්න වීමට නොදී පාලනය කොටගත යුතුයි. මහජනතාවට පිළිගත හැකි මට්ටමේ බහුපාර්ශ්වීය නියෝජනයක් සහිත පාලනයක් වහාම ඇති කළ යුතුයි. එසේ නොකරනවා නම් මොවුන්ව යම් තෙරපුමකට ලක් කළ යුතුයි රටේ ජනතාව විසින්. මමත් පාර්ලිමේන්තුව තුළ සිටින වෙලාවක කොයි මොහොතක හෝ ජනතාව පාර්ලිමේන්තුව වට කරනවා. වට කරලා විසඳුමක් අරගෙන මිසක් අපි එළියට යන්නේ නැහැ කියන තැනට එයි. ඒ ආකාරයේ තෙරපුමක් නැතිව මෙය වෙන්නෙත් නැහැ.

මේ තත්ත්වය උත්සන්න වුණාට පසුව පාට පක්ෂ භේද නැහැ. සෑම මනුෂ්‍යයකුගේම ආරක්ෂාවට පවා තර්ජන ඇති වෙනවා. යමක් තිබෙන මිනිහා දෙස නැති මිනිහා වෛරයෙන් බලන තැනට පත්වෙනවා. විදුලිය කැපුවම ජෙනරේටරයක් තිබෙන මිනිහගේ ගෙදරට ගල් ගහන තැනට මිනිස්සු පත්වෙයි. මුළු රටම අපාලිත තත්ත්වයකට වැටෙනවා. රට එවැනි තත්ත්වයකට වැටෙන තෙක් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කවුරු හෝ බලාගෙන සිටිනවා නම් අන්න ඒ අයට ජනතාව යම් බලපෑමක් එල්ල කළ යුතුයි තීරණ ගැනීම ඉක්මන් කරවීමට. එවැනි තීරණාත්මක බලකිරීමකට පොදු ජනතාව යා යුතුයි.

ජනතාව Gota Go Home කියනවිට ඒ හඬට ඇහුම්කන් නොදී අගමැතිව ගෙදර යවන්න හදන්නේ ඇයි?

මේ රටේ මහා සංඝරත්නය, කාදිනල් පියතුමා, වාණිජ මණ්ඩලයේ අය, නීතිඥ සංගමය මේ හැමෝම කියන්නේ එකම දෙයක්. ඔවුන් එය කියන වචන වෙනස් ඇති. නමුත් ඔවුන් සැවොම ඉදිරිපත් කළ යෝජනාවල තිබුණේ සැවොම එකතු වුණු පාලනයක් පිහිටුවලා ඒ පාලනය මඟින් මේ තත්ත්වය සමනය කොට රට යම් ස්ථාවර මට්ටමකට ගෙනැවිත් ඉන් අනතුරුව මැතිවරණයකට යෑම හෝ සුදුසු දෙයක් කරන්න කියලයි. ඒ කිසිවෙක් කියන්නේ නැහැ ජනාධිපති ගෙදර යන්න කියලා. ජනාධිපති සහ අගමැති දෙදෙනාම එකවර ගියහොත් රටේ ව්‍යවස්ථාව අනුව විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. Gota Go Home සටන් පාඨය තුළ ඉන්න ඇතැම් දැන උගත් කොටස් මේක දන්නවා.

ඇයි ජනාධිපතිවරයාව තියාගන්න ඔතරම්ම උත්සාහ කරන්නේ?

හරි අපි සිතමුකෝ ජනාධිපතිවරයා ඉවත්වුණා කියලා. ව්‍යවස්ථාවට අනුව වැඩබලන ජනාධිපතිවරයෙක් පත් කරගන්න පුළුවන්. ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 113ක් හෝ ඊට වඩා වැඩි කැමැත්තක් ලැබිය යුතුය. එසේ 113ක් හෝ ඊට වඩා වැඩියෙන් ගැනීමට නොහැකි වුවහොත් කරන්නේ මොකක්ද කියලා අපේ ව්‍යවස්ථාවේ සඳහන් කරලා නැහැ.

අගමැතිත් ඉවත් නොවෙනවා කියන්නේ පවුලේ බලපෑම තවදුරටත් ඉතිරිය කියන එකයි. බැසිල් රාජපක්ෂ ඒ සෙවණැල්ලට මුවා වෙලා මේ තුළ සිටීවි.

ඇයි බැසිල් රාජපක්ෂට බැරිද ජනාධිපතිවරයාගේ සෙවණැල්ලට මුවාවෙලා ඔය අන්තර්කාලීන ආණ්ඩුවට අතපෙවීම් කරන්න?

අපි අන්තර්කාලීන ආණ්ඩුවක් යෝජනා කරන්නේ ජනාධිපතිව මුදුනේ තබාගෙන, ජනාධිපති කියන විධියට වැඩ කරන්න නෙවෙයි. මේක ජනාධිපති කියන විධියට වැඩ කරන මොඩ්ල් එකක් නෙවෙයි. ජනාධිපතිවරයාට උඩින් ජාතික සභාවක් තිබෙනවා. ඒකෙන් තමයි අවශ්‍ය තීන්දු, තීරණ ගැනෙන්නේ. ඒ නිසා තවදුරටත් ඔය කාටවත් කාගෙවත් සෙවණැලිවලට මුවාවෙන්න ලැබෙන්නේ නැහැ.

සහෝදරයගේ කීම අහලා ඔබලාව ආණ්ඩුවෙන් එළියට දාපු ජනාධිපතිවරයාව මෙතැනදී ඔබලාට විශ්වාස කරන්න පුළුවන්ද?

මෙතැනදී විශ්වාස කරනවද නැද්ද කියන කාරණාවට වඩා වැදගත් වෙන්නේ මතුවෙලා තිබෙන අර්බුදය කොහොමද සමනය කරගන්නේ කියන එක. යමෙක් නායකයෙක් නම් මේ මොහොතේ තමන්ගේ නායකත්ව ගුණාංග පෙන්විය යුතුයි. අනෙක් කාරණය තමයි ජාතික සභාවට උඩින් තව විද්වතුන්ගේ උපදේශන සභාවකුත් තිබෙනවා. යම් හෙයකින් මේ කවර දෙයකට හෝ බැසිල් රාජපක්ෂ සම්බන්ධ වෙනවා නම් එතැනට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.

දැන් මොකක්ද ඔය කියන ජාතික සභාව?

අපි යෝජනා කරන ජාතික එකඟතා ආණ්ඩුව පත් කිරීමට දායක වන පක්ෂ හෝ පාර්ශ්වවල එක් නියෝජිතයා බැගින් ජාතික සභාවට පත්කරනවා. අපි හිතමු පක්ෂ 10ක් සහ පාර්ශ්ව 2ක් තිබුණා කියලා. එතකොට එක් පක්ෂයකින් හා පාර්ශ්වයකින් එක්කෙනා බැගින් ජාතික සභාව නියෝජනය කරනවා. ඒ කියන්නේ ජාතික සභාවේ 12ක් ඉන්නවා. මේකෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. ඒ තීරණ තමයි අමාත්‍යාංශවලටත් ගලාගෙන යන්නේ.

විද්වත් උපදේශන සභාවකුත් තිබෙනවා. ජාතික සභාවකුත් තිබෙනවා. ඇමැතිවරුත් ඉන්නවා. ජනාධිපතිත් ඉන්නවා. ආ¾ඩි හත්දෙනාගේ කැඳහැළිය වගේ වෙයිද?

එහෙම වෙන්න පුළුවන් රට ස්ථාවරව හොඳින් පවතින වෙලාවක මේවා හැදුවා නම්. දැන් රට තිබෙන්නේ අමාරු වෙලාවක. එවැනි මොහොතක සැවොම සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. හිතු හිතූ තීරණ ගන්නවත්, තීරණ නොගෙන නිකන් බලාගෙන ඉන්නවත් මෙතැනදී කාටවත්ම ඉඩක් නැහැ.

අගමැති ඉවත් වෙන්නෙත් නැහැ. අන්තර්කාලීන ජාතික එකඟතා ආණ්ඩුව හීනයක්ම වෙයි වගේ නේද?

අගමැතිවරයා ඉවත් නොවෙනවා නම් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි. එවැනි තීරණයක් නොගන්නවා නම් අපිට මේ සාකච්ඡා තවදුරටත් ඇදගෙන යන්න බැහැනේ. රටේ අර්බුද තවත් උත්සන්න වූවාට පසුව මේක විසඳුමක් විධියට ජනතාව භාරගන්න එකක් නැහැ.

එතකොට අන්තර්කාලීන ආණ්ඩුවට මොකක්ද වෙන්නේ?

ජනාධිපතිවරයා තමයි තීරණය ගත යුත්තේ.

ජනාධිපතිවරයා තීරණයක් නොගත්තොත්?

එතුමා තීරණයක් ගන්නේ නැත්නම් අපේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.

එතකොට ර්ථීතචද ඕ එක මොකක්ද?

අපි කියපු උත්තරය, අපේ යෝජනාව මහ නායක හිමිවරු, නීතිඥ සංගමය, කාදිනල් උන්නාන්සේ පවා පිළිගෙන තිබෙනවා. ඒ උත්තරය ගැළපෙන්නේ නැහැ කියලා හිතනවා නම් කවුරු හෝ මීට වඩා හොඳ උත්තරයක් දෙන්න ඕනෑ. නමුත් අපිට මේක තනිවම කරන්න බැහැනේ අනෙක් පාර්ශ්ව සහයෝගයෙන් මේ දිහා බලන්නේ නැත්නම්. අගමැතිවරයා, ජනාධිපතිවරයා සහ සෙසු පක්ෂත් අවශ්‍ය සහයෝගය දෙන්නේ නැත්නම් අපිට විතරක් වුවමනාව තිබුණට මේක කරන්න බැහැ.

එහෙම නම් සමගි ජන බලවේගයේ විශ්වාසභංගයට සහයෝගය දෙනවද?

අපිට ස.ජ.බ. විශ්වාසභංගයට සහයෝගය දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සජබ අපිට පැහැදිලිව කියන්න ඕනෑ විශ්වාසභංගය දිනුවට පසුව අන්තර්කාලීන ආණ්ඩුවට එකඟ වෙනවද එහෙමත් නැත්නම් සජිත් ප්‍රේමදාසගේ පාලනයක් හෝ පිහිටුවනවාද කියලා. මොකක් හෝ තිබෙන එකක් පෙරළන්න ඕනෑ හැදෙන එකක් ගැන අවබෝධයෙන්නේ. පෙරළුණාට පසුව “හුටා පෙරළුණා නේද?” කියලා නිකන් බලන් ඉන්න බැහැනේ. ඒ නිසා අපිට සජබ පැහැදිලි උත්තරයක් දෙන්න. ඒ උත්තරය හොඳයි නම් ඒකෙන් රට අරාජික වෙන්නෙත් නැත්නම් අපි සජබ විශ්වාසභංගයට සහාය දෙනවා.

සජබ හෝ ජාජබ, ජවිපෙ මේ කවුරුවත් ගෝඨාභය රාජපක්ෂව මුල්පුටුවේ තබාගෙන කරන අන්තර්කාලීන ආණ්ඩුවලට සහාය නොදෙන බව පවසනවා?

ඔවුන් ඔය කියන පටු අර්ථයෙන් නම් මේ කාරණය දෙස බලන්නේ අපිටත් කරන්න දෙයක් නැහැ. දැන් තිබෙන අලුත් තත්ත්වය හඳුනාගෙන ඒ අභියෝගය හරියට දකින්න බැරි නම් ඇත්තටම ඔවුන් කරන්නේ මේ අර්බුදය උත්සන්න වෙන්න දීලා තවත් මෙය පතුලටම වැටෙන්න ඉඩ හදන එක.

අපේ ආදිවාසී නායකතුමා කිව්වා මේ 225ත් හරියට මළකුණට වහපු කපුටු රෑනක් වගේ කියලා. අපි සිතුවට කපුටු තියරිය තිබෙන්නේ බැසිල් රාජපක්ෂට විතරයි කියලා මේ අයත් අනුගමනය කරන්නේ ඒ තියරිය නම් මේ රටට දෙවියන්ගෙම පිහිටයි.

එදා බැසිල් රාජපක්‍ෂට අවලස්සන ඇමෙරිකානුවා කිව්වා. නඟන්න පුළුවන් සේරම අවලාද ටිකත් නැඟුවා?

ඔව්, අදටත් ඒ කියපුවා වලංගුයි කිසි වෙනසක් නැහැ.

ආයෙත් ඔහු ඉන්න පැත්ත බලාගෙන බත්වත් කන්නේ නැහැ කියලා අවසානේ ඔහුව මුහුණට මුහුණ හමුවෙලා සාකච්ඡාවකුත් කළා. විමල් වීරවංශට ලැජ්ජා නැහැ කියලා මිනිස්සු කියනවා?

ඇත්තම කතාව මේකයි. අපේ කණ්ඩායමෙන් පස් දෙනකුව තෝරා ගත්තා සෙසු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට. ජනාධිපතිවරයාව හමුවෙලා ප්‍රශ්න ගැන සාකච්ඡා කළේත් අපි පස්දෙනාමයි. ඒ සාකච්ඡාව කළාට පසුව ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා පො.ජ.පෙ. සමඟත් සාකච්ඡාවක් කරන්න කියලා. අපි එකඟ වුණා. සාකච්ඡාව සූදානම් කොට තිබුණේ ජනාධිපති මන්දිරයේ. මම ඇතුළු අපේ කණ්ඩායමේ අනෙක් සිවුදෙනත් එතැනට ගියා. අපි එහි යනවිට ඔහු පැමිණ වාඩි වී සිටියා.

පො.ජ.පෙ. සමඟ කරන සාකච්ඡාවකට බැසිල් රාජපක්ෂත් වාඩිවෙනවා කියලා දැනගෙන සිටියේ නැහැ කියලද දැන් කියන්නේ?

ඔහු එතැන හිඳියි කියලා අපිට කිසිදු පූර්ව අවබෝධයක් තිබුණෙත් නැහැ. ඔහු පැමිණෙන බව අපි දැනගෙන සිටියෙත් නැහැ. අපි මේ මනුස්සයා ගැන හෙළිදරව් කරලා තිබෙන දේවල්වල හැටියට ලැජ්ජාවක් ඇතිව නැවතත් අපේ මුහුණු බලයි කියලා අපි කීයටවත් සිතුවේ නැහැ. ඒකෙන්ම ලැජ්ජාවක් නැත්තේ කාටද කියන එක පේනවා. අපි නොසිතූ ආකාරයට අපි එහි යනවිටත් ඔහු එතැන වාඩි වී සිටියා.

ඉතින් ආපසු හැරී එන්න තිබුණානේ

ඔව්, එක්කෝ හැරිලා එන්න ඕනෑ. නැත්නම් අමාරුවෙන් හරි අකැමැත්ත, අප්‍රසාදය දරාගෙන සාකච්ඡාව කළ යුතුයි. ජනාධිපතිතුමත් මුල් හරියේදී සාකච්ඡාවට සහභාගි වුණු නිසා අපිට හැරිලා එන්න පුළුවන් වුණේ නැහැ. කොහොමහරි අපි අපේ කියන්න තිබෙන දේවල් ඉක්මනට කියලා සකච්ඡාව අවසන් කළා.

නමුත් එය මාධ්‍යයට වාර්තා වුණේ සියලු දෙනාම බැසිල් රාජපක්‍ෂ සමඟ දේශපාලනය කිරීමට සූදානම් කියලයි?

ඔහු සමඟ දේශපාලනය කරන්න අපේ කිසිම සූදානමක් නැහැ. සංජීව එදිරිමාන්න කියලා පුද්ගලයෙක් ඉන්නවා, බැසිල් රාජපක්‍ෂ සුරතලයට වගේ හදන. අන්න ඒ පුද්ගලයා තමයි මාධ්‍යවලට ඔය කතාව කිව්වේ. අපිට බැසිල් එක්ක කරන්න කිසිම දේශපාලනයක් ඉතිරි වෙලා නැහැ.

බැසිල් රාජපක්‍ෂගෙන් වියුක්ත වෙලා පොහොට්ටුව එයිද අන්තර්කාලීන ආණ්ඩු හදන්න?

එහෙමනම් අපි ඒකෙනුත් ඉවත් වෙනවා. අපි ඉන්නේ නැහැ. ඔහු උත්සාහ කරනවා වෙන්න පුළුවන් සම්බන්ධවෙලා මෙය කඩාකප්පල් කිරීමට. කෙසේ හෝ ඔහු මේ අන්තර්කාලීන ආණ්ඩුවට හෝ විධායක සභාවට හෝ සම්බන්ධ වෙනවා නම් අපි ඉවත් වෙනවා. එක්කෝ ඔහු ඇතුළු කණ්ඩායම, නැත්නම් අපි. දෙකෙන් එකයි. දෙකම එකට පවතින්නේ නැහැ.

අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමැතිකම් නොලැබෙන ආණ්ඩුවේ අය ගිහින් විපක්‍ෂයේ වාඩිවෙන බව කියැවෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවයි, විපක්‍ෂයයි දෙකම නියෝජනය කරන්නේ ආණ්ඩුවේ අය?

ඔය කියන තත්ත්වය ඇති කිරීමට උත්සාහ කළෙත් බැසිල් රාජපක්‍ෂම තමයි. මුලදී ඔහු  අගමැතිතුමා සමඟ එකතුවෙලා සජිත් ප්‍රේමදාසට ඉන්න ගණනට වඩා එක්කෙනෙක් හෝ අරගෙන විපක්‍ෂයේ වාඩිවෙන්න උත්සාහ කළා. එහෙම තරලා උත්සාහ කළේ සජිත්ගේ විපක්‍ෂ නායකකම එයාට අරගන්න. ඉන් පසුව සජිත් ප්‍රේමදාස බිය වුණා මේ අලකලංචිය අස්සේ එයාගේ විපක්‍ෂ නායකකම නැතිවෙයි කියලා.

ඒ වැඩෙන් පසුව තමයි සජිත් ප්‍රේමදාස අන්තර්කාලීන ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම විරුද්ධව සිටගත්තේ. බැසිල් රාජපක්‍ෂට ආණ්ඩුවෙන් පිනට කකා බිබී ඉන්න තනතුරක් නැති වුණාම පිස්සු වගේ.

බැසිල් රාජපක්‍ෂට සජිත් ප්‍රේමදාසට වඩා එක්කෙනෙක් හරි වැඩියෙන් සොයා ගන්න බැහැ කියලද ඔබ කියන්නේ?

සජිත් ප්‍රේමදාසට වඩා එක්කෙනෙක් වැඩියෙන් සොයා ගත්තත් ගිහින් විපක්‍ෂයේ වාඩිවෙන්න කැමැති අය නම් සොයා ගන්න හම්බවෙන්නේ නැහැ. මොළයක් තිබෙන තිසිම මිනිහෙක් ආණ්ඩුව දාලා එයා එක්ක විපක්‍ෂයේ වාඩි වෙයිද? බැසිල් රාජපක්‍ෂ විපක්‍ෂයට නෙවෙයි කොහේ ගියත් අවසානයට යන්නේ ඇමෙරිකාවට. මේක අල කරලා අවසානයේ ඇමෙරිකාවට යන්න බලාගෙන ඉන්න බැසිල් රාජපක්ෂ සමඟ විපක්‍ෂයට යන්න කවුරු හෝ කැමැත්තෙන් ඉන්නවා නම් එක්කෝ මොළයේ ආබාධයක්, නැත්නම් මොකක් හෝ අසනීපයක්.

කොහොම හරි ඔහු අන්තර්කාලීන ආණ්ඩුවට එකඟ වුණා නේද?

ඔව්, ඉතින් විපක්‍ෂ නායකකම අරගෙන විපක්‍ෂයේ වාඩිවෙන සැලසුම අසාර්ථක වුණාට පසුව තමයි අන්තර්කාලීන ආණ්ඩුවට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියලා කිව්වේ. ඒක අවංකව කියපු කතාවක් නෙවෙයි. ඔහු ඉන්න අන්තර්කාලීන ආණ්ඩුවක අපි නැහැ. නමුත් ඔහු, ඔහුගේ ජාත්‍යන්තර ස්වාමියා කියන ආකාරයට නන් අයුරින් උත්සාහ කරයි එවැනි අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුණහොත් එය බිඳ දැමීමට. අපි ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලයි ඉන්නේ.

රටේ භාණ්ඩාගාරය හිඳිලා තිබියදී, විදේශ සංචිත බිංදුවටම වැටිලා තිබියදී අන්තර්කාලීන ආණ්ඩුවට වැඩ කරන්න සල්ලි කොහෙන්ද?

මේක සාමාන්‍ය ආකාරයේ ආණ්ඩුවක් නෙවෙයි. නමුත් කෙටිකාලීන, මධ්‍යකාලීන විසඳුම් සොයන්න ඕනෑ. මේකෙන් එකපාරටම විශ්වකර්ම වැඩ කරන්න බැරිවෙයි. මුලින්ම සමාජ ස්ථාවරභාවය සහ දේශපාලන ස්ථාවරභාවය සැදිය යුතුයි. ඔය දෙක නැතිව මුකුත්ම කරන්න බැහැ. අපි සැලැස්මකට යා යුතුයි. අපිට මේ දේවල් කිරීමට වැඩ සැලැස්මක් තිබෙනවා.

මොනවද ඔබලාගේ වැඩ සැලැස්මට අන්තර්ගත වෙන්නේ?

අපි කරුණු 11ක යෝජනාවලියක් සූදානම් කොට තිබෙනවා. එයින් අපි මේ අර්බුදකාරී මොහොතේ කළ යුතුම දේවල් පිටු 13ක සඳහන් කොට තිබෙනවා. ජාතික සභාවට තිබෙන බලතල මොනවාද? පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගෙන ඉන්පසුව අමාත්‍යාංශවල කටයුතු සිදුවන්නේ කොහොමද සහ පාර්ලිමේන්තු ආංශික කාරක සභා හදලා එයින් කොහොමද මෙයට තල්ලුවක් දෙන්නේ කියලා අපි මෙහි සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට වහාම ගත යුතු ක්‍රියාමර්ග මොනවාද, ඉන් අනතුරුව විදේශ විනිමය අර්බුදය විසඳීමට ගතයුතු කෙටි කාලීන, මධ්‍යකාලීන විසඳුම් මොනවාද, විදේශ විනිමය පනතේ සිදුවිය යුතු සංශෝධන මොනවාද කියා අපි මේ වැඩ සැලැස්මේ සාකච්ඡා කොට තිබෙනවා.

අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට්ටුවේ ඉන්නේ කවුද?

ජාතික සභාවෙන් තමයි කැබිනට්ටුවේ ඉන්නේ කවුද නොඉන්නේ කවුද කියලා තීරණය කරන්නේ.

කවුද නව අගමැති?

එයත් තීරණය වෙන්නේ ජාතික සභාවෙන්ම තමයි. තවම එයත් තීරණය කරලා නැහැ.

අගමැතිකමට යෝජනා වන නම් අතර ඔබේ නමත් තිබෙනවා කියන්නේ ඇත්තද?

අනේ මම එවැනි දෙයක් දන්නෙත් නැහැ. එහෙම අරමුණකුත් මට නැහැ. මම විශ්වාස කරනවා මහජනයාගේ විශ්වාසය තිබෙන, ප්‍රතිරූපය වර්ධනය කර නොගත්තත් ප්‍රතිරූපයට හානි කොට නොගත් කෙනෙක් මේ තනතුරට සුදුසුයි කියලා. මෙයට පතෝල වර්ගයේ කෙනෙක් දාලත් වැඩක් නැහැ.

අන්තර්කාලීන ආණ්ඩුවේ වැඩේ වෙන්නෙත් නැත්නම් මහ මැතිවරණයකට යන එක සුදුසුයි කියලා ඇතැමුන් කියනවා?

මහ මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් රට තුළ තිබෙනවාද? මහ මැතිවරණයට කෝටි ගණනක් වියදම් වෙනවා. මේ වෙලාවේ අපිට එය කරන්න පුළුවන්ද?

රාජ්‍ය සේවකයෝ තමන්ගේ වැටුප් මහ මැතිවරණයේ වියදම් විධියට දෙන්න සූදානම් බව පැවසෙනවා.?

විදුලිය නැති වෙලාවට ඡන්ද පෙට්ටි බේරගන්නේ ඒ අයද? ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට ජෙනරේටර්ස් දෙන්නේ එයාලද? කඩදාසි හිඟයක් තිබෙන වෙලාවක ඡන්ද පත්‍රිකා ගහන්න කඩදාසි දෙන්නේ එයාලද? මේ වියවුල අස්සේ මිනිස්සු කියන්නේ ඡන්ද තියන්න කියලා නෙවෙයි. අපිව මේ වියවුලෙන් ගලවන්න රට අරාජික වෙන්න දෙන්න එපා කියලයි මින්ස්සු කියන්නේ. දැනටමත් රට අරාජික වෙමින් පවතිනවා. ඒක අපේ ඇස්වලින් දකින්න තරම් අපි පව්කාරයොද? මට හැමදාම නින්දට යනවිට සිතට එන සිතිවිල්ල තමයි ඒ. මේකෙ බැරෑරුම්කම තවම පේන්නේ නැහැ. ඒ ඇතිවෙන අරාජිකත්වය හමුදා පාලනයකට හෝ බාහිර අතපෙවීමක් සහිත පාලනයකට හෝ අවාසනාවන්ත විධියට තල්ලු වෙයි.

අනුර කුමාර දිසානායක පෙන්වපු ෆයිල් ගොඩේ විමල් වීරවංශගේ ෆයිලුත් තිබෙනවාද?

මම නම් දන්නේ නැහැ. මම ඒක ගැන එතරම් වුවමනාවකින් බැලුවේ නැහැ. නමුත් බැලූ බැල්මට නම් දුටුවේ අර ඒ කාලේ කියපු පරණ කතා ටිකම අලුත් කරලා කිව්වා වගේ එකක් තමයි. මගේ ෆයිල් නම් එතන තිබුණද කියලා මම දන්නේ නැහැ. අනෙක ඉතින් මට ගහන්න පුළුවන් හැම විධියටම එයාලා මට ගැහුවනේ. තව මොනවා ගහන්නද?

අන්තර්කාලීන ආණ්ඩුව හැදුණොත් අනුර කුමාර දිසනායකගේ ෆයිල් ගැන අවධානය යොමු කරලා චූදිතයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවද?

අනුර කුමාර දිසානායක මහත්තයාට ඇමැති මණ්ඩලයට එන්න බැරි නම් අඩුගානේ ජාතික සභාවට හරි ඇවිත් ඔන්න ඔය ෆයිල්ස් ටිකේ තිබෙන ඒවාට නඩු දාලා, සොරකම් කරපු අයට දඬුවම් දීලා ඒ වැඩ ටික හරි භාරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

තවමත් ඔබ කියන්නේ රාජපක්‍ෂවරුන්ගේ පවුල් දේශපාලනය මෙතැනින් අවසාන විය යුතුයි කියලද?

ඔව්. එය රාජපක්‍ෂවරු පිළිගත්තත් නැතත් පිළිගන්න වෙන කාරණාවක්.

නැවතත් රාජපක්‍ෂවරයෙක් ඔසවාගෙන බලයට ගේන්න ඔබ සූදානම් නැද්ද?

කිසිසේත්ම නැහැ.

ඔබලාගේ ඇමැතිකම් අහිමි කරන්න මුල් වුණ බැසිල් රාජපක්‍ෂටත් අද ඇමැතිකම නැහැ. මොකද සිතෙන්නේ?

එදා අපි ආණ්ඩුවේ සිටියදී කරපු දේවල් කළේ සතුරුකමකට නෙවෙයි, රට බේරගන්න තමයි හැමදේම කළේ. නමුත් එය හරියට තේරුම් ගත්තේ නැහැ. නමුත් අපි සෑම දෙයක්ම කළේ ඕනෑම අවදානමක් භාර ගන්න සූදානම්වයි. අපි ඇත්ත රටට හෙළි කළා. එදා අපි පැවසූ දේවල් සමඟ දැන් රටේ තිබෙන තත්ත්වය හොඳින් ගැළපෙනවා. මුල සිටම අපි මේ අවදානම දුටු නිසයි කෑගැසුවේ. නමුත් වැඩක් වුණේ නැහැ.

එදා අපිව එළවලා දාන්න කියපු අයට අද කිසිදු තානාන්තරයක් නැහැ. මුදල් ඇමැතිකමත්, වෙනත් තානාන්තරත් රැකගන්න බැරි වුණා. බැසිල් රාජපක්‍ෂ දේශපාලනික වශයෙන් කුජීතම වුණා. ඒත් සාටකේ දාගෙන තවමත් මේක අස්සේ හොල්මන් කරනවා තවත් මොනවද මට කරන්න පුළුවන් කියලා බලමින්. අද අප මේ මුහුණ දෙන දරුණු අර්බුදයේ විශාල පංගුවකට බැසිල් රාජපක්‍ෂ වගකිව යුතුයි. ඔහු කිසිසේත්ම සමාවක් නොලැබිය යුත්තෙක්.

නියෝජ්‍ය කථානායක තේරීම පිටුපස තිබෙන්නෙත් Deal එකක් කියලා කියනවා. මොකක්ද මේ කතාව?

මෙතැන කුමන්ත්‍රණයක්, කොන්ත්‍රාත්තුවක් නැතිනම් සජිත් ප්‍රේමදාසට තිබුණා අපිට කියන්න අපිත් අපේ අපේක්‍ෂකයෙක් දානවා කියලා. නමුත් එහෙම කිව්වේ නැහැ. පොහොට්ටුවේ කට්ටියට ඕනවෙලා තිබෙන්නේ කට්ටිය විපක්‍ෂයේ වාඩි වුණාට තවමත් ඉන්නේ පොහොට්ටුව එක්ක කියලා පෙන්වන්න. ස.ජ.බ.ට ඕන වෙලා තිබෙන්නේ විපක්‍ෂයට ආවාට මෙයාලා තවම ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා පෙන්වන්න. කොහොමහරි සජබ අපේක්‍ෂකයෙක් දානවා කියලා අපිට නොකියා සිටීම තුළම පෙනෙනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්‍ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක් කියන එක.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප: අමිත තෙන්නකෝන්