තිරුනඩේෂන්ලාගේ ගෙදරට රාජපක්‍ෂවරයෙක් හමුවෙන්න ගියේ කවුද?

    0
    142

    ජන අරගලය තව තවත් උණුසුම් වෙද්දී මහින්ද ඉවත් නොවන බව තරයේම කියයි

    මහින්ද රාජපක්ෂ බොහෝ කලක් මේ රටේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත් පළපුරුදු හොඳට තෙම්පරාදු වූ දේශපාලනඥයකු වශයෙන් පිළිගැනීමක් තිබේ. එසේම දේශපාලන කපටිකම්වලින්ද අඩුවක් නැත. කාරණය සටහන් කිරීමට පෙර මේ කුඩා වාක්‍යය සඳහන් කළේ ඔහු දැනට මුහුණ පා සිටින දේශපාලන ප්‍රශ්නයක් ගැනය. එනම් මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව. රටේ ජනතාවගෙන් කෙරෙන ඉල්ලීමයි. ඉල්ලීමකටත් වඩා බලපෑමකි.

    අගමැතිවරයා ධුරයෙන් ඉවත් නොවන බව කීවේ අප්‍රේල් 09 වැනිදා ඇරැඹි තරුණ අරගලයේ ආරම්භයේදීම ඔහුත්, ජනාධිපති හා ආණ්ඩුවත් ගෙදර යා යුතු බවට බලපෑමක් කළ අවස්ථාවේදීය. පසුව ජනාධිපති ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨයත් පසුව ඔහු නමින් ‘ගෝඨා ගෝ ගම’ ලෙස ගමක්ද නම් කළේය. පසුව අගමැති වෙනුවෙන්ද ‘මයිනාගෝ ගම’ දේශපාලන වශයෙන් ලියාපදිංචි කළේය. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් නොවන බව කීවේ මේ බලපෑම් මැදයි.

    මහින්ද ඉවත් වන බවට ගෙන ගිය ප්‍රචාරය බොරුවක්

    දැන් මහින්ද කියන්නේ ජනාධිපති ඉල්ලීමක් කළහොත් තමා තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවය. පසුගිය 04 වැනිදා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවාදැයි මන්ත්‍රිවරුන් ඇසූ විට නෑ එහෙම දෙයක් නෑයි සිනාමුසු මුහණින් පැවැසූ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

    මහින්ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර ඉල්ලා අස්වන බවට මාධ්‍ය පුවත් පළකර තිබුණේ ආණ්ඩුව නියෝජනය කළ ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් පොහොට්ටු පක්ෂයේ නියෝජිතයන් සමඟ සර්වපාක්ෂික අන්තර්වාරික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සඳහා කළ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශයක් පදනම් කරගෙනය. ඔහු කීවේ එවැනි ආණ්ඩුවක් පිහිටුවාගෙන අගමැතිවරයා පත්කර ගැනීමේදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කොට තනතුරෙන් ඉවත්වනු ඇති බවයි.

    මල්ලී යන්න කිව්වොත් මම යනවා කියන අයියා

    මහින්ද කියන්නේ ජනාධිපති කිව්වොත් අගමැති ධුරයෙන් ඉවත්වන බවයි. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ නම් වැඩිමහල් සහෝදරයා කරන ඉල්ලීමකට බාල සහෝදරයා අවනත වීම සාමාන්‍ය දෙයකි. නමුත් මෙතන සිදුවන්නට යන්නේ මල්ලීගේ කීමට අයියා අවනත වන බවකි. මෙවැනි කතා ගමේ ගොඩේ ව්‍යවහාරයේදී සිදුවීම හොඳය. එහෙත් රාජ්‍ය පාලන සන්දර්භයක් තුළ ඒවා වලංගු වන්නේ නැත. ඒවා මැදමුලන කතාය. අද මුළු රටේම තරුණ මහලු මුළු සමාජයෙන්ම බුර බුරා හඬ නඟමින් කියන්නේ අයියා මලෝ දෙන්නටම යන්න කියායි. ඒකට හේතුව වශයෙන් දැක්වෙන්නේ ඉන්ධන හිඟය හා පෝලිම, ගෑස් හිඟය, බෙහෙත් හිඟය, කුඹුරු ගොවිතැන කඩාවැටීම, දරාගත නොහැකි තරමට ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමයි. ඒවාට මෙතෙක් විසඳුම් නොලැබීමයි.

    ඊටත් වඩා පසුගිය 04 වැනිදා මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ පාපෝච්චාරණයයි. පොහොට්ටු ආණ්ඩුවේ ගෙවී ගිය පාලන කාලය තුළ මුදල් ඇමැතිවරයා ලෙස වැඩි කාලයක් කටයුතු කළේ මහින්ද රාජපක්ෂයි. ඊට පසුව ආවේ මොළ හතයි. වර්තමාන මුදල් ඇමැතිට ඉදිරියේ අදින්න වෙන්නේ ඒ අයගේ කුණු කන්දල්ය.

    මුදල් ඇමැති අදින්නේ අනුන්ගේ කුණු

    මූල්‍යමය ප්‍රශ්න හා ජනතාවට තිබෙන ආර්ථික අසීරුකම් සියල්ල හරහා රටේ ආර්ථිකය බංකොලොත් බවට පත්වීමේ වගකීම හුදෙක් මුදල් ඇමැතිවරයාට හෝ මහ බැංකු අධිපතිවරයාට ලගු කරන්නට බැරිය. ඔවුන් එවැනි තත්ත්වයකට වග නොකිය යුතු යැයි කියන්නේ නැත.

    රටේ අද ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය බලය, ආර්ථිකය ඇතුළු සියලුම අංශවල සර්ව බලධාරියා වන්නේ විධායක ජනාධිපතියි. ඒ අනුව ජනාධිපතිවරයා මේ වගකීම් දැරිය යුතුය. ගෝඨාගෝහෝම් ගම හා මයිනාගෝගම යන මතය රටේ බහුතර පුරවැසියන් දරන්නේ ඒ නිසාය. මුදල් ඇමැතිගේ පාපෝච්චාරණයේ හෙළිදරව්වෙන් පසු පවතින තත්ත්වය යටතේ සමාජය මේ අය පිළිගන්නේ නැත. තවදුරටත් ප්‍රශ්න ව්‍යාකූල නොකර අලුත් පාලක පිරිසකට ව්‍යවස්ථාව යටතේ පාලනය භාරදී ඉවත්වීම සුදුසු නොවේද? එයද තාවකාලික විසඳුමක් පමණි. ව්‍යවස්ථාව යටතේ ඉදිරි මහ මැතිවරණයක් පැවැත්වීමට කාලය එළැඹෙන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීය. එතෙක් තාවකාලික අන්තර්වාර පාලන කාලය තුළ රට යම් තැනකට ගෙන ඒම පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම මෙන්ම මන්ත්‍රිවරයකුගේ වගකීම වන්නේය. මේ අවස්ථාවේ ප්‍රධාන තැන දිය යුත්තේ රටේ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමටය.

    ආණ්ඩුවට ඇති එකම විසඳුම ජනපති වටේ බැරියර් ගැසීම පමණි

    ජනාධිපති මන්දිරයේ ආරක්ෂක කටයුතු  පොලිස් ප්‍රධානීන් දෙදෙනකු යටතට භාර කිරීමට හදිසි තීරණයක් ගෙන තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඉකුත් 5 වැනිදා සිට පත්කරනු ලැබ සිටී.

    කලින් මෙම ආරක්ෂක කටයුතු භාරව තිබුණේ යුද හමුදාවේ නිලධාරීන්ටය. පසුගිය 3 වැනිදා එම ආරක්ෂක නිලධාරීන්ට වළක්වා ගැනීමට නොහැකි වන අයුරින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂු පිරිසක් ජනාධිපති මන්දිරයේ ගේට්ටුවලින් එකවරම ඇතුළු වීම හේතුවෙන් මෙසේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා පත්කොට ඇත.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් කොළඹ කොටුවේ සිට බැංකු මාවත ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට ඔරලෝසු කණුව අසල පිහිටි ගේට්ටුවෙන් ආරක්ෂක නිලධාරීන් සිටියදී ඇතුළු වී තිබේ. ඒ පිරිස ජනාධිපති මන්දිරයට ඇතුළු වීම වළක්වා ගෙන තිබෙන්නේ අතිරේක පොලිස් කණ්ඩායමක් දැඩි ආරක්ෂක විධිවිධානවල යෙදීමෙනි.

    ගාලුමුව‍ෙදාර ජනාධිපති ලේකම් කාර්යාලය දෙපැත්තකින් වටලා ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි බලකරමින් උද්ඝෝෂණ අරගලයක අඛණ්ඩව දිවා – රාත්‍රි පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක ජනාධිපති මන්දිරයට මෙසේ පිරිසකට කඩා වැදීමට හැකි වීම ආරක්ෂක අංශවල දුර්වලතාවක් බවට ඉහළ නිලධාරීන් කරුණු දැක්වීමෙන්  පසුව ආරක්ෂක වෙනස් සිදුකළ බව වාර්තා වේ.

    කල දුටු කල වළ ඉහගෙන නසීර් අහමඩ් පරිසර ඇමැති වූ හැටි

    ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හා එම පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයකු වන වර්තමාන පරිසර ඇමැති නසීර් අහමඩ් අතර මේ දිනවල දේශපාලන ගැටුමක් හටගෙන තිබේ. නසීර් අහමඩ් පසුගිය මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකළපු දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ එකම මන්ත්‍රිවරයායි.

    විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වූ අවස්ථාවේ මුස්ලිම් කොංග්‍රසය එම ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට තීරණය කර තිබියදී අහමඩ් මන්ත්‍රිවරයා පොහොට්ටු ආණ්ඩුව සමඟ එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔහු සමඟ මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසර් කාෂිම්, එච්.එම්.එම්. හාරිස් සහ එස්.එම්. තව්ෆික් මන්ත්‍රිවරුද ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන්නහ. මේ හේතුව නිසා එම මන්ත්‍රිවරුන් සිවුදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වූ අතර විනයානුකූලව ඔවුනට විරුද්ධව  ක්‍රියාමාර්ගද ගනිමින්, පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොකිරීමට හේතු විමසා තිබිණි. මේ අවස්ථාවේ එම මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වූ අතර පසුව තව්ෆික් සහ හාරිස් මන්ත්‍රිවරුන් ආණ්ඩුවට සහයෝගය දීමෙන් ඉවත්ව මුස්ලිම් කොංග්‍රසය සමඟ දේශපාලනය කිරීමට එකඟත්වය පළ කළහ. එසේ වුවත් නසීර් අහමඩ් ආණ්ඩු පක්ෂය තුළම සිටි අතර පසුගියදා කළ කැබිනට් සංශෝධනයේදී ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කළේය.

    නසීර් අහමඩ් ඇමැතිවරයා හකීම් මහතාට විවෘත සංවාදයකට එන්නැයි දැන් අභියෝගයක් කර තිබේ. ඔහු පවසන්නේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ සමඟ හකීම් මහතා සාකච්ඡාවකට ගිය අතර ඔහු සමඟ තමාද සහභාගි වූ බවත් රජයට පක්ෂව 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්නේ එම සාකච්ඡාවට අනුව බවත් ඔහු පවසයි.

    මේ තත්ත්වය මත මේ දිනවල නැඟෙනහිර පළාතේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙයට අදාළ යම් යම් තොරතුරු ප්‍රචාරය වෙමින් පවතී.

    අන්තිම තත්පරේ ඉමිටියාස් දමලා ගහන්න හදපු ගේම

    විශ්වාසභංග යෝජනා දෙකක්ම ඉදිරිපත් කොට ආණ්ඩුව පරාජය කිරීමට ඉදිරිපත් වූ සමගි ජන බලවේගය ඔවුන්ගේ ඉලක්කය වරද්දා ගත්තාද? මේ ප්‍රශ්නය නැඟෙන්නේ ආණ්ඩු විරෝධී කොටස්වලින්මය. ප්‍රශ්නයට මුල්වී ඇත්තේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා විපක්‍ෂයේ අපේක්‍ෂක ලෙස රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා වූ අවස්ථාවේ, යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන්නට එකඟ වී අවසාන මොහොතේ තීරණය වෙනස් කොට ස.ජ.බ. සිය අපේක්‍ෂකයා ලෙස ඉමිතියාස් බාකීර් මාකාර්ගේ නම අවසාන මොහොතේ යෝජනා කිරීමට පෙලඹීමයි.

    ස.ජ.බ. කළ දේශපාලන පාවාදීම ගැන

    ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර කියන්නේ මෙහෙම කතාවකි. විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සියඹලාපිටිය ඉදිරිපත් කරන්න ආණ්ඩු පක්‍ෂයේ නිදහස් වූ ශ්‍රී ල.නි.ප.ය ඇතුළු 40 කණ්ඩායම එකඟ වුණා. ස.ජ.බ. ප්‍රධානීන් සමඟත් මේ ගැන සාකච්ඡා කළාම ඒ අයත් සියඹලාපිටියට සහාය දෙන්න එකඟ වුණා. ඡන්දය පැවැත්වීමට නියමව තිබුණේ මැයි 05 වැනිදා උදේ 10.00ටයි. එදින උදේ 9.29 වනවිටත් ස.ජ.බ.ය හිටියේ මුල් තීන්දුවෙයි. උදේ 10ට ඇවිත් ස.ජ.බ. කියනවා සියඹලාපිටිය හැර වෙනත් කෙනකු යෝජනා කරන්න කියලා. අපි ඇහැව්වා ඇයි හදිසියේ එහෙම කියන්නේ. ස.ජ.බ. ලේකම් කියනවා ආණ්ඩුව සියඹලාපිටියට සපෝට් කරනවා කියලා. ඔයාලානේ සියඹලාපිටියගේ නම ස්ථිර කරන්නේ. එහෙම නම් ආණ්ඩුව සපෝට් කරන්නේ කොහොමද?

    ස.ජ.බ. – ආණ්ඩුව සමඟ ඩීල් එකකද?

    ශ්‍රී ල.නි.ප.ය සියඹලාපිටියගේ නම යෝජනා කරන්නත් ස.ජ.බ. රාජිත සේනාරත්න ස්ථිර කරන්නත් තීරණය කර තිබුණා. නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේදී ස.ජ.බ. ඩීල් එකක යෙදී සිටිය බවට විපක්‍ෂයෙන් චෝදනාවක්ද එල්ල විය.

    ස.ජ.බ. රාජපක්‍ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක් අදිනවාලු

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීවේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්‍ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක් බවයි. අඩුගාණේ විපක්‍ෂයේ ඉන්න අය එකතු කරනවා වෙනුවට බෙදා වෙන් කරන්න කටයුතු කරන්නේ ඇයිදැයි සජිත්ගෙන් ප්‍රශ්න කළ වීරවංශ කිසිම විපක්‍ෂ නායකයෙක් විපක්‍ෂය බෙදන්න කටයුතු කර නැතැයි චෝදනා මුඛයෙන් කීවේය.

    සජිත් ආණ්ඩුව පෙරළන්න මහනුවර සිට පාගමනකින් පැමිණියත්, දැන් ඔහුගේ අපේක්‍ෂාව රාජපක්‍ෂ පාලන තන්ත්‍රය ආරක්‍ෂා කිරීමට බවටද චෝදනාවකි. විමල් වීරවංශ කීවේ සජිත්ගේ එකම හීනය රාජපක්‍ෂ පාලන තන්ත්‍රය පවත්වාගෙන යෑම බවයි. ඉමිටියාස් මන්ත්‍රිවරයා පත් කරමුයි අපෙන් ඉල්ලීමක් කළා නම් කරමු කියලා කැමැති වෙනවා. එහෙම කළේ නැහැයි විපක්‍ෂ නායකයාට වීරවංශ නැවතත් චෝදනාවක් කළේය. මේ විපක්‍ෂ නායකයා රාජපක්‍ෂ පවුලට සේවය කරන අයකු බව මේ රටේ ජනතාව

    දැනගන්න ඕනැයි සජිත්ගේ පිටේ සීල් එකක්ද තැබුවේය.

    අදටත් සංස්කෘතික අරමුදලේ මුදල් ගැන කිසිම විභාගයක් නෑ. මේ ගැන රූපවාහිනි නාළිකාවක විවාදයකට එන්නැයි වීරවංශ මන්ත්‍රිවරයා විපක්‍ෂ නායක සජිත්ට අභියෝගයක්ද කළේය.

    හේමා – තිරුනඩේෂන් හමුවක් ගැන විමල් කියන කතාව

    පසුගිය 5 වැනිදා නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේ ඡන්දය පැවැත්වීමට නියමිතව තිබියදී ඊට පෙරදින සජිත්ගේ මව තිරු නඩේෂන්ගේ නිවෙසේදී විශේෂ පුද්ගලයකු හමුවී තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි මුසම්මිල් රහසක් අනාවරණය කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ “ඊයේ තිරු නඩේෂන්ගේ ගෙදරදී ඔබතුමාගේ මවුතුමිය හමුවුණේ කවුද? ඒ හමුවීමෙන් අද විපක්‍ෂය ගොඩනඟන්න තිබුණු සමඟිය නැති කළේ කොහොමද?  ඒවට කොහෙන්ද ඩීල් ගියේයි” මුසම්මිල් ප්‍රශ්න කළේය.

    එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ නියෝජ්‍ය කථානායක ධුරයට ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් බහුතර බලය කාටදැයි බලා ගන්නට තිබුණු බවයි. නියෝජ්‍ය කථානායක ධුරයට ආණ්ඩුවට කෙනකු ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ එසේ කළා නම් ආණ්ඩුව පරාජයට පත්වන බවට ඉඟි කරමිනි.

    ආණ්ඩුව හදන්නේ ස්වාධීන කණ්ඩායම අත යටට ගන්න

    නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් රංජිත් සියඹලාපිටිය නැවත පත් කිරීමට යන සූදානම හා ස.ජ.බ.යෙන් ඉමිතියාස් යෝජනා කිරීමට යන කතාව ගැන ඉකුත් බදාදා හා බ්‍රහස්පතින්දා රනිල් මන්ත්‍රිවරු සමඟ දිගු සාකච්ඡාවක යෙදිණි.

    මේ දෙදෙනාගේ නම් නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා වී තිබීම ගැන තරුණ මන්ත්‍රිවරයකු විමසූ විට රනිල් කීවේ, “මෙතැනදී බලන්න ඕනෑ ආණ්ඩුවේ හැසිරීම ගැනයි. පොදුජන පෙරමුණ රංජිත්ට සහාය දෙන බවට තමයි ආරංචිය. ඔවුන් එය ප්‍රකාශ කළොත් විපක්‍ෂයෙන් කෙනෙක් නොදා සිටීම තමයි කාලෝචිත” කියාය.

    ස.ජ.බ.යේ විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායම සහාය දෙන නිසා ආණ්ඩුව සියඹලාපිටියට දෙන එකක් නෑ නේදැයි විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු කීවිට රනිල් කීවේ මෙහෙම කතාවකි.

    ආණ්ඩුවට අවශ්‍ය ස්වාධීන කණ්ඩායම එයාලගේ යටතට ගන්නයි. එතැනදී ඔවුන් රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන්න පුළුවන්. එය විශ්වාසභංගයට අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ පොහොට්ටුව රංජිත්ට සහාය දුන්නොත් විපක්‍ෂය ඉමිතියාස්ව නොදා ඉන්න එකයි.

    දේශපාලනයෙන් මුහුකුරා ගිය රනිල් සජිත්ටත් දැනෙන්න කීවේ “අවාසනාවන්ත තත්ත්වය වන්නේ අරගලයේ යෙදී සිටින කණ්ඩායම මේ දෙස බලන ආකාරය ගැන” යැයි කියායි.

    ජා.ජ.බ. ඡන්ද කටුගා පෙට්ටියට දැම්මාද?

    නියෝජ්‍ය කථානායක ධුරයට තරග කොට ජයගත් රංජිත් සියඹලාපිටිය කියන්නේ තමාට ඕනෑ වුණේ විපක්‍ෂයේ හයිය පෙන්වන්න වුවත්, ඒ අවස්ථාවෙත් ප්‍රයෝජන නොගැනීම ගැන කනගාටු වන බවයි.

    ඡන්දය විමසීමේදී විපක්‍ෂ නායකයා ඔහුගේ ඡන්දය සටහන් කළ පත්‍රිකාව පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කර පෙට්ටියට දැමීමයි. ඔහු කුමක් හිතේ තියාගෙන එසේ කළා දැයි දන්නේ නැත.

    මේ ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් කළේ ඡන්ද පත්‍රිකාව කටුගා පෙට්ටියට දැමීමයි.

    රාජපක්‍ෂලා නැති ආණ්ඩුවකට ස.ජ.බ. එකතු වෙනවාද?

    විපක්‍ෂයෙන් ඉමිටියාස් බාකීර් මාකාර් ඉදිරිපත් කිරීමට තීරණය කළේ රංජිත් සියඹලාපිටියට ආණ්ඩු පක්‍ෂය සහාය දෙන බව ප්‍රකාශ කළ නිසා බව ස.ජ.බ. මහ ලේකම්වරයා කීවේය. මේ තීරණයට විපක්‍ෂයේ හතර වටින් පහර එල්ල වෙද්දී විපක්‍ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

    විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම තම පක්‍ෂය සමඟ දිගින් දිගට සාකච්ඡා කළා. අපි ඒකට එකඟ වුණැයි කී සජබ ලේකම්වරයා පොහොට්ටු ආණ්ඩුව සමඟ සජබ කිසිම ගනුදෙනුවක් නැති බවත්, රාජපක්‍ෂලා නැති ඕනෑ හවුල් ආණ්ඩුවකට එකතු වෙන්න සූදානම් බවත් කීවේය.

    එසේ ප්‍රකාශ කිරීමෙන් සිදුවූ දේ සෝදා ගන්නට හැකිවී දැයි නොදනිමු.

    හේමා – තිරුනඩේෂන් හමුව ගැන සජබ කියන කතාව

    සජිත් බහුතරය පාවා දුන් බවටත් ආණ්ඩුව සමඟ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට හා විපක්ෂය බෙදා වෙන් කරන බවට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රිවරුන් එල්ල කරන චෝදනාවට පිළිතුරු දෙන්නට සජිත් ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රි කණ්ඩායම පිළිතුරු සොයන්නට සාකච්ඡාවක් කැඳවීය. ඔවුන්ගේ චෝදනාව වූයේ සජිත් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවයි.

    තිරුනඩේෂන්ගේ ගෙදරදී හේමා ප්‍රේමදාස හමු වූ බවට විමල් වීරවංශ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය ගැන සජිත්ගෙන් සජබ මන්ත්‍රිවරයකු විමසූවිට සජිත් විමල් ගැන සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වගේ තුට්ටු දෙකේ බොරුවලින් මඩ ගහන එක එයාලගේ ජීවිතේ කොටසක් බවයි.

    “මේක කොච්චර බොරුවක්ද කිව්වොත් අම්මා තාත්තගේ ගුණ සමරුවට ආවෙත් පරක්කු වෙලා. අසනීප තත්ත්වයෙන් හිටපු නිසා ඉක්මනට ගියා”යි සජිත් කියද්දී පක්ෂයේ ලේකම් රංජිත් කීවේ අවුරුදු 86ක පුද්ගලයෙක් යොදාගෙන කරන පට්ටපල් බොරු දේශපාලනය එපා කියලා ගෝල්ෆේස් එකේ තරුණයෝ උද්ඝෝෂණය කරනවා. ඒ අතර මේ අය සම්ප්‍රදායික දේශපාලනය කරගෙන යනවා කියායි.

    තිරු හා රාජපක්ෂලා අතර පවතින සබඳතා ගැන මෙහිදී සඳහන් කළ හේෂා විතානගේ, 2015 මැතිවරණය ඉවර වුණු ගමන් ජනවරම උස්සලා පොළොවේ ගැහුවේ රනිල්. මහින්ද හමුවට ගියේ තිරුගේ වාහනේ. තිරු එක්ක ගනුදෙනු තියෙන්නේ රනිල් සහ මහින්දට කීවේය.

    “මම ආපහු කියනවා මේ රටේ මහපාරේ අරගල කරන මිනිසුන්ගේ පැත්තේ කොන්දේසි විරහිතව හිටගන්න බලවේගයක් තියෙනවා නම් ඒ සමගි ජන බලවේගය විතරයි“ යැයි සජිත් මෙහිදී කීවේය.

    මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම

    නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේ ඡන්දයේදී ආණ්ඩු පක්ෂයෙන් තරග නොකර ශ්‍රී  ලංකා  නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට ඡන්දය දීම සුදුසු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යෝජනා කර තිබෙන්නේ ජී.ඇල්. පීරිස් විසිනි.

    ඔහු එසේ යෝජනා කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේ ඡන්දය ගැන පැවැති සාකච්ඡාවේදීය.

    ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තුවේ අංක 1 කමිටු ශාලාවේදී පැවැතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

    ජී.එල්. ගේ යෝජනාවට හරස්ව අදහස් දැක්වූ විමලවීර දිසානායක ‘අපි ඉල්ලන්නේ නැත්තේ ඇයි? අපට ඡන්ද නැද්දැයි ඇසීය. ජී.එල්. කිව්වේ මගේ අදහසයි කීවේ කියායි.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු :- අපිට දේශපාලන වශයෙන් ගහන අයට ඇයි මේ විධියට ක්‍රියා කරන්නේ. අපිට ඡන්දය ඉල්ලලා දිනන්න පුළුවන්. ආණ්ඩුව තියෙන්නෙ අපිට. අපි එකතු වෙලා යන්න ඕනෑ. පක්ෂයේ විනයක් තියෙන්න ඕනෑ. සමහර මන්ත්‍රිවරු ගැන තීරණයක් ගන්න ඕනෑ. නියෝජ්‍ය කථානායක ධුරයට අපේ කෙනකු තරගයට නම් කරන්න.

    විමලවීර දිසානායක :- මම නම් කාටවත් ඡන්දෙ දෙන්න කියන්නේ නෑ.

    සුරේන් රාඝවන් :- ඔබතුමයි. අපේ අගමැති. අපිට ඔබතුමා අවශ්‍යයි. යුද්ධයක් තිබ්බ කාලේ ආණ්ඩුව භාරදීලා ගියේ නෑ. 89 කැරැල්ල තිබුණු කාලේ එයටත් මුහුණ දුන්නා.

    කෙහෙළිය රඹුක්වැල්ල :- අද අපි රටේ නීතිය එක් එක් කෙනාට ඕනෑ විධියටයි. ක්‍රියාත්මක වෙන්නේ. සමහර පුද්ගලයන් නීතිය අතට ගෙන කටයුතු කරන බව පේනවා. ප්‍රශ්න තියෙනවා. ඒවට විසඳුම් ඕනෑ. මහපාරේ තිබෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුවක් ලෙස කතා කර මේ ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න ඕනෑ.

    ජගත් කුමාර :- කරතොත් කරපන් හරියට. බැරිනම් පලයන් අහකට. අපෙන් අෑත්ව සිටින අය සමඟත් සාකච්ඡා කරන්න ඕනෑ. ආණ්ඩුවක් ලෙස කතා කරලා තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනෑ. රටේ විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් තවම ඉවර නෑ. මිනිස්සුන්ට බලපාන ඇත්ත ප්‍රශ්න තියෙනවා. අපි ඒවා ගැන කතා කරන්න ඕනෑ. ආණ්ඩු කරනවා නම් හරියට කරමු. නැත්නම් දාලා යන්න ඕනෑ. විපක්ෂයට යන්න ඕනෑ. ජනාධිපති එකතැන හිරවෙලා. අපි ගැටලුවක ඉන්නේ. ජනාධිපති _ අගමැතිත් එක තැනකට වැටිලා.

    ප්‍රේමනාත් ‍ෙදාලවත්ත :- රට ඇතුළේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේක ලොකු ප්‍රශ්නයක්. රට අරාජික වෙලා තියෙන්නේ. තවදුරටත් මෙය ඉදිරියට ගෙනයන්න ඉඩ දෙන්න බෑ. මිනිස්සු නීතිය අතට අරගෙන තියෙන්නේ. නීතිපති හා පොලිස්පති නීතිය හරියට ක්‍රියාත්මක කරනවාදැයි බලන්න ඕනෑ. ජනාධිපතිතුමනි, මේ විධියට කටයුතු කරන්නේ කවුරුහරි කියලා තියෙනවාද දන්නේ නෑ.

    රමේෂ් පතිරණ :- අපිට විපක්ෂයට යන්නත් පුළුවන්. එය ගෞරවාන්විත වෙන්න ඕනෑ. 1977 මතු වූ ප්‍රශ්නවලට අපි විසඳුම් දුන්නානේ. අපි අපෙන් ගිලිහුණු කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන්න ඕනෑ.

    අනතුරුව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට කෙනකු නම් කිරීමේ විෂයට අදාළව සාකච්ඡා කෙරිණි.

    සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කරන්නට තීරණය වූ අතර ඒ අනුව රංජිත් සියඹලාපිටිය අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය විය.

    ඊට පසුදින එනම් ඡන්දය පැවැති දින ශ්‍රී ලනිපය ගැන සාකච්ඡා කිරීමටත් ඒ අනුව ආණ්ඩු පක්ෂයෙන් සියඹලාපිටිය මහතාට සහයෝගය දෙන බවට ප්‍රකාශයක් කිරීමටත් තීරණය වූ අතර එදින පෙරවරුවේ එම ප්‍රකාශය සිදු කෙරිණි.

    ඡන්දය විමසන මෙදින උදේ 9.30ට වන තුරුත් සජබයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට තීරණයක් තිබුණේ නැත. මේ වෙලාව වන විට ආණ්ඩුව සියඹලාපිටිය මහතාට සහාය දීමට තීරණය කර තිබිණි. එහිදී ඉමිතියාස් බාකීර් මාකාර් තරගයට ඉදිරිපත් කිරීමට තීරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.

    රට ගොඩගැනීමට එ.ජා.ප.ය වෘත්තීයවේදීන් සමඟ අත්වැල් බැඳගනී

    රටේ ජාතික එකඟතාවක් ඇති කර ගන්නා තැනට රටේ දේශපාලනය වෙනස් වෙමින් තිබෙන අවස්ථාවක අපිත් පක්‍ෂයක් ලෙස කඩිනමින් වෙනස්කම් කළ යුතුව තිබෙන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ පසුගිය 05 වැනිදා පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ප්‍රකාශ කොට ඇත.

    පසුගිය වසරකට ආසන්න කාලයක් විවිධ දේශපාලන මත දරන අය මුණගැසෙමින් කටයුතු කර තිබෙන බව පෙන්වා දෙන එ.ජා.ප. නායකයා, වජිර, රුවන්, අකිල, සාගල, රංගේ අය සමඟ සාකච්ඡා කරමින් ජාතික එකඟතාවක් ඇති කර ගැනීමට බලන බවද කීවේය.

    ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වෘත්තීයවේදීන් මුණගැසී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට පෙර ඉදිරි ගමන් මඟ ගැන එ.ජා.ප. නායකයා සාකච්ඡා කළේය.

    වෘත්තීයවේදීන් මුණ ගැසුණු එ.ජා.ප. සභාපති වජිර කරුණු දක්වමින් කීවේ ආණ්ඩුවෙන් කැඩිලා ගිහින් විරුද්ධ පක්‍ෂයේ වාඩිවූ සියලු දෙනාම විරුද්ධ පක්‍ෂයට එකතු කරගෙන එක මතයකට එන්න විරුද්ධ පක්‍ෂයට තිබුණා. එහෙම වෙලාවක එකඟතාව බිඳලා විරුද්ධ පක්‍ෂයෙන් නම් දෙකක් ඉදිරිපත් කර තිබුණා. විරුද්ධ පක්‍ෂය ලෙස ස.ජ.බ. කරපු වැඩේ බරපතළ වරදක්. රනිල් නායකයෙක් හැටියට කිහිප අවස්ථාවක සුළුතර මතයට කන්දී සුළුතරයට අවස්ථාව දීලා තිබුණා. ජ.වි.පෙ. හා හෙළ උරුමයේ අයගේ අදහසට අනුමැතිය දීලා සිරිසේන මහත්තයට අවස්ථාව දුන්නා. ෆොන්සේකා මහත්තයට අවස්ථාව දුන්නා.එකඟතා කඩලා රාජපක්‍ෂලාට කඩේ ගිය, ප්‍රභාකරන්ලාට කඩේ ගිය අය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ වටලන්න හිතනවා. ගෙවල් වට කළොත් කවුරු කවුරුත් කරගන්නේ එක් එක් අයගේ ගෙවල් වට කරගෙන සියලු දෙනා විනාශ  වීමයි. අපි සියලු දෙනා මහජනතාව ගොඩ ගනිමු. වජිර වෘත්තීයවේදීන්ට කීවේය.

    අපේ නායකතුමා (රනිල්) බාලාංශ දේශපාලනය නොකරන බවද වජිර කීවේ රාමලිංගම් මන්ත්‍රිවරයාට පිළිතුරක් ලෙසිනි.